blogImage

♦️මී උණ රෝගය ව්‍යාපෘතිය වැඩි ඇයි?

මරුවා සමඟ කළ සටනින් පැරදීමෙන් පසුව කණස්සල්ලෙන් ලියා තබමි. 

දින ගණනාවක සිට දැඩි සත්කාර අංශයේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද කාර්යමණ්ඩලය අදාළ සියලු දෙනාගේ උත්සහය පරදමින් නැවතත් මාරයා ජයගන්නා ලදී. 😢😢

මේ ගෙවී ගිය මාසයේ මී උණ රෝගය නිසා අහිමිවූ ජීවිත ගණන දෙස බැලීමේදී දිග සුසුමක් හෙලීම මිස කුමක් කරන්නද?🥺🥺🥺

⭕️කායික රෝග දැඩි සත්කාර ඒකකයේ රාජකාරී කරන මා හට අත්දකින්නට ලැබුණු දෙයක් නම් පසුගිය මාස කිහිපය තුළදී මී උණ රෝගයට ගොදුරු වූ ජීවිත ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ යා ඇති බවය.

මුළු රටටම බත සපයන රජරට ගොවි දරුවෝ , තාක්ෂණය මෙතරම් දියුණු සමයක තවමත් නොදැනුවත්කම නිසා ජීවිතයෙන්  වන්දි ගෙවීම කොයිතරම් අවාසනාවන්තද? 

♦️මී උණ රෝගය ව්‍යාපෘතිය වැඩි ඇයි? 

අධික වර්ෂාව, ගංවතුර, නායයෑම් ආදී ස්වභාවික ව්‍යවසන ආශ්‍රිතව ගොඩ නැගෙන පාරිසරික තත්ව හා ගොවිතැන් වැඩ කටයුතු වල නියැලීමේ දී රෝගකාරකයන්ට නිරාවරණය වීමේ වැඩි ඉඩකඩක් පසුගිය සමයේදී දැකගන්නට ලැබුණේය. 

♦️මී උණ හැදෙන්නේ කුඹුරු වැඩ කරද්දී විතරද? 

මේ මිත්‍යා මතය බැහැර කළ යුතුමයි. මී උණ පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් මීට පෙර මෙහි දක්වා ඇති නිසා එහි ලින්ක් කළ මේ ලිපියේ අගට දක්වමින් මී උණ පිළිබඳව කෙටි සටහනක් පමණක් තබමි. 

Leptospira බැක්ටීරියා නිසා හට ගන්නා මී උණ රෝගය , ඒ නමින් හැඳින්වීමට හේතු වන්නේ Leptospira නම් බැක්ටීරියාව බහුල වශයෙන් වාසය කරන්නේ ආසාදිත මීයන්ගේ ශරීර තුල වීමයි. 🐭🐭

එම ආසාදිත මීයන්ගේ මල මුත්‍රා සමග ජලයට හෝ මඩට එකතු වන බැක්ටීරියාව දින 14 - 21  කාලයක් නොනැසී එහි සිටිය හැකිය. 

ඉතා සියුම් කැපීම් සීරීම් වැනි සමේ හානි වූ ස්ථානයක් හරහා බැක්ටීරියාව මිනිසාගේ ශරීරයට ඇතුළුවේ.🩸🩸

❌විශේෂ අවධානයට 

බොහෝ ගොවි මහතුන් සිතා සිටින්නේ විශාල තුවාලයක් තිබුණත් පමණක් මේ වන ඇතිවීමට ඉඩක් ඇති බවයි. මෙය වැරදි මතයකි. ඇසට නොපෙනෙන ඉතා සියුම් තුවාලයක් ,සිරීමත් ,ඇඟිලි කරු අතර වූ පැල්මකින් වුනත් මේ බැක්ටීරියාව ශරීර ගත වීම සිදුවේ.  

♦️රෝගය කල්තබා හදුනා ගැනීම 

මූලික රෝග ලක්ෂණ 

👇👇👇👇👇👇

1️⃣උණ 

2️⃣හිසේ කැක්කුම

3️⃣කොන්දේ හා මස් පිඩු වේදනාව 4️⃣වෙව්ලීම 

5️⃣ඇස් රතුවීම 

6️⃣වමනය බඪ එළිය යාම 

බොහෝ විට මේ රෝග ලක්ෂණ සාමාන්‍ය වෛරස් උණ රෝග තත්වයට සමාන නිසාත් මේ මී උණ රෝගය වැලදෙන්නේ ඉතා වෙහෙස මහන්සි වී වැඩ කරන නිරෝගිමත් පුද්ගලයන් අතර නිසාත් රෝගය මුල් අවදියේ දී මෙය සාමාන්‍ය තත්වයක් ලෙස සිතා අවදානම නොසලකා හැර සිටීම දක්නට ලැබේ. 

