blogImage

🔺හෘදයාබාධයක් යනු කුමක්ද?

🔺හෘදයාබාධයක් යනු කුමක්ද?

 

හෘදයවස්තුවට ලේ ගමනාගමනය සපයන කිරීටක ධමනි අවහිර වීම නිසා රුධිර සැපයුම අඩුවීමෙන් හෘදයවස්තුව කොටසක් හෝ සම්පූර්ණයෙන් අකර්මණ්‍ය විය හැකියි.

ලොව පුරා දිනපතා සිදුවන මරණ හතරකට එකක් හෘදයාබාධ නිසා සිදුවේ. වෙනත් ආකාරයකින් කිවහොත් සෑම තත්පර 1.7කට වරක් හෘදයාබාධ නිසා පුද්ගලයෙක් මිය යයි.

 

🔺හෘදයාබාධයක් හඳුනාගන්නේ කෙසේද?

 

පපුවේ මැද හෝ වම් පසට වන්නට ඇතිවන තදබල වේදනාවක් විනාඩි 10-15කට වඩා පැවතීම එම වේදනාව වම් හෝ දකුණු අත, බෙල්ල, කොන්ද ආදී පෙදෙසට ඇදීයාම ප්‍රධාන රෝග ලක්ෂණ වේ.

මේ සමඟ අධික ලෙස දහදිය දැමීම, කරකැවිල්ල, ඔක්කාරය හෝ වමනය ඇතිවිය හැක.

ECG පටියක් මඟින් 99% Heart Attack හඳුනාගත හැකිය.

 

🔺හෘදාබාධයක් ඇතිවිය හැකි අවදානම් පිරිස් කවුරුන්ද ?

 

හෘදයාබාධයක් ඇතිවීම ඕනම වයස් කාණ්ඩයක කෙනෙකුට ඇතිවිය හැක. වැඩි අවදානමක් ඇත්තේ,

🔸දියවැඩියා රෝගීන්ට

🔸අධි රුධිර පීඩනය ඇති රෝගීන්ට

🔸දුම්පානය කරන පුද්ගලයින්ට

🔸හෘද රෝග පවුල් ඉතිහාසයක් ඇති අයට

🔸කොලෙස්ටරෝල් අධික රෝගීන්ට

 

🔺පපුවේ වේදනාවක් නැතිව හෘදයාබාධයක් ඇතිවිය හැකිද?

 

ඔව්. පපුවේ වේදනාවකින් තොරව ඔබට හෘදයාබාධයක් වැළඳීමට හැක.

 

🔺එසේනම් එය හඳුනාගන්නේ කෙසේද?

 

හෘදයාබාධ වැළඳෙන අයගෙන් 1/3කට පපුවේ වේදනාවක් නැතිවිය හැකිබව පර්‍යේෂණ වලින් සොයාගෙන ඇත.

 

යම් යම් පුද්ගල කාණ්ඩ පපුවේ වේදනාව නොමැතිව හෘදයාබාධ ඇති වීම සඳහා වැඩි අවදානමක් දක්වයි.ඒ අය

🔸දියවැඩියා රෝගීන්

🔸වයස්ගත පුද්ගලයන් වේ

 

පපුවේ වේදනාවක් නොමැති විට,

🔸අධික දහදිය දැමීම

🔸කලන්තය ඇතිවීම

🔸හුස්ම ගැනීමේ අපහසුව

🔸වමනය, ඔක්කාරය ආදී ලක්ෂණ

🔸බෙල්ල ආශ්‍රිත වේදනාව

ඔබට ඇත්නම් වෛද්‍යවරයෙක් හමුවී හෝ ලඟම රජයේ රෝහලට ගොස් ECG පරීෂණයක් කරගත යුතුය.

 

දියවැඩියා රෝගීන් අතර පපුවේ වේදනාවකින් තොරව අනෙකුත් ඉහත කී ලක්ෂණ සහිතව හෘදයාබාධයක් ඇතිවීමේ ඉඩකඩ වැඩියි. ඊට හේතුව දීර්ඝකාලීන දියවැඩියාව තිබී ඔවුන්ගේ ස්නායු අකර්මණ්‍ය වීමෙන් ඔවුන්ට වේදනාවක් නොදැනීමයි.

