blogImage

ගර්භණී සමයේ වමනය යාම

📌 ගර්භණී සමයේ වමනය යාම
📌ගර්භණීභාවයත් සමගින් ඔක්කාරය සහ වමනය යාම අතීතයේ සිටම කාන්තාවක ගැබ් ගත් බව හදුනා ගැනීමේ ලකුණක් ලෙසින් ප්රකට වී ඇත.
📌ගර්භණී සමයේ ඔක්කාරය සහ වමනය යාම සාමාන්ය තත්වයක් ද?
සාමාන්යයෙන් ගර්භණී කාන්තාවන්ගෙන් 70%ක් පමණ ගර්භණී සමයේ මෙම තත්වයට මුහුණ දේ. ගර්භණී සමයේ මුල් සති 8දී පමණ සාමාන්යයෙන් මෙම තත්වය ආරම්භ වන අතර සති 16-18 පමණ කාලය වන විට මෙය පහව යනු දැකිය හැක. මෙලෙස ඇතිවන ඔක්කාරය සහ වමනය යාම කළලයට අහිතකර ලෙසින් බලනොපායි. කෙසේ වුවත් මුල් සති 12න් පසුව ප්රථම වරට වමනය ආරම්භ වීම සහ සති 20න් පසුවද වමනය සමනය නොවීම අසාමාන්ය තත්වයක් විය හැකිය.
කෙසේ වුවද මෙම කාලසීමාවේ වුවද අධික ලෙසින් වමනය යාමත් සමගින් ශරීරයේ බර අඩු වීමත්, විජලනයට පත් වීමත් Hyperemesis Gravidarum ලෙසින් හදුන්වන ප්රතිකාර ලබා ගත යුතු තත්වයකි.
📌වමනය ඇති වීමට හේතුව කුමක්ද ?
ගර්භණී සමයේ වමනය ඇති වීමට හේතුව සම්පූර්ණයෙන් පැහැදිලි නැතත් එය එම සමයේ ගර්භණී කාන්තාවන්ගේ නිපදවෙන හෝමෝන නිසා සිදුවන බව විශ්වාස කෙරේ. විශේෂයෙන් වැදෑමහ මගින් නිපදවෙන hCG (Human chorionic Gonadotrophin ) නම් හෝමෝනය මේ සදහා ප්රධාන ලෙසින් බලපාන බව සොයාගෙන ඇත.
මේ නිසා hCG හෝමෝනය වැඩිපුර නිපදවෙන අවස්තා වන නිවුන් දරුවන් , Molar pregnancy ( අසාමාන්ය ලෙසින් කළලයේ වැදෑමහ සෛල වර්ධනය වන තත්වයක් ) වලදී කාන්තාවකට ඔක්කාරය ,වමනය වැඩි වශයෙන් ඇති වීමේ අවදානමක් ඇත.
මෙලෙස කාන්තාවක ගැබ් ගත් පසු වමනය යාම නිසා කාන්තාවන්ට ගැබ් ගැනීම පිළිබඳ සිහිකැඳවීමක් ලැබේ. එසේම මෙම වමනය යාම නිසා මව විසින් ආහාරයට ගන්නා දේවල් වල කළලයට යම්කිසි අහිතකර දෙයක් වීනම් එය බැහැර කිරීමද සිදු වේ. එබැවින් ගර්භණී සමයේ මුල් කාලයේ ඔක්කාරය සහ වමනය යාම ආරක්ෂක යාන්ත්රණයක් (fetoprotective ) ලෙසින් ද සලකයි.
📌ඔක්කාරය සහ වමනය යාම නිසා ඇතිවිය හැකි ගැටලු මොනවාද?
දිගින් දිගටම වමනය යාමත්, ඒ නිසා අහාර පාන ක්රමවත්ව ලබා නොගැනීමත් නිසා මව විජලනයට ලක් වීමේ හා ශරීරයේ ලවණ තුලනතාවයේ වෙනස්කම් ඇති විය හැක.
එසේම මවට සිය දෛනික කටයුතු වල නිරත වීමට බාධා ඇති වීමත් කායික මෙන්ම මානසික පීඩනයක් ඇති වීමද සිදු විය හැක.
එසේම දිගින් දිගටම වමනය යාමත් සමගින් අමාශයික යුෂයේ ආම්ලිකතාවය නිසා මුඛයේ දත්වල එනැමලයට හානි වී දත් ඉක්මනින් දිරා යාමට ලක් විය හැක.
📌ගර්භණී සමයේ වමනය යාමට නිවසේදී ගතහැකි සරල ප්රතිකර්ම තිබේද?
ගර්භණී මවකට ඔක්කාරය සහ වමනය ඇති වීමට ඇතැම් විට සුවිශේෂී රසවල්, ගන්ධයන් හේතු විය හැක. එබැවින් හැකි සෑම විටම එවැනි තත්ව මග හරවා ගැනීමට කටයුතු කිරීම ඇතැම් විට සාර්ථක ප්රතිඵල ලබා දේ.
එසේම වමනය නිසා අහාර විශාල ප්රමාණ වලින් එකවර නොගෙන කුඩා ප්රමාණ වලින් ආහාර වේල් කිහිපයක් ලෙසින් ගැනීම කළ හැක. ඇතැම් කෑම වලට මවට අකමැත්තක් ඇති විය හැකි බැවින් ප්රියකරන ආහාර පමණක් ගැනීමට යොමු විය හැක.
