blogImage

ලියුකේමියාව

අද පෙබරවාරි 15 වෙනිදා කියන්නේ ලෝක ළමා පිළිකා රෝගීන්ගේ දිනයයි. පිළිකාව නැමැති භයානක රෝගයෙන් පීඩා විඳින අහිංසක මල් කැකුළු වලට තමයි අද දවස වෙන්වෙලා තියෙන්නේ.

 

ඉතිං; ඒ වෙනුවෙන් ලියුකේමියාව පිළිබඳව පුංචි සටහනක් තබන්න සිතුවා. මුලින්ම කියන්න ඕනි මේ ලිපියේ අරමුණ තමයි මේ රෝගය පිළිබඳව ඔබව දැනුවත් කිරීම. මොකද මේ නවීන ලෝකයේ බොහෝ ලෙඩ රෝග ගැන නිවැරදි දැනුවත්භාවය සෞඛ්‍යමත් සමාජයක මූලික අඩිතාලම සපයන නිසා. මේ රෝගය ගැන අනවශ්‍ය බියක් ඇති කරගැනීම වැළැක්වීමත් මෙහි අරමුණක්.

 

🔺ලියුකේමියාව කියන්නෙ මොකක්ද?

 

ලියුකේමියාව යනු රුධිරයේ ඇතිවන පිළිකාවක්. රුධිරයේ අඩංගු සුදු රුධිරාණු ආශ්‍රිතව ඇතිවන පිළිකාමය තත්වයක්. මුලින්ම අපේ ඇට මිදුළු ආශ්‍රිතව තමයි මෙය ආරම්භ වන්නේ.

 

ලියුකේමියාවේ විවිධ ප්‍රභේද පවතිනවා. ප්‍රධාන වශයෙන් Lymphoid හා Myoloid කියලා කාණ්ඩ දෙකකට බෙදෙනවා.

 

මේ අතරින් අප කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ Acute Lymphoblastic Leukemia (ALL) ගැනයි.

ඒ රෝගය තමයි පුංචි දරුවන් අතර බහුලවම දක්නට ලැබෙන ලියුකේමියා තත්වය. වැඩිහිටියන්ටත් මේ රෝගය හැදෙනවා නමුත් ළමයින්ට සාපේක්ෂව අඩු වශයෙන්.

 

🔺කොහොමද Acute Lymphoblastic Leukemia රෝගය ඇති වෙන්නේ?

 

මේක තරමක් සංකීර්ණ ක්‍රියාවලියක්. ඔබේ අවබෝධය සඳහා සරලව මෙය පැහැදිලි කරන්නම්.

 

සුදු රුධිරාණු නිපදවීම මූලික වන Lymphoid Precursor Cells වල අඩංගු ජාන වල සිදුවන අසාමාන්‍ය ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙසට එම සෛල වල වර්ණදේහ අස්ථානගත වීමක් හෝ වර්ණදේහ ගණනේ යම් වෙනස්කමක් ඇතිවෙනවා. මේ සිදුවන වර්ණදේහ වෙනස නිසා එම සෛල සාමාන්‍ය සෛල විදිහට ඉදිරියට වර්ධනය හා විකසනය නොවී අතරමඟ අවස්ථාවක නතර වෙනවා.

මෙහෙම වුන සෛල වලට ඉතා වේගයෙන් ගුණනය වීමේ හැකියාවක් ලැබෙනවා.

ඉතිං මේ අසාමාන්‍ය සෛල අපේ ඇට මිදුළු තුළ වේගයෙන් ගුණනය වීමේදී සාමාන්‍ය අනෙක් රුධිර සෛල වන රතු රුධිරාණු, රුධිර පට්ටිකා ආදී සෛල වලට අවශ්‍ය පෝෂණය හා අමුද්‍රව්‍ය නැතිවී යනවා. එම නිසා ශරීරයට අත්‍යවශ්‍ය එම සෛල වල අඩුවක් ඇති වෙනවා. මේ අඩුව නිසා රෝග ලක්ෂණ මතු වෙනවා.

 

🔺මේ රෝගය ඇතිවීමට තුඩු දෙන හේතුව කුමක්ද?

 

ඒකට ඇත්තටම නිශ්චිත පිළිතුරක් හොයාගෙන නෑ. දැනට උපකල්පනය කරන විදියට සාධක කිහිපයක එකතුවක්. නමුත් විකිරණශීලීතාවයට නිරාවරණය වීමෙන් මෙය ඇතිවීමේ අවදානම වැඩි වෙනවා.

