blogImage

ලේ දන්දීම

ලේ දන්දීම කියන්නේ පුද්ගලයෙකුට කළ හැකි ඉතා උතුම් පරිත්‍යාගයක්!

 

ඔබ දන්නවාද,

 

එක් වරක් ඔබ ලේ දන්දුන් විට අසරණ රෝගී ජීවිත හතරකට ඔබ පිහිටවන බව

 

🔺ඔබ දන්දෙන රුධිරයෙන් බොහෝ අවස්ථාවලදී රුධිර ආශ්‍රිත පටක නිෂ්පාදන හතරකට වෙන් කරනවා.

 

1. රතු රුධිර සෛල

 

රුධිරයේ ප්‍රධානතම සෛල වර්ගය වන රතු රුධිරාණු වෙන් කරගෙන තැලසීමියාව සහිත දරුවන්ට, රක්තහීනතාවය ඇති රෝගීන්ට රුධිර ආශ්‍රිත පිළිකා තත්ව වලින් පීඩා විඳින අසරණ රෝගීන්ට නිරන්තරයෙන් ලබාදීමට සිදුවෙනවා.

 

2. සුදු රුධිරාණු

 

රුධිරයෙන් වෙන් කර ගන්නා ලද සුදු රුධිරාණු ප්‍රතිශක්තිය හීන වූ පිළිකා රෝගීන්ට ලබා දිම සිද්‍රකරනවා

 

3. රුධිර පට්ටිකා

 

රුධිර පට්ටිකා වෙන් කරගෙන අක්මා රෝගීන්ට, රුධිර කැටිගැසීම ආශ්‍රිත රෝගීන්ට ලබාදීම සිදුකරයි.

 

4. රුධිර ප්ලාස්මාව හා ප්ලාස්ම ප්‍රෝටීන

 

හිමොෆීලියාව වැනි ලේ කැටිගැසීමේ ගැටළු සහිත රෝගීන්ට ප්ලාස්ම ප්‍රෝටීන හිඟතාවය ඇති රෝගීන්ට වැනි බොහෝ රෝගීන්ට මෙය ලබාදීමට සිදු වෙනවා.

නියමිත ගබඩා තත්ව යටතේ රුධිර ප්ලාස්මාව සාමාන්‍යයෙන් වසරක් තබා ගත හැකියි.

ඉතිං ඔබ ලේ දන්දුන් විට එම රුධිරයෙන් වසරක් පුරාවට අසරණ රෝගියෙකුගේ ජීවිතය බේරා ගැනීමේ අවස්ථාව උදාවෙනවා.

 

🔺ලේ දන්දෙන්න ඕනිම කෙනෙක්ට පුළුවන්ද?

 

රුධිර දායකයෙක් වීම සඳහා ඔබ සැපිරිය යුතු කාරණා රාශියක් තිබෙනවා. මේවා සකස් කර තියෙන්නේ ලේ දන්දීම සිදුකරන ඔබේ යහපත හා ලේ ලබාගැනීම සිදුකරන රෝගියාගේ යහපත යන කරුණු දෙකම සලකා බැලීමෙන් පසුයි.

වෛද්‍යවරයා ඔබ මුල් වතාවේදී ලේ දන්දීම සිදුකරන විට මේ කරුණු කාරණා සලකා බලා ඔබට ලේ දන්දීමට හැකිදැයි තීරණය කරනවා. සමහර අවස්ථාවල යම් කාලයකට පසු ඔබට ලේ දන්දීම සිදුකර හැකි වන අතර ලේ දන්දීම සිදු කිරීමට නොහැකි අවස්ථාවන් තිබෙනවා.

 

🔺ලේ දන්දීමට සැපිරිය යුතු මූලික කාරණා කීපයක් තියනවා.