කෑම ගැනීම අපහසු නම් දියර වර්ග, යුෂ වර්ග ආදිය පානය කිරීමෙන් ශරීරය විජලනයට පත් නොවී තබා ගැනීම වැදගත් ය.
වමනයත් සමගින් ආමාශයේ හා උගුරේ දැවිල්ල ගතිය ඇති වීමේ වැඩි ඉඩක් ඇති බැවින් වැඩිපුර මිරිස් යෙදූ සැර, තෙල් අධික කෑම බීම වලින් වැළකීම වැදගත් ය.
දොඩම්, නාරං, නෙල්ලි, ඉගුරු ආදීය ඔක්කාරය සහ වමනය ගතිය අඩු කිරීමේ හැකියාවක් පවතී. එවැනි දේ නිවසේදී අහාරයට එක් කර ගැනීමෙන් වමනය ගතිය තරමක් මග හරවා ගැනීමේ හැකියාවක් පවතී.
එසේම වමනය ගිය පසු මුඛය හොදින් වතුරෙන් සෝදා හැරීමෙන් ආම්ලිකතාවය අඩුකර එනැමලයට හානි වීම අවම කර ගත හැක.
📌ගර්භණී සමයේ වමනය යාමට වෛද්ය ප්රතිකාර ලබා ගත යුතුමද?
සෑම විටම ඔක්කාරය සහ වමනය සදහා වෛද්ය ප්රතිකාර ගැනීම අත්යාවශ්ය නොවේ. එදිනෙදා වැඩ කටයුතු කරගන යාමට බාධාවක් නොවන පරිද්දෙන් සහ ශරීරය විජලනයට ලක් නොවන පරිද්දෙන් අහාර පාන ලබා ගත හැකි අවස්ථා වලදී බොහෝ විට මෙම තත්වය විශේෂිත වෛද්ය ප්රතිකාර නොමැතිව වුවද නිවසේදීම සමනය කර ගත හැක.
නමුත්
👉දිගින් දිගටම අදිකව වමනය යාම,
👉ආහාරපාන කිසිවක් ලබා ගැනීමට අපහසු වීම,
👉 මූත්රා පිටවන ප්රමාණය අඩු වීම
👉මූත්රා තද පාටින් යාම ,
👉වමනය සමගින් ලේ පිටවීම,
👉වමනය සමගින් අධික බඩේ අමාරුවක් ඇති වීම,
👉උණ ඇති වීම
වැනි තත්ව පවතී නම් හැකි ඉක්මනින් වෛද්ය උපදෙස් ලබා ගැනීම වැදගත් වේ.
මෙහිදී වෛද්යවරයා විසින් ඔක්කාරය, වමනය සහ ඒ සමගින් ඇතිවන බඩේ දැවිල්ලට ප්රතිකාර ලබා දෙනු ඇත.
එසේම ඇතැම් අවස්තා වලදී ස්කෑන් පරීක්ෂණයක් මගින් ( Ultrasound Scan ) ගර්භණී භාවය තහවුරු කිරීම සහ නිවුන් දරු තත්ව, Molar pregnancy වැනි තත්ව නොමැති බවට තහවුරු කර ගැනීමද අවශ්ය වේ.
මව හට අහාර පාන ලබා ගැනිමට නොහැකි තරමට වමනය පවතී නම් හෝ ඇය හට විජලන තත්වයක් පවතී නම් ඇතැම් විට රෝහල් ගතව ප්රතිකාර ලබා ගැනීමට ( බෙහෙත් වර්ග මුඛයෙන් ලබා ගත නොහැකි නම් ඉන්ජෙක්ෂන් මගින් ලබා දීම, සේලයින් ලබා දීම ,විටමින් වර්ග ලබා දීම, අවශ්ය රුධිර පරීක්ෂණ කිරීම ) සිදු විය හැක.
එසේම වමනය ඇති වීම වෙනත් හේතුවක් නිසා ඇති වී ඇත්නම් ඒ ගැන විශේෂිත පරීක්ෂණ කර ඒවාට ප්රතිකාර ගැනීම වැදගත් ය. මේ නිසා විශේෂයෙන් මුල් වරට සති 12න් පසු වමනය යාමට සහ සති 20න් පසු වමනය පවතින අවස්තාවලදී වෛද්ය උපදෙස් ලබා ගැනීම වැදගත් ය.
ගර්භණී සමයේ ඔක්කාරය සහ වමනය ඇති වීම ශරීරයේ සිදුවන වෙනස්වීම් නිසා සිදුවන සාමාන්ය සංසිද්ධියක් වන අතර , අවශ්ය අවස්ථා වලදී නිසි පරිදි වෛද්ය ප්රතිකාර ලබා ගැනීමත් , මවට අවශ්ය කායික මෙන්ම මානසික සහයෝගය පවුල තුළින් ලබා දීමත් තුළින් සාර්ථක සහ නීරෝගී ගර්භණී සමයක් මවට ලබා දිය හැකි වේ.
✍️සටහන
Dr. Harindu Udapitiya,
Senior House Officer - Gyn & Obs
BH Mahiyangana

 

blog_image
blog_image