blogImage

පිළිස්සුම් තුවාලයක් සඳහා ඔබ කළ යුත්තේ කුමක්ද

පුරුදු විදියට උදේ වාට්ටුවේ ward round එක පටන් ගන්න කොටම පුංචි පැටියෙක් කෑමොර දෙන හඬට වාට්ටුව දෙදරා ගියේ ය. 🥺

 

මොකද ? මල්ලි පොඩි බබාට , මම HO මල්ලිගෙන් විමසුවෙමි.

 

ඊයේ casualty එකට ඇඩ්මිට් උනේ අයියා. Hot water burn එකකට මොනාද තෙල් වගයක් ගාලා wound එක infect වෙලා.

 

යමං, බලන්න 😥

 

මම රෝගීන්ගේ පිළිවෙල මග හරවා ඒ පුංචි එකා වෙත ගියෙමි.

 

වයස අවුරුදු හතරක පුංචි කොලු පැටියෙක්. කඳුළු පිරි දෙනෙතින් ඉකිගසා හඬමින් මගේ දෙස බැලුවේ ය. 🥺

 

පපුව ප්‍රදේශයේ සිදු වූ පිළිස්සුම් තුවාලයට බැක්ටීරියා ආසාදනය වී තිබිණ.

 

මොකද අම්මා උනේ ? මම විමසුවෙමි

 

උණුවතුර බෝතලේ හලා ගත්තා සර්. දිය පට්ටා දැම්මා. ඒවා පුපරවලා මං තලතෙල් එක්ක එඬරු තෙල් ගෑවා දවස් 03ක් විතර.

 

ඊයේ ඉඳලා පුතාට උණ, අඬනවා දිගටම 🥺

 

අපි මොනතරම් දියුණුයි කියා සිතන සමාජයක උවත් මෙවැනි දෑ සිදුවන නිසා මෙවැනි අවස්ථාවකදී ඔබ ක්‍රියා කළ යුතු අකාරය ගැන දැනගෙන සිටීම වැදගත් බව මට හිතෙනවා.

 

සාමාන්‍යයෙන් වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගේ 75 % පිලිස්සුම් ඇතිවන්නේ උනුවතුර වැනි දෙයක් හැලීයාම නිසා. 😟

 

ඉතිං. මෙහිදී සිදුවන්නේ උණු ද්‍රාවනයක් ඇඟට වැටී පහළට ගලා යාමෙන් පිළිස්සීම සිදුවීමයි.

 

තවත් සමහර අවස්ථාවලදී කුඩා දරුවන් උණුවතුර භාජනවල කෑම පිසින විට එම භාජන වලට අත දැමීම නිසාත් පිළිස්සුම් තුවාල ඇති වෙනවා.

 

කුඩා දරුවන් රත් වූ උපකරණයක් ( විශේෂයෙන් අයන් එක ) වගේ දෙයක් ඇල්ලූ විටත් පිළිස්සීම් අනතුරු ඇතිවන අවස්ථා බහුලයි. 😟

 

ඉතිං මේ පිළිස්සුම් තුවාල නිසා මොනාද වෙන්නෙ 🤔

 

අපි පිළිස්සීමෙන් සිදුවන අනතුරු වර්ග තුනකට බෙදනවා

 

01. First degree burns

02. Second degree burns

03. Third degree burns

 

01. First degree burns

 

සමේ බාහිරින්ම පවතින epidermis නම් කොටසට පමණක් හානි වෙනවා.

 

• පිළිස්සුනු ස්ථානයේ වේදනාව.

• රතු පාට වීම.

• එම ස්ථානය ඇල්ලීමේදී වේදනාවක් දැනීම.

• අවට සුළු වශයෙන් ඉදිමීම.

