blogImage

කන් කලාඳුරු

ඩොක්ටර්, ළඟදි ඉඳලා මගේ කනක් ඇහෙනවා අඩුයි. කන් කලාඳුරු තිබිලා මම සුද්ධ කරගත්තා. ඒත් තාම ඇහෙනවා පොඩ්ඩක් අඩුයි.

උගුර, කන, නාසය පිළිබඳ සායන වලදී බොහෝ රෝගීන්ගෙන් යොමුවන පැමිණිල්ලක් තමයි කන් කලාඳුරු ඇතිවීම නිසා සිදුවන අපහසුතා.

ඉතිං මේ ලිපියෙන් කන් කලාඳුරු ගැන කථා කරන්නම්.

 

🔺කන් කලාඳුරු හැදෙන්නේ කොහොමද?

 

අපගේ කනේ කන්පෙත්තේ සිට කන් බෙරය දක්වා කොටස බාහිර ශ්‍රවණ නාලය ලෙස හඳුන්වයි. මෙහි පිටතින්ම ඇති තුනෙන් එකක කොටස සාමාන්‍ය සමෙන් ආස්තරණය වී ඇත. ශරීරයේ අනෙක් ප්‍රදේශ වල පවතින්නාක් සේම මෙම කොටසේ අඩංගු සමේ දහඩිය ග්‍රන්ථි, සීබම් ග්‍රන්ථි ආදිය පවතී.

 

ඒවායින් නිපදවන ශ්‍රාවයින්, කන ඇතුළත ස්ථරයේ මියගිය සෛල, දූවිලි ආදී අපද්‍රව්‍ය එකතු වීමෙන් කන් කලාඳුරු නිෂ්පාදනය වේ.

 

මෙසේ නිපදවන කන් කලාඳුරු ස්වභාවිකවම කනේ ඇතුළත සිට පිටතට පැමිණීම සිදු වේ. ඉන්පසු ඒවා කනේ කෙළවරේදී අප මුහුණ සෝදන විට හෝ ස්වභාවිකවම ඉවත්වීම සිදු වේ.

 

කන ඇතුළත පිරිසිඳු කර ගැනීම උදෙසා අප ශරීරය තුළින්ම ඇතිවූ මේ ස්වභාවික ක්‍රියාවලිය තුළින් කන් කලාඳුරු ඇතිවේ.

 

මෙසේ සෑදෙන කන් කලාඳුරු වල අඩංගු සංඝටක නම්,

 

🔸ග්‍රන්ථි වලින් නිපදවූ තෙල් සහිත ශ්‍රාවයන්

🔸මියගිය සෛල වලින් ඇතිවූ කෙරටීන් ප්‍රෝටීන්

🔸සුළු වශයෙන් මේද අම්ල හා කොලෙස්ටරෝල්

🔸කන ඇතුළත එකතු වූ දූවිලි හා අපද්‍රව්‍ය

 

🔺කන් කලාඳුරු නිසා රෝග ලක්ෂණ ඇතිවේද?

 

සමහර පුද්ගලයින්ගේ කලාඳුරු ස්වභාවිකවම පිටතට පැමිණීමේ ක්‍රියාවලිය නිසි ආකාරයෙන් සිඳු නොවෙන්න පුළුවන්. කලාඳුරු වල ඇති අධික ඇලෙනසුළු ස්වභාවය, වැඩිපුර ඒවා නිපදවීම වගේ දේවල් නිසා කන ඇතුළත කලාඳුරු එකතුවීම සිදු වෙයි. මේ නිසාවෙන්,

 

🔸කන් ඇසීම අඩුවීම

🔸කන තුළ අපහසුතාවයක් දැනීම

🔸කන තුළින් ශබ්දය දෝංකාර දීම වැනි ලක්ෂණ මතුවීම සිදුවේ.

 

බොහෝ අය මෙවැනි අවස්ථාවකදී කන ඇතුළත විවිධ උපකරණ යොදා පිරිසිඳු කරගැනීමට උත්සහ කරයි.

