blogImage

ශල්‍යකර්මයකට මුහුණ දෙන ඔබට වඩා ගැලපෙන නිර්වින්දන ක්‍රමය..

ශල්‍යකර්මයකට මුහුණ දෙන ඔබට වඩා ගැලපෙන නිර්වින්දන ක්‍රමය..

 

නිර්වින්දන වෛද්‍යවරයෙක් ලෙස සේවයේ යෙදෙන විට නිතරම අහන්න වෙන දෙයක් තමා ශල්‍යකර්මය කුමක් වුනත් ,

 

1."ඩොක්ටර් මම කොන්දට බෙහෙත් විදිනවට බයයිනෙ, මේක සිහි නැති කරල කරන්න බැරිද?."

2 "ඩොක්ටර් මම සිහිනැති කරනවට බයයි"

3.ඩොක්ටර් මේක හිරිවට්ටන්නෙ නැතුව සිහි නැති කරලම කරන්න බැරිද.

4.ඩොක්ටර් මට කලින් කොන්දට බෙහෙත් විදලා හිරි වට්ටල තියෙනවා. දැන් ඒක නිසා කොන්දේ අමාරුවක් තියෙනවා. ආයේ කොන්දට බෙහෙත් විදින්න එපා.

 

මේ ආකාර ප්‍රශ්න ගොඩක් රෝගීන් අපිට ඉදිරිපත් කරනවා.. නමුත් මේ ආකාරයට ඒ ඒ රෝගියාට ගැලපෙන නිර්වින්දන ක්‍රමය තීරණක කරන සාධක කීපයක් තියෙනවා.

 

ඊටත් කලින් මම හිතනවා දැනට තිබෙන නිර්වින්දන ක්‍රම ගැන සරල පැහැදිලි කිරීමක් කරන්න .

 

🔺මූලික වශයෙන් නිර්වින්දන ආකාර දෙකක් තියෙනවා.

 

1. සාර්ව නිර්වින්දන-( General Anesthesia ).

සාර්ව නිර්වින්දන(GA) නැත්තම් හැමෝම කියනවා වගේ සිහි නැති කිරීම. මේ ගැන කෙටියෙන් කියනවාන්ම් ශරීරයේ ( බොහෝවිට අතේ) ලේ නහරයකට (ශිරාවකට) ඇතුල් කරන ලද කටුවක් ( කැනියුලාවක්) හරහා බෙහෙත් වර්ග ලබාදීම මගින් සිදු කරනවා.

මෙහිදී රෝගියාව සිහි නැති කර, මාංශ පේශී අඩපණ කර උගුරට දමන බටයක් හරහා කෘතීම යන්ත්‍රයක ආදාරයෙන් ශල්‍යකර්මය පුරාවට රොගියාගේ ස්වසනය පවත්වාගෙන යනවා..

මෙහි අතුරු ආබාධ රැසක් ඇතිවෙන්න පුලුවන්. ඇතැම් ඒවා බොහෝමයක් පැය කීපයක් හෝ දිනක කාලයක් ඇතුලත සම්පූර්ණයෙන් නැති වී යයි . උදාහරණ ලෙස වමනය , ක්ලන්ත ගතිය,වෙව්ලීම, , ඔක්කාරය, හිසරදය , උගුරේ අමාරුව, මුත්‍රා අඩස්සිය , දැක්විය හැක. මෙහෙ අවදානම් කරුණ නම් සාර්ව නිර්වින්දනයේදී කලාතුරකින් දරුණු අතුරු ආබාධ ඇතිවික හැක .එනම් රෝගියාගේ ආමාශයේ ඇති ආහාර හෝ රසායනික ද්‍රව්‍ය යම් ආකාරයකින් පෙනහලු වලට ඇතුල් වි නිව්මෝනියා තත්ත්වයක් ඇති විය හැක. ඊට අමතරව දරුණු ආසාත්මිකතා, හදිසි හෘද අකර්මණ්‍ය වීම් වැනි දෑ නිසා දැඩි සත්කාර ඒකක වලට ඇතුල් වීම වැනි දේවල් වලට මුහුණ දිය හැක . මේ හේතුව නිසා කලාපීය නිර්වින්දනයකින් සිදු කල හැකි ශල්‍යකර්මවලට සාර්ව නිර්වින්දනය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම බොහෝවිට නිර්වින්දන වෛද්‍යවරුන් සිදු කරනු ලබනවා.

