blogImage

ලිංගිකව එකතුවෙන්න සුදුසුම කාලය කුමක්ද?

ලිංගිකව එකතුවෙන්න සුදුසුම කාලය කුමක්ද?

 

පාසල් ලිංගික සෞඛ්‍යය වැඩසටහනකදි මේ ප්‍රශ්නෙ අහලා චිට් එකක් මට එනවා. නවයෙ පන්තියෙ ගෑණු ළමයෙක් ඕක ඇහුවොත් ඔයාලගෙ උත්තරේ මොකක්ද?

 

🤔🤔

 

♦️මොකක්ද ලිංගිකව එකතුවෙනවා කියන්නෙ?

 

සංසර්ගය කියලා විද්‍යාත්මකව හදුන්වන්නේ මේකයි.

 

👇👇👇👇👇👇👇

 

ලිංගික අවයව දෙකක් සමීප ස්ථානයකට එන එක ලිංගික එක්වීමක් විදිහට අර්ථ දක්වන්න පුලුවන්. ලිංගික අවයව සාමාන්‍යයෙන් තනි තනිව ඇවිදගෙන එන්නෙ නැහැ.

😄😄

ඒ නිසා ලිංගික අවයව දෙකක් සමීප ස්‍ථානයකට ඒමේදී පහත කරුණු සම්පූර්ණ විය යුතුය.

 

1.පලවෙනි කාරණේ ලිංගික අවයව සහිත පුද්ගලයින් දෙදෙනාත් ලිංගික අවයව සමගම සමීප ස්ථානයකට පැමිණිය යුතුය.

2.දෙවෙනි කාරණේ ලිංගික අවයව නිරාවරණය වීම සදහා නිරුවත් වීමක් විය යුතුය.

 

🔹ඒ නිසා අඤී අපි දන්නෑනෙ එහෙම එකක් වෙයි කියලා කියන්න කලින් මේ අවශ්‍යතා පිරෙනකොටම එලාම් වෙන්න ඕන කියන කාරණේ අවධාරණය වෙන්න ඕන.

 

📌ලිංගික අවයව කියන්නෙ මොනවාද?

 

ලිංගික ක්‍රියාවලිය සදහා සෘජුවම භාවිතාවන අවයව අපි ලිංගික අවයව කියලා හදුන්වනවා. එහෙම වුනත් අපේ ඇගේ තියන ඉන්ද්‍රියන්ගෙන් ලොකුම ලිංගික අවයවය වන්නේ මොලයයි. ඒත් අපි මෙතැන කතා බහ කරන්නේ ලිංගික උත්තේජනය සදහා උපකාරීවන අවයව ගැන නෙවේ. ලිංගික ක්‍රියාවලිය හෙවත් සංසර්ගය සදහා උපකාරීවන ලිංගික අවයවයි.

කාන්තාවකගේ ලිංගික අවයවය යෝනිය ලෙස හදුනවනවා. පිරිමියකුගේ ලිංගික අවයවය ශිෂ්නය ලෙස හදුන්වනවා.

මනුස්ස ශරීරයක ශ්‍රෝනි ප්‍රදේශය ආශ්‍රිතව මෙම අවයව හදුනා ගත හැකිය.

 

මෙම ආකාර දෙකේ ලිංගික අවයව අප දැක තියෙනවාද?

 

ඔව්. නොයෙකුත් විට අපි මෙම ආකාර දෙකම හොදින් දැක තියනවා. ඒත් අපිට එකවර මැවෙන්නේ අපේ සමකාලීනයෙකුගේ ලිංගික අවයව අපි දැක ඇත්ද යන ප්‍රශනයයි. අලුත උපන් දරුවාගේ සිට වයස්ගත මිනිසුන් දක්වාම ලිංගික අවයව වල සාමාන්‍ය ව්‍යුහය එක වගේ වෙනවා. ඒත් මේ ලිංගික අවයව වලට අමතරව මේ සාමාන්‍ය ව්‍යුහය නොපෙන්වන ලිංගික අවයව අපි අතරින් පතර අහම්බෙන් වගේ දකිනවා. ඒවා අපි ස්ත්‍රී හෝ පුරුෂ ලෙස වර්ගකිරීමකට ලක් නොකර වෛද්‍ය ප්‍රතිකාර මගින් හා සැත්කම් මගින් ඔවුන් කැමති ලිංගික අනන්‍යතාව අනුව වෙන් කිරීමක් කරනවා. එහෙත් ඒ හැර ඔවුන් පිරිසත් ඔබ මෙන්ම සාමාන්‍ය මිනිසුන් බව මතක තියා ගන්න.