 

🔸වයස

 

අනිවාර්‍යයෙන් වයස අවුරුදු 18ට වැඩිවිය යුතුයි. මුල් වතාවට ලේ දන්දීම සිදු කරන අයෙක් නම් වයස අවුරුදු 55ට අඩු විය යුතුයි. නිරන්තරයෙන් ලේ දන්දීම සිදුකරන අයෙක්ට වයස 60 දක්වා ලේ දන්දීම සිදු කළ හැකියි.

 

🔸බර

 

ඔබගේ බර 50ක්ග් ට වැඩි විය යුතුයි. ලේ දන්දීමේ කඳවුරු වලදී අපි ළඟට පැමිණ,

 

"අනේ ඩොක්ටර් මට බර කිලෝ 49 යි. එකයිනේ අඩු මගෙනුත් ලේ ගන්න"

 

වගේ ඉතා යහපත් චේතනාවෙන් ලේ දන්දීමට ඉදිරිපත් වෙනවා. නමුත් බර ඔබ සැපිරිය යුතුම සාධකයක්. මන්ද යත් වරකදී ඔබේ ශරීරයෙන් නියමිත ප්‍රතිශතයක් පමණයි රුධිරය ප්‍රදානය කළ හැකි වන්නේ. ඉතිං මේ ප්‍රතිශතය ප්‍රදානය කිරීමට අඩුම බර 50kg තිබීම අනිවාර්‍යයි.

 

📌ලේ දන්දීම සම්බන්ධයෙන් සමාජයේ දුර්මත කීපයක් තියෙනවා. ප්‍රධානම දෙයක් තමයි ටැටූ ගැහුවොත් ලේ දන්දෙන්න බෑ කියන එක.

 

🔺ඇත්තටම මෙහි සත්‍යතාවය කුමක්ද?

 

පච්චා කෙටීම, කන් විදීම වැනි ශරීරයේ අභ්‍යන්තරය හා සම්බන්ධ වන ආකාරයේ රූපලාවන්‍ය කටයුතු වලින් වසරක් ගත වීමෙන් පසු ඔබට ලේ දන්දීම සිදු කළ හැකියි. වසරක් යන තුරු ඔබට ලේ දන්දීම සිදුකළ නොහැක්කේ ඔබගේ රුධිරයට ආසාදන ඇතුලු වීමේ අවදානම නිසාවෙනුයි.

 

🔺ලේ දන්දීම කළ හැක්කේ කොපමණ කාලයකට වතාවක්ද?

 

සාමාන්‍ය ලේ දන්දීම සෑම මාස හතරකටම වරක් සිදු කළ හැකියි. ලේ දන්දීමෙන් මාස හතරකට පසු ඔබ නැවත ලේ දන්දීම සිදු කළ හැකි පුද්ගලයෙක් බවට පත් වෙනවා.

 

🔺ලේ දන්දීම සිදුකළ හැකි ස්ථාන මොනවාද?

 

ලංකාවේ බොහෝ ප්‍රදේශවල නිරන්තරයෙන් ලේ දන්දීමේ කඳවුරු සංවිධානය කරනවා. මේවායේදී ඔබට ලේ දන්දෙන්න පුළුවන්. ඇත්තටම මේ සංවිධායකවරුන්ට අප සියලු දෙනා කෘතඥපූර්වක විය යුතුයි ඔවුන්ගේ වටිනා සේවය වෙනුවෙන්.

 

මීට අමතරව ලේ බැංකුවක් සහිත ඕනෑම රෝහලක එම ලේ බැංකුවට ගොස් ඔබට ලේ දන්දීම සිදුකරන්න පුළුවන්. බොහෝ මූලික හා දිසා රෝහල් වලත්, සෑම පළාත් මහා රෝහලකම හා ශික්ෂණ රෝහලකත් ලේ බැංකුවක් පවතිනවා.

 

🔺ලේ දන්දීමට පෙර ඔබ සූදානම් වන්නේ කෙසේද?

 

🔸ලේ දන්දීමට පෙර දිනයේ රාත්‍රියේදී සාමාන්‍ය පරිදි පැය 6කට වඩා නින්ද ලබාගන්න.

