blogImage

පුරස්ථි ග්‍රන්ථියේ විශාල වීම

ලෝකය පුරාම වැඩිහිටි පිරිමි පුද්ගලයන් බොහෝ දෙනෙකු මුහුණ දෙන ගැටලුවක් තමයි මුත්‍රා පිටකිරීමේ අපහසුතාවය.

වයසත් සමඟ ටිකින් ටික දරුණු වන මේ ගැටලුව ඔවුන්ගේ එදිනෙදා කටයුතු පවා අඩාල කිරීමට සමත් විය හැකියි.

මීට හේතුව පුරස්ථි ග්‍රන්ථිය (Prostate Gland) විශාල වීමේ තත්වයයි.

පිරිමි අයගේ පමණක් පිහිටන පුරස්ථි ග්‍රන්ථිය මුත්‍රාශයට පහළින් පිහිටන අතර මුත්‍රා මාර්ගයේ මුල් කොටස, පුරස්ථි ග්‍රන්ථිය හරහා ගමන් කරනවා.

 

වයස්ගත වීමත් සමඟම පුරස්ථි ග්‍රන්ථිය ක්‍රම ක්‍රමයෙන් විශාල වීමට පටන් ගන්නා (Prostatic Hyperplasia) අතර මේ නිසා පුරස්ථි ග්‍රන්ථිය හරහා ගමන් ගන්නා මුත්‍රා මාර්ගයේ (Prostatic Urethra)අවහිරතා ඇතිවෙනවා.

 

මේ නිසා මෙවන් අයට,

🔸මුත්‍රා කිරීම ආරම්භ කිරීමේ අපහසුතාවය

🔸මුත්‍රා කඩින් කඩ පිටවීම

🔸පෙර මෙන් මුත්‍රා වේගයෙන් පිටකිරීමට අපහසු වීම

🔸මුත්‍රා කිරීමෙන් අනතුරුවත් මුත්‍රා බිඳු වශයෙන් පිටවීම

🔸සමහර අයගේ මුත්‍රා අඩස්සිය (Urine Retention) හා මුත්‍රා සමඟ ලේ පිටවීම ආදියක් සිදුවිය හැකියි.

🔸මුත්‍රා අඩස්සිය නිසා සමහර අයට දිගුකාලීනව මුත්‍රා බටයක් යොදාගෙන සිටීමටත් සිදුවෙනවා.

🔸මීට අමතරව මුත්‍රාශයෙහි එකතු වන මුත්‍රා සම්පූර්ණයෙන්ම පිටකිරීමට නොහැකි වන නිසා නිතර නිතර මුත්‍රා ආසාදන වලට ලක්වීමත් සිදුවිය හැකියි.

 

පුරස්ථි ග්‍රන්ථියේ විශාල වීම බොහෝවිට පිළිකාමය නොවන තත්වයක් (Benign Prostatic Hyperplasia) වන අතර, කලාතුරකින් එය පිළිකා තත්වයක් (Prostate Cancer) ද විය හැකියි.

 

මෙම තත්වය හඳුනාගැනීමට ඔබේ වෛද්‍යවරයා විසින් ඔබේ සායනික ඉතිහාසය (Clinical History) ශරීර පරීක්ෂාවන් (ගුද මාර්ගා පරීක්ෂණය - DRE), රසායනික පරීක්ෂණ හා ස්කෑන් පරීක්ෂණ යනාදිය යොදාගන්නවා.

 

🔺ප්‍රතිකාර (BPH)

 

ප්‍රධාන වශයෙන්ම ඖෂධ මඟින් මෙම රෝග තත්වය පාලනය කරනු ලබනවා. Temsolusin (Urimax), Finesteride වැනි ඖෂධ මේ සඳහා භාවිතා කෙරෙන අතර මේවා මඟින් පුරස්ථි ග්‍රන්ථියේ ප්‍රමාණය කුඩා කිරීමත්, ග්‍රන්ථිය විශාල වීමට හේතුවන හෝමෝනමය බලපෑම් අඩුකිරීමත් සිදුකෙරෙනවා.

 

ඖෂධමය ප්‍රතිකාර මඟින් රෝගී තත්වය පාලනය නොවන විට, ශල්‍යකර්මයක් මඟින් පුරස්ථි ග්‍රන්ථියේ කොටස් ඉවත් කරයි. මෙය Trans Urethral Resection of Prostate (TURP) නමින් හඳුන්වන අතර මෙය මුත්‍රා මාර්ගය ඔස්සේ කැමරාවක් සහිත උපකරණ යොදා සිදුකරන ශල්‍යකර්මයකි.

 

පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා තත්ත්ව වලදී මීට වඩා වෙනස් ප්‍රතිකාර ක්‍රම යොදාගැනෙන අතර, ඒ ගැන අපි වෙනත් ලිපියකින් සාකච්ඡා කරමු.

 

සටහන:

වෛද්‍ය සචින්ත රණතුංග

ජන්‍ය මූත්‍ර ශල්‍ය වෛද්‍ය ඒකකය

මහ රෝහල - කෑගල්ල

blog_image
blog_image