 

වැනි ලක්ෂණ මතු වෙනවා. මේ අවස්ථාවලදී දියපට්ටා, එහෙම නැතිනම් වතුර පිරුණු බුබුළු හමේ මතුවීම සිදු වන්නේ නැහැ. තුවාලය සනීප වෙනකොට කැලැලක් ඉතුරු වෙන්නෙත් නැහැ. 🙂

 

එතරම් තද රස්නයක් නැති යමක ස්පර්ශ වූ විට, වැනි අවස්ථාවකදී සිදුවන අනතුරු වලට නිවසේදීම ප්‍රතිකාර කරගන්න පුළුවන් 😊

 

02. Second degree burns

 

සමේ මතුපිටින් පවතින epidermis හා dermis යන කොටස් දෙකටම හානි වෙනවා. උණුවතුර හැලීයාමෙන් සිදු වනේ බොහෝ දුරට මේ ආකාරයේ පිළිස්සුම් තුවාලයි. 😣

 

• පිළිස්සුම් තුවාලය රතු - රෝස පාටින් දිස්වීම.

• තද වේදනාවක් දැනීම.

• තුවාලය ස්පර්ශයෙන් අධික වේදනාවක් ඇතිවීම.

• අවට ඉදිමීම හා රතුවීම.

• තුනී බිත්තියකින් වටවූ වතුර පිරුණු බුබුළු ( දියපට්ටා ) මතුවීම.

 

වගේ ලක්ෂණ ඇතිවෙනවා. සාමාන්‍යයෙන් සති 2 - 3 අතර කාලයක් සුව වීමට ගත වෙනවා. පිළිස්සුම් තුවාලයේ ගැඹුර මත කැලැල් මතුවීමේ අවදානම රඳා පවතිනවා. 🙂

 

මෙවැනි ගනයේ පිළිස්සුම් තුවාලයේ අවදානමට බලපාන සාධක.

 

1. දරුවගේ වයස අවුරුද්දට අඩු වීම.

2. රසායනික ද්‍රව්‍යයක් හෝ විදුලිය නිසා සිදුවන පිළිස්සුම්.

3. මුහුණ, අත්, කකුල්, ඉකිළි හා මූත්‍රා පෙදෙස ආශ්‍රිතව ඇතිවන තුවාල.

4. දරුවාට දුම ආඝ්‍රාහණය වී තිබීම.

5. ශරීර ප්‍රමාණයෙන් 5% වඩා බලපාන ලෙස සිදුවන තුවාල ( මෙය ඔබගේ අත්ලට වඩා ප්‍රමාණයෙන් වැඩි වීම සැළකිය හැකියි )

6. දරුවා වෙනත් රෝගාබාධ වලින් පෙළීම

7. ශරීරය වටාම පිළිස්සුම් තුවාල තිබීම ( circular burn )

 

ඉහත කරුණු සලකා බලා එවැනි අවස්ථාවකදී දරුවා රෝහල වෙත රැගෙන යාම ගොඩාක් සුදුසුයි. 🥺

 

03. Third degree burns

 

සමේ ස්ථර 3ට බලපාන මේ අන්දමේ පිළිස්සුම් තුවාල ඉතා දරුණු ගනයේ ඒවා වන අතර මේ සඳහා හැකි ඉක්මනින් රෝහල් ගත විය යුතුයි. 😢

 

මෙහිදී සමේ ගැඹුරටම පිළිස්සුම් තුවාලය දිවෙන අතර එම ස්ථානයේ ස්නායු පටක විනාශ වී ඇති නිසා සංවේදනය නොදැනී යනු ඇත. මෙවැනි රෝගියෙක් වහාම රෝහල් ගත කල යුතුය. 🙁

 

📌 පිළිස්සුම් තුවාලයක් සඳහා ඔබ කළ යුත්තේ කුමක්ද ?🤔

 

මේ අප කතාකරන්නේ අවදානම් සාධක නොමැති සුළු පිළිස්සුම් තුවාල සඳහා ඔබ නිවසේදී සිදු කලයුතු දේවල් ගැනය.

