blogImage

පණු හොරි යනු කුමක්ද?

🔺පණු හොරි යනු කුමක්ද?

 

බහුලව දැකිය හැකි ඉතා කසන සුළු සමේ රෝගයකි. ඕනෑම වයසකදී වැළඳිය හැකි නමුත් කුඩා දරුවන් අතර බහුලය. ඇසට නොපෙනෙන තරම් කුඩා "Scabies mite" නැතහොත් මයිටා කෘමියන් සම ආසාදනය කිරීම නිසා මෙම රෝගය ඇතිවේ.

 

⭕මෙය ඉතා ඉක්මනින් පවුලේ අනෙක් අය අතර බෝවිය හැක.

 

බෝවීම සිදුවන්නේ ආසාදිත රෝගියෙකුගේ සම ස්පර්ශ වීමෙනි. තවද ආසාදිත පුද්ගලයෙකු භාවිතා කළ ඇඳුම්, තුවා, ඇඳ ඇතිරිලි මඟින්ද මෙය පැතිර යාමේ ඉඩකඩ ඇත.

 

🔺රෝගය බහුලව දක්නට ලැබෙන පිරිස්

 

🔸කුඩා දරුවන්

🔸වයස්ගත පුද්ගලයින්

🔸දීර්ඝ කාලීනව රෝගාබාධ වලින් පෙළෙන පුද්ගලයින්

🔸වැඩි පිරිසක් සමීපව වාසය කරන ළමා හා වැඩිහිටි නිවාස

🔸නේවාසිකාගාර වල සිටින අය

 

🔺රෝගය බහුලව දැකිය හැකි ස්ථාන

 

🔸අත්ලේ හා දෙපාවල ඇඟිලිකරු අතර

🔸කුඩා දරුවන්ගේ හිස, මුහුණේ සහ ගෙල පෙදෙස

🔸කුඩා දරුවන්ගේ තට්ටම් ප්‍රදේශයේ

🔸වැඩිහිටියන්ගේ පියයුරුවල සහ ලිංගාශ්‍රිතව

 

🔺රෝග ලක්ෂණ

 

🔸අධික ලෙස කැසීම - රාත්‍රී කාලයට අධිකය

🔸කුඩා බිබිලි මතුවීම

🔸කැසීම නිසා තුවාල ඇතිවීම

 

🔺සංකූලතා

 

කැසීම නිසා සමෙහි ඇතිවන තුවාල මඟින් බැක්ටීරියා ආසාදන (Secondary Bacterial Infection) ශරීරගත වී වකුගඩු ආශ්‍රිත රෝගාබාධ ඇතිවිය හැක.

 

🔺රෝගය සඳහා ඇති ප්‍රතිකාර ක්‍රම

 

1. 5% Permethrin

 

📌මෙම ආලේපනය හිසෙන් පහළ ශරීරයේ සියළුම ස්ථානවල (ඇඟිලි කරු, නියපොතු යට, කිහිලි, ඉකිලි ඇතුළු) ආලේප කළ යුතුය.

 

📌මෙය රෝගියා පමණක් නොව පවුලේ කසන, නොකසන සියළු දෙනා එකවර භාවිතා කළ යුතුය.

 

📌මෙසේ ආලේප කර පැය 8-12ක් සම මත තිබිය යුතුය. මේ සඳහා රාත්‍රී නින්දට පෙර ආලේප කර, පසුදින උදෑසන අවදි වූ පසු ස්නානය කර සෝදා හරින්න.

 

📌මෙලෙස ප්‍රතිකාර කළ දිනයේ සිට දින 04ක් ඉකුත් වූ පසු නැවතත් එක් දිනක් ප්‍රතිකාරය කළ යුතුය.

 

📌ප්‍රතිකාර කරන පළමු දිනයේම ඇඳුම්, ඇඳ ඇතිරිලි කොට්ටා මෙට්ටා ආදී සියල්ල සෝදා, තම්බා පිරිසිඳු කරගත යුතුය.

 

📌මෙම ආලේපනය ගර්භනී මවුවරුන්ට, කිරි දෙන මවුවරුන්ට සහ මාස 02කට වැඩි ළදරුවන්ට භාවිතා කළ හැකිය.

 

2. සල්ෆර් ප්‍රතිකාරය

 

📌මෙය මාස 02කට අඩු ළදරුවන් සඳහා සුදුසුය.

📌එක දිගට දින 03ක් මෙම ප්‍රතිකාරය කළ යුතුය.

 

වෛද්‍යවරයා නිර්දේශ කරන ආකාරයට ප්‍රතිකාර ගැනීමෙන් පණුහොරි රෝගය නිට්ටාවටම සුව කරගැනීමට ඔබට හැකි වේ.

 

✍️සටහන:

Dr. Anupama Kemarathne

medical office - Dermatology

DBH - Rikillagaskada

blog_image
blog_image