blogImage

පුරුද්දට painkillers බීලා kidneys නැති කරගන්න එපා

📌 පුරුද්දට painkillers බීලා kidneys නැති කරගන්න එපා

 

NSAID Nephropathy ගැන දැනගන්න

 

කායික රෝග වාට්ටු වල වසර ගණනාවක් රාජකාරී සිදුකරන මා හට අවබෝධ වූ දෙයක් නම් දැන් දැන් ලංකාවේ වකුගඩු රෝගීන් ප්‍රමාණය පසුගිය වසර කිහිපයේදී සැලකිය යුතු මට්ටමින් වැඩිවී ඇති බවයි.

 

දැනට මා සේවය කරන නුවරඑළිය මහ රෝහලේත් මීට පෙර මා රාජකාරි ඉටුකල වැලිමඩ මූලික රෝහලේත් රුධිර පෙරහන් ඒකක නැතහොත් Dialysis Unit දිනපතාම රෝගීන්ගෙන් පිරී පවතින අතර පොරොත්තු ලේඛනයන් පවා පවත්වාගෙන යාමට නුදුරේම සිදුවනු ඇත.😯

 

📌 වකුගඩු රෝගීන් වැඩිවීමට හේතු මොනවාද???

 

පසුගිය දශක කිහිපයේ දී ශ්‍රී ලංකාවේ බෝනොවන රෝග වල සීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබිණි. දියවැඩියව හා අධික රුධිර පීඩනය වැනි රෝග දිගු කාලයක් පැවතීම හා ඒවායෙන් වකුගඩු වලට සිදු වන බලපෑම නිසා වකුගඩු අක්‍රියතාවය සහිත රෝගීන් දක්නට ලැබේ.😳

 

මීට අමතරව ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ දැනට නිශ්චිතව හේතුව සොයා නොගත් CKDU හෙවත් Chornic Kidney Disease Of Unknown Origin නම් රෝගී තත්වය නිසාද වකුගඩු අක්‍රියතාවය සහිතව රෝගීන් අපට හමුවේ.😥

 

නමුත් මේ තත්ව දෙකටම වඩා අවාසනාවන්ත ලෙස වකුගඩු රෝගයට ගොදුරුවන රෝගීන් කොටසක් මෑතකදී වැඩිපුර අපට හමුවේ. ඒ NSAID Nephropathy නම් රෝගයයි.😑

 

📌 NSAID Nephropathy යනු කුමක්ද???

 

NSAID යන කෙටි නමින් හඳුන්වන්නේ Non Steroid Anti Inflammatory Drugs නම් වේදනා නාශක ඖෂධ කාණ්ඩයයි. එම කාණ්ඩයට ප්‍රධාන වශයෙන් පහත ඖෂධ අඩංගු වේ.😱

 

💊 IBUPROFEN

💊 DICCOFENAC

💊 CELECOXIB

💊 MEFENAMIC ACID

💊 INDOMETHACIN

💊 ETORICOXIB

💊 ASPRIN

 

මේ නම් ඔබට නුහුරු බවක් දැනුන ද වේදනා නාශක ලෙස භාවිතා කරන මේ ඖෂධ බොහෝ දෙනා සුලභව භාවිතා කරනු ලබයි. මේ ඖෂධ දිගු කාලයක් තිස්සේ භාවිතය නිසා වකුගඩුවල අභ්‍යන්තර පටක වලට හානි වීමෙන් chronic tubularinterstitial nephritis නම් තත්ත්වය ඇතිවීමෙන් NSAID Nephropathy රෝගය ඇති වෙයි.😖

 

📌 NSAID Nephropathy රෝගය ඇති වන්නේ කෙසේද???

 

විශේෂයෙන් මතක තබා ගත යුතු කරුණ නම් වේදනා නාශක නියමිත මාත්‍රාවට කෙටි කාලයක් වෛද්‍ය නියමයට අනුව භාවිතයෙන් වකුගඩු වලට ගැටලුවන් ඇති නොවේ.🤓

 

විශේෂයෙන්ම අපගේ වැඩිහිටි පරම්පරාව ආච්චි අම්මලාට, සීයලාට නිතරම සන්ධි වේදනාව, කොන්දේ වේදනාව, උරහිසේ වේදනාව වාත ආමාරුව ආදී කැක්කුම් වලින් නිතරම පීඩා විඳි.😣

 

බොහෝවිට සිදුවන්නේ මේ වේදනාවන් ත්‍රීව්‍ර වූ විට වෛද්‍යවරුන් ඉහත වේදනා නාශක ඖෂධ දින කිහිපයකට නියම කරයි. ඒ ඖෂධ නිසා වේදනාවන්ට සහනය ලැබෙන නිසා ඖෂධ අවසන් වූ පසු

ඔසුසලකින් එම ඖෂධ නැවත ලබාගෙන දිගින් දිගටම භාවිතා කිරීමට යොමු වෙයි.🙄

 

මාගේ වෛද්‍ය ජීවිතයේදී එසේ වේදනා නාශක අවභාවිතා කරන රෝගීන් ඕනෑතරම් මුණගැසී ඇත. සමහර වැඩිහිටි උදවියට වේදනා නාශක වලට ඇබ්බැහි වූවා සේ එම ඖෂධ නොමැතිව නින්ද නොයන තරමට එම ඖෂධ භාවිතයට පුරුදු වී ඇත.😲

 

මෙසේ දිගින් දිගටම මාස ගණන්, අවුරුදු ගණන් මේ ඖෂධ ලබා ගැනීම නිසා ක්‍රමක්‍රමයෙන් වකුගඩු වල අභ්‍යන්තර පටක හානි වීමට ලක්වන අතර දිගු කාලයක් තිස්සේ එසේ සිදුවන හානිය නිසා වකුගඩුවක් අක්‍රියතාවය ඇතිවේ.😨

 

📌 මෙම රෝගයේ රෝග ලක්ෂණ කුමක්ද???

