blogImage

නොමේරූ ළදරුවෙක් නිවසේදී රැක බලාගන්නේ කෙසේද?

නොමේරූ ළදරුවෙක් නිවසේදී රැක බලාගන්නේ කෙසේද?

 

🔺නොමේරූ ළදරුවෙක් යනු කවුද?

 

සාමාන්‍ය දරුවෙක් මෙලොවට බිහිවිය යුත්තේ සති 37ක් මවුකුස තුළ සිටීමෙන් පසුවයි. නමුත් සමහර අවස්ථාවලදී මෙම සති ගණන සම්පූර්ණ වීමට පෙර දරුවන් මෙලොවට බිහි වෙනවා. ඒ සඳහා විවිධ හේතූන් බලපාන්න පුලුවන්.

මෙහිදී සති 37ට හෝ අඩුවන සෑම දරු උපතක්ම නොමේරූ දරු උපතක් (preterm) ලෙස සලකන අතර එය සති 28ට වඩා අඩු නම් එය extreme preterm ලෙස හඳුන්වන්න පුළුවන්.

 

🔺නොමේරූ ළදරුවෙක් විශේෂයෙන් රැක බලා ගත යුත්තේ ඇයි?

 

සති ගණන සම්පූර්ණ වූ දරුවෙක් සහ නොමේරූ දරුවෙක් අතර ඇති වෙනස කුමක්ද යන්න දැනගැනීම ඉතා වැදගත්. නොමේරූ දරුවෙක් යනුද සාමාන්‍ය දරුවෙකි. නමුත් ඔහුට/ඇයට මෙම ලෝකයට හුරු වීමට මව සහ පියා ඇතුළු සිය පවුලම අනිවාර්‍යයෙන් සහයෝගයක් ලබාදිය යුතුමයි. ඒ සඳහා මව, පියා වශයෙන් මේ කරුණු දැනගැනීම ඉතා වැදගත්.

ඉක්මනින් සිරුරේ උෂ්ණත්වය අඩුවීම, ශ්වසන අපහසුතා, රුධිරයේ සීනි මට්ටම අඩුවීම, රුධිරයේ Bilirubin ප්‍රමාණය වැඩිවීම (Hyperbilirubinemia), රුධිරයේ Oxygen ප්‍රමාණය අඩුවීම (Hypoxia), විවිධ ආසාධන (Infection), Retinopathy of prematurity (ඇස්වල සංකූලතා), Osteopenia of prematurity (අස්ථිවල සංකූලතා), Anaemia of prematurity (රුධිරයේ හිමොග්ලොබීන් ප්‍රමාණය අඩුවීම), වැනි විවිධ සංකූලතා නොමේරූ ළදරුවෙක්ට ඇතිවිය හැක. එම නිසා එම දරුවන් විශේෂ ක්‍රමානුකූල පිළිවෙතකට රැක බලා ගැනීම ඉතාම වැදගත්.

 

🔺නිවසේදී ඔබ නොමේරූ ළදරුවෙක් රැක බලාගත යුත්තේ කෙසේද?

 

සාමාන්‍ය දරුවෙක්ට මෙන්ම,

1.මව්කිරි පමණක්ම මාස 6 වන තුරු ලබාදීම ඉතා වැදගත් ය. පැය 2න් 2ට එක් වරකට විනාඩි 20 බැගින් නිවැරදි ක්‍රමයටම කිරි ලබාදිය යුතුයි.

 

2.දරුවාට ඇතුල් විය හැකි ආසාධන වැලැක්වීම සඳහා ඉතා පිරිසිඳුව දරුවා සහ දරුවා සඳහා භාවිතා කරන සියලුම ඇඳුම්, ඇඳ ඇතිරිලි තබාගත යුතුයි. දරුවා දිනපතා නෑවීමට හැකිනම් එය ඉතා වැදගත් ය.

 

3.දරුවාගේ පෙකණියේ cord එක වැටෙන තුරු ඉතා පිරිසිඳුව ආසාධනය නොවන ආකාරයට සෝදා තෙත මාත්තු කර වියළිව තබාගත යුතුය.

 

4.දරුවාව නිතර නිතර අමුත්තන් සමඟ ගැටීමට ඉඩ නොතැබිය යුතුයි.මව/පියා/පවුලේ සිටින සාමාජිකයන් කිහිපදෙනා පමණක් දරුවාව ස්පර්ශ කිරීම, නැලවීම සිදුකළ යුතුය. පවුලේ සාමාජිකයන් වුව ද කිසියම් බෝවන ශ්වසන හෝ වෙනයම් බෝවන රෝග තත්වයක් පවතී නම් දරුවා ඔහු/ඇයගෙන් වෙන් කර තැබීම අනිවාර්‍යයි.

 

5.දරුවා සඳහා නිවසේ වෙනම කාමරයක් තිබිය යුතු අතර එහි දරුවා තබන තොටිල්ල හෝ ස්ථානයේ රස්නය ලැබීමට බල්බයක් වෙනම දමා උෂ්ණත්වය රැකෙන පරිදි පරිසරය සකස් කළ යුතුයි. එමෙන්ම පරිසරය නිස්කලංක, අධික ශබ්ද වලින් තොර පරිසරයක් විය යුතුයි. විෂ දුම්, සිගරට් දුම් ආදී කිසිවක් එම ස්ථානය වෙත ළඟා නොවිය යුතුයි.