 

• පිළිස්සුම් සිදු වූ ස්ථානය අවට ඇඳුම් ඉවත් කරන්න. 🙂

මෙය හැකි ඉක්මනින් සිදු කරන්න විශේෂයෙන් උණුවතුර හැලීයාම වැනි අවස්ථාවකදී තව දුරටත් පිළිස්සීම අවම කර ගැනීමට මෙය උපකාරී වෙයි.

 

කමිස අත් හා කලිසම් උඩට රෝල් කරන්න එපා. පිළිස්සුන ස්ථානය ඉදිමී එම ඇදුම් වලට තද වී රුධිර ගමනාගමනයට බාධා වෙන්න පුළුවන්. 😣

 

වළලු, අත් බැඳ ඇති නූල් ආදියත් ඉවත් කරන්න.💍

 

පිළිස්සුන ස්ථානය අත ගෑම, පිඹීම ආදිය සිදු කරන්න එපා. 😑

 

• හැකි ඉක්මනින් එම ස්ථානය ගලායන සීතල වතුරට විනාඩි 15 - 20 පමණ අල්ලාගෙන සිටින්න. මෙසේ සිදු කිරීමෙන් වේදනාව අඩු වී යන අතර ඉක්මනින් තුවාලය සුව වීමට උදව් වේ. 🚿

 

තුවාලය මත අයිස් කැට ඇතිල්ලීමෙන් වළකින්න. ❌

 

දත් බෙහෙත්, එඬරු තෙල්, තල තෙල්, මී පැණි ආදී දේවල් තුවාලය මතට යෙදීමෙන් වළකින්න.❌

 

දියපට්ටා මතුවුවහොත් ඒවා හිතාමතා පුපුරවා හැරීම සිදු නොකරන්න.

 

තුවාලය ස්පර්ශ කරන විට සෑම විටම ග්ලවුස් දෙකක් භාවිතා කරන්න. 🙂

 

නොඇලෙන සුළු බැන්ඩේජ් එකකින් තුවාල කොටස පමණක් ආවරණය කරන්න. වටේටම ඔතන්න එපා. 😊

 

කපු පුළුං තුවාලය මත තබන්න එපා.❌

 

මෙවැනි අවස්ථාවකදී භාවිතා කරන නොඇලෙන සුළු විශේෂිත අවරණ වෙළුමි පටි pharmacy වල තියෙනවා.ඔබේ ගෙදර කුඩා දරුවකු සිටී නම් එවැනි දෙයක් ප්‍රථමාධාර කට්ටලයට එකතු කර ගැනීම ඉතාම වැදගත්.

 

මාගේ අදහස නම් සුළු පිළිස්සුම් තුවාල හැර දියපට්ටා ( blisters) මතුවුන පිළිස්සුම් වෛද්‍යවරයෙකුට පෙන්වීම වැදගත්.

 

📌පිළිස්සුම් තුවාල සිදුවීම වළකා ගැනීම

 

ඉතාම වැදගත් වන්නේ මෙයයි.කුඩා දරුවන් සිටින සෑම දෙමාපියෙක්ම මෙවැනි අනතුරක් සිදුවීමේ අවධානම ගැන අවධානයෙන් සිටින්න.

 

උණුවතුර බෝතල් , තේ කෝප්ප දරුවාට ළඟාවිය නොහැකි ලෙස තබන්න.

 

කුඩා දරුවකුට ඇල්ලිය නොහැකි දුරින් ගිනිපෙට්ටි,ඉටිපන්දම් ආදී දෑ රඳවන්න.

 

සෑම විටම අවධානයෙන් සිටින්න.දරැවා අනතුරකට පත්වීමට ඉඩ ඇති තැන් නිවසේ සොයා බලා ඒවාට පිළියම් යොදන්න.

 

✍️ සටහන

 

Dr Sanka Nirmal

Register in Surgery

National Hospital Kandy

blog_image
blog_image