blogImage

ඩොක්ටර්, හෙට බස් එකේ දුර ගමනක් යන්න තියෙනවා.

ඩොක්ටර්, හෙට බස් එකේ දුර ගමනක් යන්න තියෙනවා. මට බස් එකේ පොඩි දුරක් ගියත් වමනය යනවා.බෙහෙත් ටිකක් ගන්න ආවේ ගමනට කලින්.
ඔබටත් සමහර විට මේ අත්දැකීමට මුහුණ දෙන්න ලැබෙනවා ඇති. වාහනයක ගමන් කිරීමේදී, මුහුදේ යාත්රා කිරීමේදී ඇතිවන මේ තත්වය Motion Sickness ලෙස හඳුන්වනවා.
🔺මොකක්ද මේ Motion Sickness කියන්නෙ?
යම් පුද්ගලයෙක් සංචරණයේදී හෝ චලනය වන බව දැනීමේදී ඔක්කාරය, වමනය ආදී අමිහිරි අවස්ථාවකට එළඹීම මෙසේ හඳුන්වනවා. මේ ආකාරයෙන් අත්දකින අවස්ථා කිහිපයක් තියෙනවා.
1. මුහුදේ යාත්රා කිරීමේදී - Sea Sickness
2. ගුවනේ ගමනේදී - Space Sickness
3. ගමන් බිමන් යාමේදී - Travel Sickness
🔺මොකක්ද මේකට හේතුව?
අපේ ශරීරය යම් චලනයක් සිදුකරන බව මොළයට දැනීමට සාධක කීපයක් බලපානවා.
1. ඇස් පෙනීමෙන් ලැබෙන Visual Inputs
2. කනේ සමබරතාවය සම්බන්ධ ඉන්ද්රියෙන් ලැබෙන Vestibular Inputs
3. ශරීර ස්පර්ශක හා අනෙක් සන්වේදන Proprioceptive Inputs
මේ සියලු සන්වේදන එකිනෙකට සමපාත නොවන අවස්ථාවේදී ඔක්කාරය, වමනය ආදී ලක්ෂණ මතුවෙනවා.
මේක සාමාන්ය ශරීරයේ සිදුවන ක්රියාවලියේ පුංචි වෙනස්කමක්.
චලනයේ ප්රබලත්වය මත ඕනෑම කෙනෙක්ට මෙය ඇතිවිය හැකියි.
🔺ඔබට දැනෙන ලක්ෂණ මොනවාද?
බහුල වශයෙන්,
🔸ඔක්කාරය
🔸වමනය
🔸මද ක්ලාන්ත ස්වභාවය
🔸වෙහෙසකර බව
🔸හිසේ කැක්කුම
🔺ඇතිවන සංකූලතා
අධික ලෙස වමනය යාම නිසා,
🔸විජලනය
🔸අයන අසමතුලිතතාවය මඟින් ඇතිවන ගැටළු
📌ඔබේ අවධානයට
මෙම ලක්ෂණ සෑම විටම Motion Sickness නිසා නොව වෙනත් රෝගී තත්ව නිසාද ඇතිවිය හැක.
එවැනි අවස්ථා නම්,
1. ඉරුවාරුදය - Migraine
2. විජලනය - Dehydration
3. ආහාර විෂවීම - Food Poisoning
4. ඇතැම් අංශභාග තත්ව - CVA
ඔබ වයස්ගත පුද්ගලයෙක් නම්, වෙනත් රෝගාබාධවලින් පෙළෙනවා නම් දිගින් දිගටම වමනය යාමේදී වෛද්ය උපදෙස් ලබාගන්න.
🔺වළකා ගත හැකි ක්රම
1. වාහනය තුළ ස්ථාන ගත වීම
🔸ඔබ වාහනයේ මධ්ය රේඛාවට හා මධ්යලක්ෂයට ආසන්න ස්ථානයක අසුන්ගන්න.
🔸ජනේලයට තරමක් ආසන්නව, හොඳින් වාතනය වන ස්ථානයක් තෝරාගන්න.
🔸පිටුපස අසුනේ හෝ රෝද වලට ඉතා ආසන්න ස්ථානයක අසුන් ගන්න එපා.
2. මුහුණේ හා ශරීර චලන සීමා කිරීම
🔸වාහනය ගමන් කරන දිශාවට මුහුණලා ඇස් යොමුකරන්න.
🔸දර්ශන පථය සීමා නොකර විශාල පරාසයක් නිරීක්ෂණය කරන්න.
🔸නමුත් නිතරම බෙල්ල දෙපසට හැරවීම සිදුකරගන්න එපා.
🔸වංගු සහිත මාර්ගයක ගමන් කිරීමේදී හැකි නම් ආසන පටි පළඳින්න.
🔸බෙල්ලට ආධාරකයක් සමඟින් හිස අංශක 30 පිටුපසට ඇල කරගන්න.
🔸දෑස් පියා ගැනීම හෝ අව්කණ්ණාඩි පැළඳීම වඩා සුදුසුයි.
🔸ඔබ සිටගෙන සිටින අවස්ථාවකදී දණහිස් මදක් නමාගෙන ඉදිරියට බර වී ආරක්ෂාකාරීව ගමන් කිරීම සුදුසුයි.
🔸ඔබට දරාගත නොහැකි තරමට අපහසුතාවයක් ඇත්නම් මුනින් අතට වැතිරී දෑස් පියාගන්න.
3. වාහනය තුළ ක්රියාකාරකම් අවම කිරීම
🔸වාහනයේ ගමන් කිරීමේදී පොත්, පත්තර, සඟරා කියවීමෙන් වළකින්න.
🔸ජංගම දුරකථන භාවිතය අවම කරන්න.
🔸තදබල සුවඳ සහිත සුවඳ විලවුන්, ආලේපන භාවිතය අවම කරන්න.
🔸මත්පැන් භාවිතය අවම කරන්න.
4. ආහාර
🔸හැකි තරම් දියර වර්ග පානය කර සජලනය වන්න. ජීවනී වැනි පානයක් වඩා යෝග්ය වේ.
🔸ගමනට පෙර සැහැල්ලු ආහාරයක් ලබාගන්න. පැණි රස සහිත ආහාර සුදුසු අතර මිරිස් සැර අධික ආහාර, ඇඹුල් අධික ආම්ලික ආහාර ගැනීම සුදුසු නැත.
කාබෝහයිඩ්රේට් වැඩි, මේදය අඩු ආහාර වේලක් ගන්න.
කෝපි භාවිතය බොහෝ විට යෝග්ය වන නමුත් ඇතැම් පුද්ගලයින් කෝපි පානයෙන් ඔක්කාරය වැඩි වන අවස්ථාද පවතී.
⭕ඉඟුරු සහිත ආහාර සමහර පුද්ගලයින්ගේ මෙම තත්වය සමනය කරන බව පරීක්ෂණ වලින් සනාථ වී ඇත.
🔺ඖෂධ
එදිනෙදා වමනය යාමට ලබාදෙන ඖෂධ වෙනුවට මේ සඳහා විශේෂිත ඖෂධ පවතින අතර, හැකිතාක් ඖෂධ භාවිතයෙන් තොරව අනෙක් ක්රම හරහා ඔබට මේ තත්වය පාලනය කරගත හැකිනම් අනාගතයේදී මේ තත්වය අවම කරගැනීමට වැඩි ඉඩක් ලැබෙනු ඇත.
සටහන:
Dr. Chathura Ranmal Dassanayake Chathura Ranmal Dasanayake
Medical Officer
BH-Kanthale
blog_image
blog_image