 

♦️ලිංගික එක්වීම සිදුවන්නේ වෙනස් ලිංගික අවයව දෙකක් එකතු වීම මගින් පමණද?

 

එහෙම වෙන්නෙ නෑ.

ලිංගික එක්වීම සමාන ලිංගික අවයව දෙකක් අතර සිදු වන්නේ නම් අපි එය සම ලිංගික එක්වීමක් ලෙසත් වෙනස් ලිංගික අවයව දෙකක් අතර සිදු වන්නේ නම් එය විශම ලිංගික එක්වීමක් ලෙසත් හදුන්වනවා. අපි ලාංකීය සමාජය තුල බහුලව දකින්නේ විශම ලිංගික එක්වීම්. විවාහයක් තුලින් ලිංගික හැසිරීමකට නීතිමය අවසරය සැකසෙනවා.

 

♦️ලිංගික එක්වීමකට සුදුසු කාලය කුමක්ද?

එය අපි ප්‍රශ්ණය දිහා බලන ආකාරය අනුව වෙනස් වෙනවා.

ලංකාවෙ නීතිය අනුව අවුරුදු 16 පසු වූ දෙදෙනෙකුට ලිංගික එක්වීමකට කැමැත්ත පළ කළ හැකිවෙනවා. හැබැයි ලිංගික එක්වීම නිසා ලැබෙන අතුරු පල හා ප්‍රතිලාබ සදහා ඔබට අවසර ලැබෙන්නේ නීත්‍යානුකූල විවාහයක් හරහා පමනි. ලංකාවේ නීත්‍යානුකූලව විවාහ වීමට දෙදෙනාම වයස අවුරුදු 18 සම්පූර්න කර තිබීම ඉතා වැදගත් වෙනවා. මුස්ලිම් විවාහ නීතියේදී එම ඉලක්කම ඉතා අඩු අගයක් ගන්නවා. නීතිය කෙබදුද ආගම කෙබදුද යන්න නොවේ, පවුල් සෞඛ්‍යය කාර්‍යාංශය පැහැදිලිව ප්‍රකාශ කරන ආකාරයට වයස අවුරුදු 20 ට පෙර ලිංගික එක්වීමක් හරහා දරුවෙක් පිලිසිඳ ගැනීම අඩු වයස් ගැබ්ගැනීමක් ලෙස හදුන්වන අතර එය මවට හා දරුවාට අහිතකර සෞඛ්‍ය ගැටලු ඇති කරනවා.

ලංකාව තුල විෂම ලිංගික විවාහ නීතිය ඉදිරියේ පිලිගන්නා අතර සම ලිංගික විවාහ නීතියෙන් ප්‍රතික්ශේප කරනවා. ඒත් වෙනත් රටවල මේ සදහා නීතියෙන් ගැටලුවක් නෑ. ඒ නිසා ඔබ ජීවත්වන සමාජ වටපිටාවත් ඔබේ ලිංගික හැසිරීම පිලිබද බලපෑමක් එක් කරනවා. එමනිසා ඒ පිලිබදව පැහැදිලිවම කල හැකි ප්‍රකශය වන්නේ නීත්‍යානූකූල විවාහයකින් පසු ඒ සදහා සුදුසුම කාලය එලබෙන බවයි. විවාහය යන තීරණය ගැනීමට නම් එය ඔබේ මොලයේ තීරන ගැනීමේ කොටස වර්ධනය වූ පසු සිදුවිය යුතුය. මේ කොටස වර්ධනය වීමට නම් අවම වයස 20ක්වත් ගත වන බව විද්‍යාඟයෝ තහවුරු කරලා තියනවා.

 

📌සෑම ලිංගික එක්වීමකින්ම දරුවෙක් ලැබෙන්න පුලුවන්ද?