මීට අමතරව දියවැඩියා රෝගීන් හට ඇතිවන අධික දහදිය දැමීම ද හෘදයාබාධයක ලක්ෂණයක් විය හැක. රුධිරයේ සීනි මට්ටම අඩුවීම නිසාද මෙසේ දහදිය දැමීම සිදුවිය හැකි අතර සමහර රෝගීන් ඒ නිසා මෙය නොසලකා හැරීමට ඉඩක් ඇත.

 

බෙල්ල/යටි හනුව අසල ඇතිවන තදවීම සමඟ දහදිය දැමීමද හෘදයාබාධයක ලක්ෂණ විය හැක.

වයස්ගත පුද්ගලයින් (අවුරුදු 75-80ට වැඩි) කලන්තය සෑදීමද හෘදයාබාධයක ලක්ෂණයක් වීමට ඉඩක් පවතී.

 

🔺Gastritis (ආමාශයික ප්‍රදාහය)

 

පපුවේ තදවීමකට අමතරව ඉහළ උදරයේ දැවිල්ල ඇතිවීමද හෘදයාබාධයක ලක්ෂණයක් විය හැක.

Gastritis තත්වයේදී මෙවැනි රෝග ලක්ෂණ සමඟ දහදිය දැමීම, වමනය ඇතිවිය හැක.

ඔබට එක්වරම පළමු වරට මෙම ලක්ෂණ හටගත්තේ නම් (Without Past History) වහාම වෛද්‍යවරයෙක් හමුවී ECG පරීක්ෂණයක් කරගන්න.

 

Gastritis රෝගයට ප්‍රතිකාර ගන්නා පුද්ගලයින් අතරද මේ ආකාරයෙන් හෘදයාබාධයක් ඇතිවිය හැක. එමනිසා ඔබට වෙනදාට වඩා වෙනස් ලෙස මෙම දැවිල්ල/වේදනාව දැනේනම් ECG පටියක් ලබාගත යුතුය.

 

🔺හුස්ම ගැනීමේ අපහසුව (SOB)

 

හුස්ම ගැනීමේ අපහසුව සමඟ හෘදයාබාධයක් ඇතිවී තිබිය හැක. හෘදවස්තුවේ කොටසක් අකර්මණ්‍ය වීමෙන් පෙනහලු වලට ඇතිවන බලපෑම් නිසා හුස්ම ගැනීමේ අපහසුව ඇතිවිය හැක.

සමහර දියවැඩියා රෝගීන් හට කිසිම වේදනාවකින් තොරව හෘදයාබාධ ඇතිවී මියගිය අවස්ථා පවා ඔබ අසා ඇතුවාට සැක නැත.

මෙම නිසා ඔබ අවදානම් කාණ්ඩයක සිටීනම් සහ ඔබට පපුවේ වේදනාව හෝ ඉහත කී රෝග ලක්ෂණ තිබේ නම් ECG පරීක්ෂණයක් ලබාගෙන වෛද්‍යවරයෙකු හමුවීම මඟින් හෘදයාබාධයක් තිබේදැයි සැක හැර දැනගත හැක.

 

ඔබ රෝහලට පැමිණෙන විට ඔබගේ අනෙකුත් සායනික වාර්තා/පොත්/ECG පටි රැගෙන එන්න.

1990 (සුවසැරිය සේවය) ඇමතීමෙන් ඔබට ළඟම රජයේ රෝහලට ගෙන යනු ඇති.

හෘදයාබාධයකට ප්‍රතිකාර කිරීමට සුදුසුම අවස්ථාව එය ඇතිවූ විගසයි.

ප්‍රමාදය මඟින් ඔබට ලබාදිය හැකි ප්‍රතිකාර ක්‍රම ලබාදිය නොහැකි වීමට ඉඩ ඇති අතර ඒවායේ කාර්‍යක්ෂමතාවය ද අඩුවිය හැක.

 

මෙම නිසා කෙටිකාලීන හා දීර්ඝ කාලීන සංකූලතා වැඩිවිය හැක.

රෝහලට ළඟාවීමට ප්‍රමාදය නිසා රෝගියා මරණයට පත්විය හැක.

නිසි වේලාවට රෝහලට ළඟාවීමෙන් හෘදයාබාධයන්ට සුදුසු ප්‍රතිකාර ලබාදී රෝගියාගේ ජීවිතය බේරාගත හැක.

 

සටහන:

Dr. Uchitha De Silva Uchitha Geethanjan

Acting Consultant Emergency Physician

DGH Hambanthota

blog_image
blog_image