🔸ලේ දන්දීමේ කඳවුරු සංවිධානය කරන පුද්ගලයින් නිදිමරාගෙන ඒ කටයුතු සිදුකිරීම එතරම් යෝග්‍ය නොවේ.

🔸උදෑසන ආහාරය ලබාගෙන ලේ දන්දීමට පිටත්වන්න.

 

🔸ඔබට ලැබෙන පෝරමය හොඳින් කියවා පුරවන්න.

🔸එහි රතු පැහැයෙන් ඇති කොටස හොඳින් කියවා අවංකභාවයෙන් පුරවන්න.

 

🔺ලේ දන්දීමේ අවස්ථාවේදී

 

සමහර පුද්ගලයින් වේදනාවක් ඇතිවේයැයි බියකින් පසුවෙනවා. එසේ බිය විය යුතු නැහැ. ලේ දන්දීම වේදනාකාරී කටයුත්තක් නොවෙයි.

එම අවස්ථාවේදී ඔබට යම් අපහසුවක් හෝ වෙනසක් දැනේ නම් ඔබ ළඟ සිටින හෙද කාර්ය මණ්ඩලයට දැනුම්දෙන්න.

 

🔺ලේ දන්දීමෙන් පසු ඔබ කළ යුත්තේ කුමක්ද?

 

🔸අවම මිනිත්තු 20 පමණ එම ස්ථානයේ රැඳී සිටින්න. එම දිනය පුරා හොඳින් ජලය පානය කරන්න.

🔸ඉතා අධිකව කය වෙහෙසවී සිදුකරන ක්‍රියාකාරකම්වල නිරත නොවන්න.

🔸සාමාන්‍ය එදිනෙදා කටයුතු සුපුරුදු පරිදි ඔබට සිදු කළ හැකියි.

 

📌මේ ගැනත් අවධානය යොමු කරන්න.

 

මේ දිනවල සෞඛ්‍ය සේවාවේ පවතින උපකරණ හා අමුද්‍රව්‍ය හිඟය රුධිර පාරවිලයන සේවාවටත් බලපාලා තියනවා. මේ නිසා සමහර අවස්ථාවලදී රුධිරය එකතු කරන බහාලුම් මලු නියාමනය කළ යුතු නිසා ලේ දන්දීමේ කඳවුරේ සියලු දෙනාටම රුධිර ප්‍රදානය කිරීමට නොහැකි විය හැකියි.

 

එසේ ඔබට අවස්ථාව නොලැබුණොත් ඔබට ළඟම පිහිටි රෝහලේ ලේ බැංකුව සමඟ සාකච්ඡා කර අවශ්‍ය වූ විට ඔබේ ලේ දන්දීම සිදුකරන්න.

 

ඔබගේ Rh සාධකය නෙගටිව් නම් (O Negative, B Negative, AB Negative, A Negative) ඔබේ ලේ වර්ගය තරමක් දුර්ලභ නිසා ලේ බැංකුව අවශ්‍ය විටකදී ඔබව සම්බන්ධ කරගෙන ලේ දන්දීම සිදුකළ හැකියි.

 

ඔබ O Negative නම් සාර්ව දායකයා නිසා හදිසි අවස්ථාවකදී ඔබේ දායකත්වය ඉතාම වටිනවා.

 

ඉතිං ලේ දන්දීම කියන පරිත්‍යාගශීලී පුරුද්ද ඔබේ ජීවිතයට හුරු කරගන්න. උපකාරී වෙන්න.

සටහන මෙසේ අවසන් කරන්නම්.

 

මා වැනි බිළින්දා

මරුවා යයිද කැන්දා

අනේ! ඒ හින්දා

දෙන්න ලේ බිඳු මාමා නැන්දා

 

✍️සටහන:

Dr. D. Savi Sankini Padmasiri Savi Sankini

Medical Officer

Blood Bank

University Hospital KDU

blog_image
blog_image