blogImage

ගබ්සාවීමක් කියන්නෙ මොකක්ද ?

දරු සම්පත් බලාපොරොත්තු වෙන හැම දෙමාපියෙක්ගේම සිහිනය නීරෝගී දරුවෙක් මෙලොව එළිය දැකීමයි.😍

 

අවාසනාවන්ත ලෙස සෑම ගර්භණීභායක්ම ඒ අයුරින් සුන්දර ලෙසට අවසාන් වෙන්නෙ නැහැ.

 

ඇතැම් අවස්ථාවලදි ගර්භණීබව සම්පූර්ණ නොවී කලලය නැතිවී යාම අප ගබ්සාවීමක් ලෙස හඳුන්වනවා.😰

 

ඉතා අමිහිරි කටුක අත්දැකීමක් වන ගබ්සාවීම බොහෝ දෙමාපියන්ට සිත් තැවුල් ඇති කරන පීඩාකාරී අවස්ථාවක්.

😞😞

 

දෙමාපියන් මේ සංසිද්ධිය පිළිබඳව නිසි දැනුමක් නොමැති වීම නිසා අනවශ්‍ය කලබලයක් ඇතිවනවා වගේම සමහර විටකදි එම තත්ත්වය අනවශ්‍ය මානසික පීඩනයක් ඇති කරන්නට සමත් වෙනවා.

 

දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන සිටින දෙමාපියන්ට මේ තත්ත්වය හදිසියේ ඇති වුනාම මහා කඩාවැටීමක් වැනි තත්ත්වයක් මතු වෙනවා.

 

නමුත් , ඔබ සිතනවාට වඩා ස්වභාවික ගබ්සාවීම් සුලබ බව ඔබ දන්නවාද ❔❔

 

පළමු සති තුන ඇතුළත 10%- 20% ප්‍රමාණයක් ගබ්සාවීම් සිදු වෙන්න පුළුවන්.

 

මේ නිසා මේ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගැනීම වැදගත් නිසා මේ ලිපිය ලියන්න සිතුණා.

 

👉 මුලින්ම, ගබ්සාවීමක් කියන්නෙ මොකක්ද ?

 

ස්වභාවික හෝ උත්ප්‍රේරිත (කෘතිම) සංසේචනයෙන් බිහිවන කලලය අහිමිව යාම අපි සරලව ගබ්සාවීම ලෙස හඳුන්වනවා.

 

ගර්භණී කාලයේ පළමු සති 20 දී මෙසේ සිදුවීම අප මේ නමින් හඳුන්වන අතර අප මෙහිදී ස්වභාවිකවම සිදුවන ගබ්සාවීම් පමණක් සාකච්ඡා කරනවා.

 

යම් අයෙක් සිතා මතා ගබ්සාවක් සිදු කර ගැනීම නීති විරෝධී වන අතරම එමඟින් ජීවිත හානි පවා ඇතිවිය හැකිබව අවධාරණය කළ යුතුමයි.

 

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

 

👉 ඇයි ගබ්සාවීමක් වෙන්නෙ ?...

 

ගර්භණී මුල් කාලය තුළ , එහෙම නැත්නම් පළමු ත්‍රෛමාසිකය තුළ (පළමු සති 12 ) සිදුවන ගබ්සාවීම්වලට 80% ක් වගේ බලපාන්නෙ කළලයේ පවතින හේතු සාධකයි.

 

▪️01. වර්ණදේහ හා ජානමය සාධක

 

- අපි දන්නවා කලලයක් බිහි වන්නේ මවගේ හා පියාගේ ජන්මාණු සංයෝජනය වීමෙන් වර්ණදේහ 23ක් එකතු වීම සිදු වෙනවා.

 

නමුත් , සෑම විටම මේ වර්ණදේහ එකතු වීම නිසි ආකාරයෙන් සිදු වෙන්නෙ නැහැ.

 

එහෙම හරි ආකාරයට වර්ණදේහවල සංයුතිය ඇති නොවුණම ස්වභාවිකවම එම කලලයට පැවතීමේ හැකියාව නැති වී ගබ්සාවීමකට ලක්වෙනවා.

 

මේ සංසිද්ධිය ඉතා සරල උදාහරණයකින් පැහැදිලි කළොත් පස, ජලය ,හිරුඑළිය යන සියලු සාධක නිසි අයුරින් නැත්නම් නිසරු බීජයකින් කවදාවත් පැළයක් හටගන්නෙ නැහැ වගේ තමයි.

 

50-60 % වගේ ගබ්සාවීම්වලට හේතු වෙන්නෙ මේ හේතුවයි.