ජපානයේ හිරෝෂිමා නගරයට එල්ල වුන න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයෙන් පසු එම පළාතේ ළමයින්ට බහුල වශයෙන් මේ ලියුකේමියා තත්වය ඇති වූ බව වාර්තා වෙනවා.

 

🔺රෝග ලක්ෂණ

 

රෝග ලක්ෂණ ගැන කියන්න කළින් ඉතාම වැදගත් දෙයක් තියනවා. මේ රෝග ලක්ෂණ සාමාන්‍ය වෛරස් රෝග වලදී වුවත් දක්නට ලැබෙන සුලභ රෝග ලක්ෂණ. මේ රෝග ලක්ෂණ එකක් හෝ දෙකක් පමණක් තිබීම නිසා ඔබේ දරුවා ගැන අනවශ්‍ය බියක් හෝ කලබලයක් ඇති නොකරගන්න.

 

1.උණ

2.රක්තහීනතාවයේ රෝග ලක්ෂණ

🔸සුදුමැලි බව

🔸නිතර මහන්සිය හා විඩාව දැනීම

🔸හුස්ම ගැනීමේ අපහසුව

🔸පපුවේ ගැස්ම වැඩිපුර දැනීම

2.රුධිර වහනය නිසා ඇතිවන ලක්ෂණ

🔸සමේ ලේ ගැලීම් නිසා ඇතිවන වෙනස්කම්

3.නිරන්තරයෙන් ආසාදන ඇතිවීම (නිව්මෝනියාව වැනි ආසාදන තත්ව)

4.වසා ගැටිති ඉදිමීම

5.අස්ථි ආශ්‍රිත වේදනාව

 

🔺පරීක්ෂණ

 

1.රුධිර පරීක්ෂණ - Full blood count, Blood picture

2.ඇටමිදුළු පරීක්ෂාව - Bone marrow aspiration and biopsy

3.රුධිරය කැටි ගැසීමේ පරීක්ෂණ - PT/INR

4.පපුවේ X-ray පරීක්ෂණය, අතිධ්වනි තරංග පරීක්ෂණ (USS)

5.ECG හා අනෙක් පරීක්ෂණ

 

🔺ප්‍රතිකාරය

 

මෙහි ප්‍රතිකාර පිළිබඳව දීර්ඝව කතා කිරීමට බලාපොරොත්තු නොවේ. අප කවුරුත් දන්නා පරිදි මෙහි මූලික ප්‍රතිකාර වන පිළිකා රෝගීන් සඳහා විශේෂිතව සිදු කරන Chemotherapy නම් ප්‍රතිකාරයයි.

 

🔺රෝගී දරුවන්ගේ දෙමාපියන්ට උපදෙසක්

 

ඔබේ දරුවා මේ රෝගයෙන් පීඩා විඳී නම් මේ උපදෙස් කිහිපය ඔබ වෙනුවෙන්‍ ය.

 

ඔබේ දරුවාට උණ හෝ රුධිර ගැලීමක ලක්ෂණ තිබේ නම් එවැනි අවස්ථාවක වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමු වන්න. දැනට Chemotherapy ප්‍රතිකාර ලබාගන්නේ නම්,

🔸සෙනඟ ගැවසෙන ස්ථානවලින් හැකි තරම් ඈත් වන්න.

🔸වෛරස් ආසාදන ඇති පුද්ගලයන් සමඟ ගැටීමේ අවස්ථා හැකිතාක් අවම වන ලෙස කටයුතු කරන්න.

🔸හොඳින් පිසූ ආහාර දරුවාට ලබාදෙන්න.

 

වැදගත්ම දෙය නම් දරුවාගේ මානසික සුවයයි. හැකි සෑම විටම ඔබේ ආදරය, සෙනෙහස මැද දරුවා හැකිතාක් සතුටින් තබන්න.

 

ඉතිං මේ පුංචි මල් කැකුළු ඉක්මනින් සුව වෙන්න කියලා අපි හැමෝම පුංචි ප්‍රාර්ථනාවකුත් කරමු.

 

සටහන:

Dr.Sachini Kaushalya

Registrar in Hematology

TH-Karapitiya

blog_image
blog_image