blogImage

කනේ කැක්කුම

කනේ කැක්කුම එහෙම නැත්නම් වරින් වර කනෙහි ඇතිවන වේදනාව අපි බොහෝ දෙනා අත්දැකලා තියන දෙයක්. මේ සඳහා හේතුවන කන සම්බන්ධ ගැටළු වගේම කන අවට අනෙකුත් ඉන්ද්‍රියන් වල ගැටළු ගැන මම ඔබව දැනුවත් කරන්නම්.

 

මුලින්ම කන සම්බන්ධ ගැටළු ගැන කතා කරමු.

 

1.කන් පෙත්තේ ආසාදන

 

කන් පෙත්තේ ඇතිවන බැක්ටීරියා ආසාදන තත්ව නිසා කන ඇතුළත වගේම ඒ අවට වේදනාව, කන් පෙත්ත රතුවීම හා ඉදිමීම වගේ රෝග ලක්ෂණ දකින්නට ලැබෙනවා.

සෞඛ්‍යාරක්ෂිත නොවන අයුරින් කන් විදීම වගේ දේවල් වලින් මේ අවදානම වැඩි වෙනවා.

වෛද්‍යවරයෙක් වෙත යොමු වෙලා ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීම මේ රෝගියෙක් කළ යුතු වෙනවා.

සමහර රෝගී තත්වයන් හිදී කන්පෙත්තේ කුඩා ගැටිත්තක් සමඟින් වේදනාව ඇතිවේ.

 

උදා: Pericondrial cyst, Pericondrial heamatoma infected sebaceous cyst

 

2.කන තුළ බාහිර ද්‍රව්‍ය සිරවීම

 

අපි ළඟට එන රෝගීන්ගෙන් කනේ වේදනාවට ප්‍රධානම හේතුවක් වන්නේ බාහිර ද්‍රව්‍ය සිරවීම.

කුරුමිණියන්, කිණිතුල්ලන් වැනි සතුන් වගේ පබළු, Cotton Bud වගේ දේවල් කන ඇතුලත සිරවීම ගොඩාක් සුලභ දෙයක්,

මේ වගේ වෙලාවක කොණ්ඩ කටු, ආයා කටු වගේ දේවල් කන ඇතුළට දාලා හිරවුන ද්‍රව්‍ය එළියට ගැනීමට උත්සහ කිරීම නම් හොඳ දෙයක් නෙවෙයි.

කර්ණ පටහ පටලය සිදුරු වීම, කන ඇතුලත තුවාල වීම වගේ ප්‍රශ්න ඒ නිසා ඇතිවෙන්න පුළුවන්.

ඒ වගේ වෙලාවක වෛද්‍ය උපදෙස් වලට යොමුවීම වටිනවා. මොකද සමහර වෙලාවට රෝහල් ගත වෙලා විශේෂිත ක්‍රම මඟින් ඒ දේවල් එළියට ගන්න සිදුවන අවස්ථා තියෙනවා.

 

3.බාහිර ශ්‍රවන නාළයේ ඇතිවන ආසාදන

 

කන් බෙරය නැත්නම් කර්ණ පටහ පටලය හා කන් පෙත්ත අතර ඇති ශ්‍රවණ නාළයේ ඇතිවන බැක්ටීරියා හෝ දිලීර ආසාදන නිසා කනේ වේදනාව ඇති වෙන්න පුළුවන්. සමහර විට මේ ආසාදන නිසා සැරව බිබිලි ඇති වී ඒවා පුපුරා ගොස් ශ්‍රාවයන් ඇතිවීම වගේ අවස්ථා මතුවෙන්න පුළුවන්.

සුදුසු ප්‍රතිජීවක ඖෂධ භාවිතයෙන් රෝගය පාලනය කරන්න සිදුවෙනවා.

 

4.මැද කනෙහි ආසාදන තත්ව

 

මැද කන අපේ ශ්‍රවණයට ඉතාම වැදගත්. සමහර විට කෙටිකාලයක් තුළ ඇතිවන ආසාදන නිසා වගේම දිගු කාලයක් තිස්සේ සෙමෙන් වර්ධනය වන ආසාදන තත්ව වලදිත් කනේ ඇතුළතින් වේදනාවක් දැනෙන්න පුලුවන්.

සමහර විට කන් ඇසීමේ දුර්වලතාවයන් මේ සමඟ ඇති වෙනවා. මේ වගේ රෝගී තත්වයන් සඳහා උගුර, කන, නාසය පිළිබඳ ඒකකයකින් ප්‍රතිකාර ලබාගැනීම වඩාත් සුදුසුයි.

 

මීට අමතරව,

 

5. කන ආශ්‍රිතව හට ගන්නා අංශ පැපොල රෝගය

6. කනෙහි ඇතිවන පිළිකාමය තත්වයන්

වලදිත් කනෙහි වේදනාව ඇතිවිය හැකියි.

 

කන අවට ඇති විවිධ ඉන්ද්‍රියන් හා ඒ අවට ප්‍රදේශවල ඇතිවන ගැටළු නිසා කනේ වේදනාවක් ඇති වෙන්න හැකියාව පවතිනවා.

 

1. දත් කැක්කුම (Dental Caries)

2. ඛේට ග්‍රන්ථි වල ආබාධ (Submandibular gland stone/infection) (Parotid gland infection)

3. ශංඛක අධෝහනු සන්ධියේ ආබාධ (Temperomandibular joint inflamation)

4. කපාල කෝඨරක ආසාදන (Sinusitis)

5. බෙල්ලේ කශේරුකා වල ආබාධ

6. දිවේ, උගුරේ, ගලනාලයේ පිළිකා

 

මේ ලිපිය කනේ වේදනාවට හේතුවන රෝග තත්ව පිළිබඳ සරල අවබෝධයක් ලබාදීමට කළ උත්සහයකි. ඉදිරියේදී වෙන වෙනම රෝග තත්ව පිළිබඳව දැනුවත් වෙමු.

 

සටහන:

වෛද්‍ය මහේෂ් ඉන්දික

උගුර, කන, නාසය පිළිබඳ ශල්‍ය වෛද්‍ය ඒකකය

අම්පාර පළාත් මහ රෝහල

blog_image
blog_image