 

◼️ 02. මවගේ සාධක

 

මවගේ විවිධ සාධක මේ සඳහා බලපාන්න පුළුවන් .

 

🧩 මවගේ වයස

 

- වයස අවුරුදු 40ට වැඩි නම් එම කාන්තාවට ගර්භණී වීමේදී ඇතිවන කලයයට වර්ණදේහ විෂමතා ඇති වීමේ අවධානමක් පවතිනවා.

 

🧩 මවගේ ප්‍රජනන පද්ධතියේ විෂමතා.

 

- මවගේ ගර්භාෂයේ ඇති ගෙඩි ( fibroids )

- ගැබ්ගෙලේ පවතින ගැටළු ( Cervical incompetence ) ආදී හේතු බලපාන්න පුළුවන්.

 

🧩 මවගේ පවතින ආසාදන

 

- ගර්භණීභාවයට පත්වීමේදී සක්‍රීය මට්ටමෙන් රුබෙල්ලා, මැලේරියා, HIV වැනි විවිධ ආසාදන පැවතීම මේ සඳහා හේතුවෙනවා.

 

🧩 මවගේ දිගුකාලීන සෞඛ්‍ය ගැටළු .

 

-පාලනය නොකරන ලද දියවැඩියාව , වකුගඩු රෝග, ප්‍රතිකාර නොකළ තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටළු .

-අධික රුධිර පීඩනය

-Systemic Lupus Erythematous ( SLE) වැනි රෝග මෙහිදි වැදගත් .

 

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

 

▪️ 03. මත්ද්‍රව්‍ය භාවිතය.

 

මත්පැන් , කොකේන්, දුම්කොළ වැනි මත්ද්‍රව්‍ය භාවිතය ගබ්සාවීම සඳහා බලපානවා.

 

👉 ගබ්සාවීම සිදු වෙන්නෙ කොහොමද ?

 

මෙය තරමක් සංකීර්ණ ක්‍රියාවලියක්. ප්‍රධාන වශයෙන් ගබ්සාවීම කොටස් හතරකට බෙදෙනවා.

 

මේ එක එකක් පිළිබඳ කෙටි සටහනක් තබන්නම්...

 

👇👇👇👇👇

 

01. Threatened Miscarriage

 

මෙය ගබ්සාවීමක පෙර නිමිත්තක් ලෙස කියන්න පුළුවන් . මෙහිදී රුධිරය සුළු ප්‍රමාණයක් හෝ දුඹුරු පැහැ ස්‍රාවයක් පිට වීම දැකගන්න ලැබෙනවා. වෙනත් ලක්ෂණ නොමැති තරම්.

 

රුධිර වහනය විම සිදු වුවත් එයින් කළලයේ සජීවී බවට හානියක් වන්නේ නැහැ. නමුත්, මේ තත්ත්වයන්ගෙන් අඩකට වඩා අඩුවෙන් සම්පූර්ණ ගබ්සාවීම් බවට පරිවර්තනය වෙනවා.

 

02. Inevitable Miscarriage

 

මෙහිදී , කලින් තත්ත්වයට වඩා රුධිර වහනය වැඩිපුර දැනෙනවා. නමුත් කළලයේ කොටස් පහව යාමක් දක්නට ලැබෙන්නෙ නැහැ.

 

ගැබ්ගෙල පළල් වීම නිසා කලලය ගබ්සාවීම නොවැළැක්විය හැකි තත්ත්වයකට පත්වෙනවා.

 

03. Incomplete Abortion

 

මෙහිදී කළලයේ කොටස් පහව යාමක් නිරීක්ෂණය කරනවා. රුධිරය ගලායාම වැඩියෙන් නිරීක්ෂණය කරන අතරම සමහර විටකදී දැඩි උදර වේදනාවක් මවට දැනෙන්න පටන් ගන්නවා.

 

04. Complete Miscarriage

 

මෙහිදී කලලය සම්පූර්ණයෙන්ම ගබ්සාවීමකට ලක්වෙනවා . රුධිර වහනය , කළලයේ කොටස් පහව යාම ආදී ලක්ෂණ දක්නට ලැබෙනවා.

 

මීට අමතරව, තවත් එක් ආකාරයක ගබ්සාවීමේ ස්වරූපයක් තියෙනවා.

 

▫️Missed Miscarriage

 

මෙහිදී රුධිර වහනය වීමක්, උද⁣රයේ වේදනාවක් වැනි රෝග ලක්ෂණ මතුවෙන්නෙ නැහැ.