 

2.‍ස්ථානීය /කලාපීය නිර්වින්දන - Regional Anesthesia.

ස්ථානීය /කලාපීය නිර්වින්දන නැත්තම් ශරීරයේ කොටසක් හිරිවැට්ටීම. මෙම ක්‍රමය මගින් ශරීරයේ අවශ්‍ය කොටසක් පමණක් හිරිවට්ටවා ශල්‍යකර්ම කල හැක. මෙහිදී රෝගියා ශල්‍යකර්මය පුරාවටම අවදිව සිටී. සුලභව භාවිතා කරන ක්‍රමයක් තමා කොන්දට බෙහෙතක් විදලා ශරීරයේ පහල කොටස හිරිවට්ටවා ශල්‍යකර්ම සිදුකිරීම .ඊට අමතරව වළලු කරෙන් පහල, මැණික් කටුවෙන් පහල , ඇතැම් අවස්ථා වලදී එක් කකුලක් හෝ අතක් පමණක් ආදී වශයෙන් හිරිවට්ටවා ශල්‍යකර්මය සිදු කල හැක. මෙම ක්‍රමයේදීද සාර්ව නිර්වින්දනයේදි මෙන් අතුරු ආබාධ ඇති විය හැක.ඒවා අඩු රුධිර පීඩන තත්ව, හදවතේ ගැස්ම අඩුවීම, වමනය, වෙව්ලීම, ශ්වසන අපහසුතා, හිසරදය , නිර්වින්දන ඖෂධ ලබා දුන් ස්ථානයේ ඇති කැක්කුම් වැනි ඉක්මනින් සුව වෙන , සුලු අතුරු ආබාධ විය හැක. එසේම කොදු ඇට පෙලේ ආසාදන තත්ව හා ලේ කැටි ඇති වීම, මුලු ශරීරයම නිර්වින්දන තත්වයට පත්වීම, හදවත අකර්මන්‍ය තත්වයට පත්වීම,ඖෂධ විෂ වීම් වැනි බරපතල තත්වද කලාතුරකින් ඇතිවිය හැක. මෙහිදී ඇති ප්‍රධාන වාසියක් වන්නේ රෝගියා සම්පූර්ණ නිර්වින්දනයකට ලක් නොකර ඇති නිසා තමන්ට ඇති අපහසුතා වෛද්‍යවරයා වෙත කෙලින්ම පැවසීමට හැකියාව ලැබීමයි.

 

🔺කෙසේ වෙතත් නිර්වින්දනයක් ලබා දීමේදි එක් එක් රෝගියාට ගැලපෙන නිර්වින්දන ක්‍රමය තීරණය කරනු ලබන සාධක කීපයක් තිබේ.

 

1. ශල්‍යකර්මයට භාජනය කරනු ලබන ශරීරයේ කොටස .

දෙපා වල, උකුල ආශ්‍රිතව, උදරයේ පහල සිදුකරන සමහරක් ශල්‍යකර්ම (හර්නියා ,සිසේරියන් සැත්කම් ආදී) සදහා කොන්දෙන් පහල හිරිවට්ටවා ශල්‍යකර්මය සිදුකිරීම යෝග්‍ය වේ. හිස, මුහුණ ,ගෙල, පපුව, අත් සහ උදරයේ ශල්‍යකර්ම සදහා සාර්ව නිර්වින්දන යෝග්‍ය වේ.