 

බොහෝ දෙනෙක් මේ සඳහා බහුල වශයෙන් Cotton Bud භාවිතා කරන අතර ඒවායින් සිදුවන්නේ කනේ විවරයට ආසන්නයෙන් එකතු වී ඇති කලාඳුරු කනේ අභ්‍යන්තරයේ කන් බෙරය අසලට තල්ලු වීමයි.

මෙසේ සිදුවීම නිසා කන් ඇසීම පෙර තත්වයට වඩා අඩුවීමක් ඔබට දැනෙනු ඇත.

 

🔺කලාඳුරු නිවැරදිව ඉවත් කරන්නේ කෙසේද?

 

කන් ඇසීමේ වෙනසත් සමඟින් කලාඳුරු බහුලව ඔබේ කන ඇතුළත ඇති යැයි ඔබට සැක නම් සුදුසුම දෙය වෛද්‍යවරයෙකු හමුවීමයි.

එම අවස්ථාවේදී කන ඇතුළත පරීක්ෂා කිරීමෙන් පසු කලාඳුරු මෘදු ස්වභාවයට පත් කිරීමට ග්ලිසරීන්, ඔලිව් ඔයිල්, සෝඩියම් බයිකාබනේට් වැනි ඖෂධ භාවිතා කරයි. මේවා බිංදු තුනක් හෝ හතරක් දිනකට තුන් වතාවක් පමණ සතියක් පුරා භාවිතා කිරීමෙන් කලාඳුරු මෘදු කරගත හැක.

 

🛑විශේෂ අවධානයට🛑

 

වෛද්‍ය නියමයකින් තොරව මෙය භාවිතා නොකරන්න. මන්ද යත් කර්ණ පටහ පටලයේ යම් ගැටළුවක් නිසා කන් ඇසීම අඩුවූ මොහොතක ඔබේ සිතැඟි පරිදි ඉහත කී ඖෂධ අවභාවිතයෙන් ඒවා මැද කන තුළට ඇතුල් වීමෙන් සංකීර්ණ සංකූලතා මතුවීමට ඉඩ ඇත.

 

සතියක් පුරා ඖෂධ භාවිතා මඟින් සතියකට පසු නැවත වෛද්‍යවරයා හමුවන්න. එහිදී කන සේදීම හෝ චූෂණ යන්ත්‍රයක් මඟින් මෘදු වූ කලාඳුරු ඉවත් කරනු ලැබේ.

 

සමහර රෝගීන්ගේ කලාඳුරු බාහිර ශ්‍රවණ නාලයට තදින් ඇලී ඇති විට, කලාඳුරු ඉවත් කිරීම අධික වේදනාවක් ගෙන දෙයි. එවැනි අවස්ථාවකදී සුදුසු නිර්වින්දන තත්වයන් යටතේ එය සිදු කරයි.

 

නිසි උපකරණ, දැනුම හා පළපුරුද්ද නොමැතිව කන් සේදීම හා කලාඳුරු ඉවත් කරගැනීමට යාමෙන් කනට හානි සිදු කරගෙන අප වෙත පැමිණෙන රෝගීන් ඕනෑ තරම් සිටින නිසා ඔබත් එසේ කනට හානි වන අන්දමින් ආය කටු, කොණ්ඩ කටු, පෑන් කොපු, Cotton Bud ආදිය කනට ඇතුල් කරගැනීම සම්පූර්ණයෙන් නතර කරන්න.

 

කන තුළ ඇතිවන කලාඳුරු ස්වභාවිකව ඉවත් නොවන්නේ නම් මාස හයකට වරක් වෛද්‍යවරයෙකු ලවා කන පරීක්ෂා කරගෙන කලාඳුරු ඉවත් කරගැනීම සිදු කරන්න.

 

සටහන:

Dr.Mahesh Indika

ENT Unit

DGH Ampara

blog_image
blog_image