🔴අවාසනාවට කරුණ නම් මූලික අවධියේදී රෝගය හඳුනා ගැනීමෙන් පාලනය කිරීමේ හැකියාව පවතින මී උණ රෝගය සහිත රෝගීන් රෝහල්ගත වන්නේ පහත සංකූලතා ඇති වූ පසුව වීමයි.

🔴පෙනහලු තුළට රුධිරය ගැලීමෙන් 

     කැස්ස සමග ලේ පිටවීම 

🔴හදිසි වකුගඩු අක්‍රියතාවය 🔴මොලය ආශ්‍රිත සංකූලතාවයන් 

     ඇතිවීම 

🔴හෘද මාංශපේෂී අක්‍රිය වීම 🔴අක්මාව ආශ්‍රිත සංකූලතාවය 

     ඇතිවීම 

🔴සියලු ඉන්ද්‍රියන් අකර්මණ්‍ය වී 

     මරණාසන්න වීම 

මුලින්ම ප්‍රතිජීවක ඖෂධ නිවැරදිව ලබා ගත්තා නම් පාලනය කර ගත හැකි රෝගියා අවසානයේ දැඩි සත්කාරයේ නතර වෙන්නේ ජීවිතය පිළිබඳවද අනියත බියකින්ය. 

මේ සංකූලතා සඳහා ප්‍රතිකාර කිරීමට එක් රෝගියෙක්ට දිනකට ලක්ෂ ගණනක් වැය වන අතර ඇතැම් ප්‍රතිකාර ක්‍රම පවතින්නේ  රෝහල් අතලොස්සක් පමණි. 

♦️රෝගය වළක්වා ගැනීමට නම් කළ යුත්තේ කුමක්ද? 

✅ඔබ අවදානම් කාණ්ඩයේ පුද්ගලයෙකු නම් (ගොවි ජනතාව,මැටි ආශ්‍රිත කර්මාන්තවල නියැලෙන අය) ඔබගේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය (MOH )හරහා මී උණ රෝග අවදානම අඩු කරන ඖෂධ කල්තබා ලබාගන්න. 

✅වගා කටයුතු වලදී බූට් සපත්තු අත් ආවරණ හැකි සෑම විටම භාවිතා කරන්න. 

✅නොසෙල්වෙන ජල මූලාශ්‍ර (පොකුණු, වගා ලිං) වලින් මුහුණ අතපය සේදීමෙන් වළකින්න. 

✅ඔබට ඉහත රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය පරීක්ෂණ හා ප්‍රතිකාර ලබාගන්න.

✅එහිදී ඔබ ගොවිතැන් කුඹුරු ආදියේ රාජකාරී කරන අයෙක් නම් වහාම ඒ පිළිබදව වෛද්‍යවරයෙකු දැනුවත් කරන්න. මේ මගින් රෝග විනිශ්චය පහසු වනවා සේම අවශ්‍ය පරීක්ෂණ කල් වේලා ඇතුව සිදු කිරීමටද හැකි වනු ඇත.  

✅දින තුනකට වඩා උණ හා ඉහත රෝග ලක්ෂණ දිගටම පවතී නම් රුධිර පරීක්ෂණ වන Full blood count,CRP ආදිය සිදු කර ගැනීමට වෛද්‍යවරයෙක් හමුවීම හෝ රජයේ රෝහලක් වෙත යාම සිදු කරන්න.

බොහෝ ගොවි මහතුන් මුහුණු පොත භාවිතා නොකරන බව මම හොදින් දනිමි. නමුත් ඔබේ මව , පියාට මේ මී උණ වැළදීම අවම කර ගැනීමට මී තොරතුරු පිළිබඳ ඔවුන් දැනුවත් කිරීම ඔබට බාරය.

මන්ද නිවැරදි දැනුවත් වීම මගින් රෝග ව්‍යාප්තිය පාලනය පහසු වනවා සේම අකාලයේ අප අතරින් වෙන් වී යන වටිනා ජීවිත රැක ගැනීමට හැකි වනු ඇත.

✍️සටහන

ගයාන් මහානාම වෛද්‍යතුමා

දැඩි සත්කාර ඒකකය

අනුරාධපුර ශික්ෂණ රෝහල

blog_image
blog_image