 

සෑම ලිංගික එක්වීමකින්ම දරුවෙක් ඇති වන්නේ නෑ. ඒත් සෑම ලිංගික එක්වීමකින්ම දරුවෙක් පිලිසිදගැනීමේ පැහැදිලි හැකියාවක් තියනවා.

 

ලිංගික එක්වීමක්දී දරුවෙක් ඇතිවන්නේ කෝමද?

ළමයෙක් ඇතිවන්නේ මවකගේ හා පියෙකුගේ ජන්මානු එකට එකතු වීම මගින්. ජන්මාණු එකතු වීමේ ක්‍රියාවලිය සංසේචනය ලෙස හදුන්වනවා. සංසේචනය සදහා එම ජන්මාණු පිටකරන අවයව එනම් ලිංගික අවයව එකතුවීම අවශ්‍ය වෙනවා . මේ මොහොතේ ලිංගික අවයව හරහා නව ජනිතයන් ඇතිවන නිසා අපි මේ අවයව වලට ප්‍රජනක අවයව කියාත් හදුන්වන්වා. මෙම ප්‍රජනක අවයවන් එක්වීම සංසර්ගය ලෙස හදුන්වනවා.

සංසර්ගයකදී පිරිමියකගෙන් පිටකරන ශුක්‍රානු ගැහැනියකගෙන් පිටකරන ඩිම්බයක් හා එක්වීම දරුවෙක් ඇතිවීමට හේතු වෙනවා. එය සංසේචනය ලෙස හදුන්වනවා. ගැහැනියක් ඩිම්බ පිට කරන්නේ මාසයකට එක්වතාවක් වුවද පිරිමියෙක්ට ශුක්‍රානු සෑම සංසර්ගයකදීම පිට කිරීමේ හැකියාව තිබෙනවා.

මේ ජන්මාණු එකතු වීමෙන් දරුවෙකු උපදිනවා. ජන්මානු එකිනෙක එකතු වීම විද්‍යාත්මක ක්‍රම මගින් වළක්වාගත හැකිය. එය උපත් පාලනය ලෙස හදුනවනවා.

 

📌සෑම ලිංගික එක්වීමක්ම සිදුවන්නේ දරුවෙකු අපේක්ෂාවෙන්මද ?

එතැන තමයි ප්‍රශ්නය. දරුවෙකු අපේක්ෂාවෙන් ලිංගික ව එකතු වුනාට සෑම ලිංගික එකතුවීමක්ම දරුවෙක් අපේක්ෂාවෙන් වෙන්නෙ නෑ.

අනපේක්ෂිත ගැබ් ගැනීම් ඇතිවන්නේ මෙන්න මේකේ ප්‍රතිඵලයක් විදිහට. එය අනවශ්‍ය අනපේක්ෂිත ගැබ්ගැනීමක් ලෙස අප හදුන්වනවා.

 

📌හදිසි ගැබ් ගැනීම් නවත්වන්නේ කොහොමද?

 

ගැබ් ගැනීමක් සිදුවීමට ලිංගික එක්වීමක් අවශ්‍යයි. ලිංගික එක්වීමක් නැත්නම් ගැබ් ගැනීමකුත් සිදු වෙන්නෙ නෑ. එම නිසා කිසිදු ආකාරයකින් ලිංගික එක්වීමක් නැතිනම් ගැබ් ගැනීමක් ගැන ඔබ බිය විය යුතු නැත. සුළගින් , වතුරෙන් හෝ ආහාර මගින් ජන්මාණු හුවමාරු වීමක් හරහා ගැබ් ගැනීමක් සිදු වෙන්නෙ නෑ. ඒ නිසා සෑම ගැබ් ගැනීමක්ම ලිංගික එක්වීමකින් පසුව සිදු වෙනවා. හදිසි ගැබ් ගැනීමක් නැවැත්වීමට සුදුසු හා එකම විශ්වාසදායක ක්‍රමය ලිංගික එකතුවීමකින් වැලකී සිටීමයි.

 

📌එහෙත් ලිංගික එක්වීමක් අනපේක්ෂිත අවස්ථාවක සිදු විය හැකිද?

සෑම ලිංගික එක්වීමක්ම අපේක්ශිත එකක් වනේ නැත.

