blogImage

ළමා ස්ථුලතාවය

ළමා ස්ථුලතාවය

 

🔺ළමා ස්ථුලතාවය යනු කුමක්ද?

 

⭕අවුරුදු 2ත් 20ත් අතර: ශරීර ස්කන්ධ දර්ශකය > 95th centile

⭕අවුරුදු 2ට අඩු: උසට අදාල බර > 95th centile

 

ප්‍රධාන වශයෙන් ස්ථුලතාවය හඳුනාගැනීමට භාවිතා වන්නේ ශරීර ස්කන්ධ දර්ශකයයි (BMI).

එය ගණනය කරන්නේ,

 

ශරීර ස්කන්ධ දර්ශකය = බර/(උස*උස)

 

2012 වර්ෂයේදී ඇමරිකානු වෛද්‍ය සංගමය මඟින් ස්ථුලතාවය රෝගයක් ලෙස නම් කර තිබෙනවා. කාලයත් සමඟ ළමා ස්ථුලතාවය ලෝකයේ බොහෝ රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ ආර්ථිකයට බලපාන ප්‍රශ්ණයක් බවට පත්වෙලා තියනවා.

ශ්‍රී ලංකාවේත් මේ වන විට එය විශාල ගැටලුවක් වෙමින් පවතිනවා.

 

🔺ළමා ස්ථුලතාවය රෝගයක් වන්නේ ඇයි?

 

ස්ථුලතාවය හේතුවෙන් ළමුන් හට වෙනත් රෝග ඇතිවීමේ අවදානම ඉහළ ගොස් තිබෙනවා. ශරීරයේ ඇති රුධිරවහන අස්ථි, ශ්වසන, ස්නායු ආදී සියලුම පද්ධතිවලට බලපෑම් ඇති කරන රෝගයක්.

 

🔸ශ්වසන පද්ධතිය: ඇදුම, නින්දෙදි හුස්ම ගැනීම නතර වීමේ රෝග

 

🔸අන්තරාසර්ග පද්ධතිය: දියවැඩියාව, සුදුසු වයසට පෙර ඔසප් වීම, පොලිසිස්ටික් ඩිම්බ ප්‍රදාහය (PCOS)

 

🔸ආහාරමාර්ග පද්ධතිය: අක්මාවේ මේදය තැන්පත් වීම (Fatty liver), පිත්තාශයේ ගල් ඇතිවීම, ආමාශයේ දැවිල්ල (GORD)

 

🔸රුධිර වහන පද්ධතිය: අධි රුධිර පීඩනය, රුධිරයේ අධික මේදය

 

🔸වෘක්කීය පද්ධතිය: වකුගඩු තුළින් පෙරීම වැඩිවීම (glomerular hyperfiltration)

 

🔸අස්ථි පද්ධතිය: අස්ථි ගෙවීම

 

🔺ළමා ස්ථුලතාවය වර්ධනය වීමේ ප්‍රවණතාවක් ඇත්තේ ඇයි?

 

1. ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීම

 

2. ක්ෂණික ආහාර පරිභෝජනය වැඩිවීම: ඒ තුළ පිෂ්ඨය, සංතෘප්ත මේදය, ට්‍රාන්ස් මේදය බහුලව අඩංගු වේ. මේවා වැඩිපුර ආහාරයට ගැනීම සුදුසු නොවේ.

 

3. එළවළු, පළතුරු, පලා ආහාරයට ගැනීම අඩුවීම

 

4. පවුලක් ලෙස ආහාර නොගැනීම: බොහෝ විට රූපවාහිනිය නරඹමින් ළමුන් ආහාර ගැනීමට පෙළඹේ. මේ හේතුවෙන් නොදැනුවත්ව වැඩිපුර ආහාර පරිභෝජනය කරනු ලබයි.

 

🔺ළමා ස්ථුලතාවයෙන් වැළකීමට සහ ස්ථුලතාවයෙන් මිදීමට ඔබේ දරුවා වෙනුවෙන් කළ හැක්කේ මොනවාද?

 

🔸වෙහෙස වී බර අඩු කිරීමක් වෙනුවට ක්‍රමානුකූලව බර අඩු කිරීමක් සිදු කළ යුතුය. නැතිනම් බර පවත්වාගෙන යා යුතුය. එවිට කාලයත් සමඟ උසට සරිලන නිසි බරට ළඟා වනු ඇත.

 

🔸දවසේ ප්‍රධාන ආහාර වේල් තුන මග නොහරින්න. ප්‍රධාන ආහාර වේල් තුළදී ශක්තියෙන් අඩු (කැලරි අගය අඩු) පෝෂණ ගුණයෙන් වැඩි ආහාර තෝරාගන්න.

 

🔸දිනපතා ශාරීරික ක්‍රියාකාරකම්වල දරුවා යොදවන්න. පාසලේ ක්‍රීඩාවකට යොමු කරන්න.

උදාහරණ: පාපන්දු, හොකී, පැසිපන්දු, රග්බි

 

🔸පැණි බීම වර්ග ගැනීමෙන් වළකින්න.

 

🔸ට්‍රාන්ස් මේදය බහුල ආහාර සහ සංතෘප්ත මේදය බහුල ආහාර ගැනීම අඩුකරන්න.

 

📌ට්‍රාන්ස් මේදය බහුල ආහාර: බේකරි නිශ්පාදන, කේක්, බිස්කට්, පේස්ට්‍රි, පීසා, , ගැඹුරු තෙලේ බදින ආහාර (නැවත බදින නිසා)

📌සංතෘප්ත මේදය බහුල ආහාර: ගිතෙල්, රතු මස් (හරක් මස්, ඌරු මස්), චීස්

 

🔸ප්‍රෝටීන බහුල ආහාර වැඩිපුර ආහාරයට ගන්න

උදාහරණ: බිත්තර, සම ඉවත් කරන ලද කුකුල් මස්, මාළු, රනිල බෝග (බෝංචි, කඩල, මුං ඇට)

 

🔸දිනකට එළවළු, පලා වර්ග, පළතුරු ආහාරයට ගන්න. (පළතුරු බීම සුදුසු නොවේ)

 

✍️සටහන:

වෛද්‍ය දිදුල අමරසිංහ 

ශල්‍ය වෛද්‍ය ඒකකය

පානදුර මූලික රෝහල

blog_image
blog_image