 

6.දරුවාගේ මළපහ සහ මුත්‍රා නිසි ආකාරයට පිරිසිඳු කළ යුතුයි. එමඟින් දරුවාගේ ශරීරය තුළට විෂබීජ ඇතුළු වීම අවම වේ.

 

7.දරුවාට මව්කිරි වලට අමතරව ලබාදෙන Supplements වන Folic Acid, Grovit සිරප් එක, යකඩ සිරප් එක නියම මාත්‍රා වලින් වෛද්‍ය උපදෙස් අනුව ලබාදීම අවශ්‍ය වේ.

 

8.දරුවාගේ කිසියම් වෙනසක්, පැහැයේ වෙනසක්, ක්‍රියාකාරීත්වය අඩුවීම, කිරි උරා බීමේ හැකියාව දුර්වල වීම, දරුවා ඇහැරවන විට ප්‍රතිචාර නොදැක්වීම, මුත්‍රා පිටවීමේ වාර ගණන අසාමාන්‍ය ලෙස අඩුවීම, අපහසුවෙන් හුස්ම ගැනීම වැනි ඕනෑම අවස්ථාවකදී හැකි ඉක්මනින් දරුවාව ළඟම ඇති රෝහලට රැගෙන යා යුතුයි. ඒ ගතවන හැම තත්පරයේම දරුවාගේ ජීවිතය යම් කිසි අනතුරුදායක තත්වයකට පත්වීමේ හැකියාවක් පවතින නිසාවෙනි.

 

9.දරුවාට මවගේ රැකවරණය ලැබීම ඉතාම වැදගත්‍ ය. Kangaroo Care ක්‍රමයෙන් දරුවාගේ ශරීර වර්ධනය මෙන්ම මොළයේ වර්ධනයට ද දායක වීමක් සිදුවේ. මවට දරුවා සමඟ නොවැලැක්විය හැකි හේතුවක් මත සිටිය නොහැකි අවස්ථාවකදී ඒ රැකවරණය එලෙසම ලබාදීමට පවුලේ සාමාජිකයන් වග බලාගත යුතුයි.

 

10.දරුවාගේ ශරීර වර්ධනය, මොළයේ ක්‍රියාකාරීත්වය ආදී සියල්ල නිසි අයුරින් සිදුවේද යන්න පරීක්ෂා කිරීමට අදාල සායනය සඳහා නියමිත කාල වලදී වෛද්‍ය උපදෙස් වලට අනුව රැගෙන යා යුතුයි. එමෙන්ම අදාල එන්නත් ඒ ඒ වයසට අදාලව නිසි අයුරින් ලබා ගැනීමට ද දරුවාගේ ප්‍රතිශක්තිය ගොඩනැංවීමට ඉවහල් වේ. එමෙන්ම අදාල ප්‍රදේශයේ Midwife (පවුල් සෞඛ්‍ය සේවිකාව) නිරන්තරයෙන් දරුවා පරීක්ෂා කිරීම, මව්කිරි දීමේ රටාව පරීක්ෂා කිරීම වැදගත් වේ.

 

11.වෛද්‍ය සායන සඳහා යොමුවීම

 

දරුවාගේ ඇස් පරීක්ෂා කිරීමට සායනයක් ලබාදී ඇත්නම් එම සායන වලට නිසි අයුරින් සහභාගී වී අවශ්‍ය ප්‍රතිකර්ම ලබාගත යුතුයි. අස්ථිවල ගැටලුවක් මතුවී ඇත්නම් ඒ සඳහා අමතරව ලබාදෙන Calcium සිරප් වර්ගය නිසි ලෙස දරුවාට ලබාදිය යුතු අතර අදාල ලේ පරීක්ෂණ වෛද්‍ය උපදෙස් මත නිසි කලට වකවානුවට කළ යුතුයි.

 

දරුවාගේ රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩුවීමේ අවධානමක් පවතින බැවින් ඒ සඳහා නිසි කාලයට අවශ්‍ය ලේ වාර්තා සමඟ සායනයට පැමිණිය යුතු අතර යකඩ සිරප් නිසි මාත්‍රාවට වෛද්‍ය උපදෙස් අනුව ලබාදිය යුතුයි.

 

හෘදය වස්තුවේ යම් ප්‍රශ්නයක් පවතී නම් ඒ සඳහා නියම කෙරෙන Echo පරීක්ෂණ නිසි කලට වේලාවට සිදුකර වෛද්‍ය උපදෙස් ලබාගැනීම අනිවාර්‍යයි.

 

නිසි රැකවරණය හා අමතර අවධානය අවශ්‍ය වූ මොහොතේ ලබා දෙමින් ආදරය පිරි වටපිටාවක ඔබේ කිරිකැටියා නීරෝගී අයුරින් වැඩෙන අන්දම සතුටින් අත්විඳින්න.

 

සටහන:

Dr.Madurika Ediriweera Madurika Ediriweera

Medical Officer

Premature Baby Unit

DGH, Nawalapitiya.

blog_image
blog_image