ඔබ ලිංගික අපයොජනයකට ලක්වුවහොත් හෝ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දරුවෙක් බලාපොරොත්තු නොවන වෙලාවක ලිංගික එක්වීමක් සිදුවුවහොත් එය අනපේක්ෂිත ලිංගික එක්වීමක් ලෙස හදුන්වනු ලබනවා.

 

📌අනපේක්ෂිත ලිංගික එක්වීමකදී කලයුතු වන්නේ කුමක්ද?

 

එසැනින්ම ඔබ විසින් කලයුතු වන්නේ අනපේක්ෂිත ලිංගික එක්වීමක් සිදුවූ බව අවධාරණය කර ගැනීමයි.

සෑම ලිංගික එකතු වීමකදීම ගැබ් ගැනීමක් සිදුවීමට ඉඩකඩ ඇති නිසා ඉක්මනින්ම ඔබට වෛද්‍ය උපදෙස් පතන්න සිද්ධ වෙනවා.

 

මේ ලිපිය පාසල් යන දරුවන්ගේ දෙමව්පියන් වෙනුවෙන් ලියන එකක් වුනත් දරුවොත් මේ ලිපිය කියවයි කියන පදනම මත ඉදන් වැඩිදුර විස්තර කතා කිරීමට පෙළඹෙන්නෙ නෑ. ඔබේ පාසලේ උප්දේශන ගුරුතුමිය , ඔබේ මව, ඔබේ පාසලේ මහජන සෞඛ්‍යය පරීක්ෂක මහතා, ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍යය නිළධාරී මහත්මිය හෝ ඔබේ ප්‍රදේශයේ සෞඛ්‍යය වෛද්‍ය නිළධාරීතුමා ඔබට අවශ්‍ය වෛද්‍ය මග පෙන්වීම සිදු කරාවි. අනපේක්ෂිත ලිංගික එක්වීමකින් ඔබව ආරක්ශා කිරීමට අවශ්‍ය හදිසි උපත් පාලන ක්‍රම ගැන ඔබට ඒ හරහා දැනුවත් වෙන්න පුලුවන්. වැදගත් වන්නේ එසැනින්ම උපකාර පැතීමය.

 

වෛද්‍ය විද්‍යාත්මකව කිසිම දවසක් ලිංගික එක්වීමකට ආරක්ශිත දිනයක් නොවන්නා සේම ඔබ විසින් අනුගමනය කරන කිසිම ස්වභාවික උපත් පාලන ක්‍රමයක් ගැබ් ගැනීම වළක්වන ආරක්ශිත ක්‍රමයක් නොවන වග වග බලාගන්න.

 

නැවතත් නවය වසරේ ඉන්න පාසල් වියේ දරුවෙක් මෙම ලිපියේ ඉහලින් සදහන් කල ප්‍රශ්නය වැඩසටහනකදී මට යොමු කලේ ඇයිද යන්න දෙවරක් හිතා බලන්න. නවය වසර යනු නව යොවුන්වියේ අනාරක්ශිත චර්‍යා සුලබ වයසකි. දෙමව්පියන්ගේ සෙවනේ වැඩෙමින් පාසල් ගොස් ගෙදර ආ 12 වසරේ දියණියක් පිලිබදව පාසලක උපදේශන ගුරුතුමියක් විසින් මා වෙත එවන ලද මෙම පනිවුඩය තුල ගැබ් වී ඇති අනතුර හදුනා ගන්න.

 

ලිංගික සෞඛ්‍යය හා ප්‍රජනක සෞඛ්‍යය ප්‍රවර්ධනය හරහා අපේ දරුවන් වගකිවහැකි පුරවැසියන් කිරීමට දැනටමත් ප්‍රමාද වැඩියි.

 

#ලිංගික_අධ්‍යාපන_ලිපි

 

ප.ලි.

රහස්‍ය භාවය නිරාවරණය කිරීමක් සිදු නොවූ බව කරුණාවෙන් සලකන්න.

 

✍️සටහන

 

වෛද්‍ය කිලෝශිනී හෙන්දවිතාරණ

වෛද්‍ය නිළධාරී

ශික්ෂණ රෝහල

අනුරාධපුර

blog_image
blog_image