 

සාමාන්‍යයෙන් මේ රෝගය සඳහාම විශේෂිත රෝග ලක්ෂණ නොමැති අතර වකුගඩු ක්‍රියාකාරිත්වය සැලකිය යුතු මට්ටමකින් අඩු වූ විට එමගින් පහත රෝග ලක්ෂණ ඇතිවේ.😓

 

1. මුත්‍රා සමග වැඩිපුර පෙණ පිටවීම

2. මුත්‍රා පිටවීම අඩුවෙන් හෝ වැඩිපුර සිදුවීම

3. මුත්‍රා සමග ලේ පිටවීම

4. රක්තහීනතාවයේ රෝග ලක්ෂණ මතු වීම

5. අධික රුධිර පීඩනය ඇතිවීම

 

බොහෝ අවස්ථාවලදී රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අතර රුධිර පරීක්ෂණ සඳහා යොමු කිරීමකින් පසු අහම්බෙන් මේ රෝගීන්ගේ වකුගඩු අක්‍රියතාවය හඳුනා ගැනීම බහුලව සිදුවේ.😧

 

📌 රෝග හඳුනා ගන්නේ කෙසේද???

 

ඔබගේ දෙමාපියන්, වැඩිහිටියන් දිගු කාලීනව යම් වේදනාවකින් පසුවනවාද?

 

උදාහරණ ලෙස ට

 

👉කොන්දේ වේදනාව

👉දණහිස් වේදනාව

👉හිසේ කැක්කුම

 

ආදි ලෙසට යම් වේදනාවකින් පීඩා විඳින්නේ නම් දිගු කාලීනව ඉහත සදහන් කල ඖෂධ ලබා ගන්නේ දැයි අවධානයෙන් ඉන්න.

එසේ ලබා ගන්නේ නම් පහත රුධිර පරීක්ෂණ සිදු කිරීම වඩා උචිතයි.😌

 

▪️Serum creatinine

▪️eGFR

▪️ Blood urea

 

ඉහත පරීක්ෂණවලින් වකුගඩු ක්‍රියාකාරිත්වය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි අතර අවශ්‍යතාවය අනුව වෛද්‍යවරයෙකු ඔබව ඉදිරි පරීක්ෂණ සඳහා යොමු කරනු ඇත.😃

 

⭕ විශේෂ අවධානයට

 

📌 ASPRIN බිව්වොත් මෙහෙම වෙනවද???

 

හෘදයාබාධ, අංශභාග තත්ව ඇති රෝගීන්ට බොහෝ අවස්ථාවලදී ඇස්ප්‍රින් නම් ඖෂධය ලබා දෙයි. එය ලබා දෙන මාත්‍රාවෙන් දිනපතා පානය කිරීමෙන් මෙම රෝගය ඇති නොවන බව ඔබ මතක තබා ගත යුතුයි. කිසිසේත් ම අනවශ්‍ය බියක් ඇති කරගෙන එම ඖෂධ ලබා ගැනීම නතර නොකරන්න.👌

 

📌වේදනා නාශක භාවිතය නතර කළ යුතුද???

 

ඇතැම් රෝග සඳහා දීර්ඝකාලීනව වේදනා නාශක ලබා ගැනීමට සිදුවෙයි. උදාහරණයක් ලෙසට රුමටොයිඩ් ආතරයිටීස් නම් සන්ධි රෝගය වැනි රෝග සඳහා මේ ඖෂධ සායන වලින් නිකුත් කරන අතර රෝග පාලනයට එම ඖෂධ අවශ්‍ය වේ. නමුත් සායනවලදී මාසිකව හෝ මාස දෙකකට වරක් නිරන්තරයෙන් වකුගඩු පරීක්ෂණ සිදුකරමින් එම ඖෂධය නියාමනය කරයි.👍

 

📌 රෝගය වළක්වා ගැනීමට අප කළ යුත්තේ කුමක්ද???

 

මේ ඉතා සරලයි අත්‍යවශ්‍ය නොවන අවස්ථාවකදී හැර පුරුද්දක් ලෙස ඉහත සඳහන් කළ වේදනා නාශක ඖෂධ භාවිත නොකරන්න.👆

 

ඔබට දිගු කාලිනව වේදනා නාශක භාවිතා කළ යුතු වන රෝගයක් පවතින්නේ නම් නිරන්තරයෙන් වකුගඩු පරීක්ෂාවන් සිදු කරගන්න.😇

 

ඔබගේ දෙමාපියන්, වැඩිහිටියන් මේ පිළිබඳව දැනුවත් කර ඖෂධ අවභාවිතයෙන් ඔවුන්ව අත්මුදවන්න.🙏

 

-✍️Dr.Nishara Balasooriya

SHO Medical Ward

DGH Nuwaraeliya

blog_image
blog_image