 

2. ශල්‍යකර්මය සදහා ගතවන කාලය සහ ශල්‍යකර්මයේ ස්වභාවය.

මුලින් සදහන් කල ආකාරයට ඉනෙන් පහල සිදුකරන ශල්‍යකර්මයක් වුවත් ඒ සදහා සැලකිය යුතු කාලයක් ගතවේයැයි හැඟේනම් සහ ශල්‍යකර්මය අතරතුර ශරීරයේ ඉහල කොටස් ආශ්‍රිතව ශල්‍යකර්මය සිදුකිරීමට සම්භාවිතාවයක් ඇත්නම් සාර්ව නිර්වින්දනයක් වඩා යෝග්‍ය වේ.

 

3.ශල්‍යකර්මයකට භාජනය වන රෝගියාට ඇති අනෙකුත් රෝගාබාධ .

ශල්‍යකර්මයකට ලක්වන රෝගියාට දියවැඩියාව , අධි රුධිර පීඩනය, හදවත් රෝග, අංශභාග , වකුගඩු රෝග, අක්මා රෝග ආදිය ඇති නම් ඒවාද සැලකිල්ලට ගෙන නිර්වින්දන ක්‍රමය තීරණය කල යුතුය.

 

4.රෝගියා භාවිතා කරන ඖෂධ වර්ග

සමහර ඖෂධ වර්ග මතද නිර්වින්දන ක්‍රමය තීරණය වේ . ලේ කැටි ගැසීම වලකාලීමට දෙනු ලබන ඖෂධ ගන්නේ නම් එම රෝගියාට කොන්දෙන් පහල හිරිවට්ටවා ශල්‍යකර්ම කිරිම අවදානම් ය.

 

5.රෝගියාගෙ වයස

බොහෝවිට කුඩා දරුවන්ගේ ශල්‍යකර්ම සාර්ව නිර්වින්දන තත්ව යටතේ සිදු කරනු ලබනවා.

 

6.රෝගියාගෙ කැමැත්ත .

මෙහිදී බොහොවිට රෝගියාට නිර්වින්දන තත්ව පැහැදිලි කිරීමෙන් ඔහුට/ඇයට වඩාත්ම ගැලපෙන නිර්වින්දන ක්‍රමය තෝරා දීම සිදු කරනවා.

 

මේ දවස්වල සැලකීමට ඇති අනිත් කරුණ තමා ඖෂධ වල හිඟ කම. ඒ අනුව රෝහල තුල පවතින ඖෂධය මත නිර්වින්දන ක්‍රමය තීරණය වෙන අවස්ථාද නැතුවාම නොවේ.

 

ඉතින් මේ සියලු කරුණු කාරණා සැලකිල්ලට අරන් තමා නිර්වින්දන වෛද්‍යවරුන් රෝගියෙක්ට නිර්වින්දය ලබා දෙන්නේ. ඒ නිසා රෝගියෙක් කියූ පමනින්ම සිහි නැති කිරීමට හෝ හිරි වැට්ටීම සිදු කිරිමට වෛද්‍යවරුන්ට හැකියාවක් නොමැති බව මේ ලිපිය කියවීමෙන් වටහා ගන්න හැකි වෙතැයි මම සිතනවා. ඉතින් මින් පසු ඔබ ශල්‍යකර්මයකට මුහුණ දීමට සිටිනවානම් මේ කරුණු ගැන අවධානය යොමු කරලා සුදුසු නිර්වින්දන ක්‍රමයක් තෝරා දෙන්න ඔබේ වෛද්‍යවරයාට සහයෝගය ලබාදෙන්න.

 

සටහන

වෛද්‍ය තිසර ලක්මාල් සේනාරත්න Thisara Lakmal Senarathna

නිර්වින්දන හා ශල්‍ය දැඩිසත්කාර ඒකකය

අම්පාර පළාත් මහ රෝහල

blog_image
blog_image