 

ගර්භණී කාන්තාව විසින් ගර්භණීභාවයේ වර්ධනයක් නොමැති බව අත්දකින්නට ලැබෙනවා.

 

ස්කෑන් පරීක්ෂාවන් සිදු කිරීම මගින් ගර්භාෂයේ කලලය සජීවී ලක්ෂණ දක්නට ලැබෙන්නෙ නැති අතරම කාලානුරූපීව පැවතිය යුතු හෘද ගැස්මත් දක්නට ලැබෙන්නෙ නැහැ.

හෘද ගැස්මක් නොමැති කළලය හෝ ඇම්නියොටික් පැස ස්කෑන් පරික්ෂාවෙන් දක්නට ලැබේ.

 

👉 ගබ්සාවීමකදී දැනෙන ලක්ෂණ මොනවාද?

 

ඉහතදී සඳහන් කළ ගබ්සාවීමේ වර්ගීකරණය අනුව රෝග ලක්ෂණ වෙනස්වන බව ඔබට දැනටමත් අවබෝධ වනු ඇත.

 

ප්‍රධාන රෝග ලක්ෂණ නම් ,

▪️ රුධිර වහනය වීම

▪️ දුඹුරු පැහැ ස්‍රාවයක් පිට වීම

▪️ කළලයේ කොටස් පහව යාම.

▪️සමහර අවස්ථා වලදී උදරයේ වේදනාව දැනීම

 

මේ ලක්ෂණ සෑම රෝගියෙක්ටම එකම ආකාරයෙන් පෙන්නුම් නොකරන අතර එම ලක්ෂණ වල තීව්‍රතාවයද කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට වෙනස්වෙයි.

 

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

 

👉 පරීක්ෂණ සිදු කිරීම.

 

මූලිකව මව සායනික පරීක්ෂාවකට භාජනය කරන අතර ,

 

මුලින්ම රෝගියාගේ ජීවිත අවදානම, රුධිර සංසරණයේ ස්ථායීභාවය ආදිය පරීක්ෂා කොට රෝගියා මූලික පරීක්ෂාවට ලක්කර ඊට අදාළ ප්‍රතිකාර සිදු කරනු ලැබේ.

 

ඉන්පසු උදරය හා යෝනි මාර්ගය සායනික පරීක්ෂාවකට ලක් කරයි.

 

මෙහිදී ,

-ගැබ්ගෙල පවතින ස්වරූපය

-ගර්භාෂයේ ප්‍රමාණය හා වේදනාත්මක බව. ආදි විවිධ කරුණු නිරීක්ෂණය කරයි.

 

අවසානයේ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂාණයක් සිදු කරනු ලබයි.

 

👉 මේ සඳහා පවතින ප්‍රතිකාර ක්‍රම මොනවාද?

 

මේ ප්‍රතිකාර ක්‍රම දීර්ඝ විස්තරාත්මකව සාකච්ඡා නොකරන අතර ඒ ඒ ගබ්සාවීම අනුව ප්‍රතිකාර ක්‍රමය වෙනස් වේ.

 

සම්පූර්ණ ගබ්සාවීමකදී සාමාන්‍යයෙන් ප්‍රතිකාර කිරීම අවශ්‍ය නොවේ.

 

නමුත්,

විශාල වශයෙන් රුධිර වහනය වී ඇත්නම්, ඒ පිළිබඳව අදාළ ප්‍රතිකාර සිදු කරනු ලබයි.

 

අසම්පූර්ණ වශයෙන් සිදුවූ ගබ්සාවීමකදී කලලයේ වයස් සීමාව මත ඖෂධ භාවිතය හෝ ශල්‍ය ක්‍රම භාවිතය මඟින් කලලයේ ඉතිරි කොටස් ඉවත් කිරීම සිදු කරයි.

 

ඇතැම් අවස්ථාවලදී ඖෂධ භාවිතය හා ශල්‍යකර්ම සිදු කිරීම යන ක්‍රම දෙකම උපයෝගී කර ගැනීමය සිදුවේ.

 

රෝගියාගෙන් රෝගියාට ප්‍රතිකාර ක්‍රමය තීරණය වේ.

 

👉 ගබ්සාවීමකින් පසු නැවත ගර්භණීභාවයට පත්වීම කෙසේද ? .

 

මුලින් සඳහන් කළා සේම ස්වභාවික ගබ්සාවීම සාමාන්‍ය තත්ත්වයන් විය හැකි නිසා නැවත ගර්භණී භාවයට පත්වීමට බොහෝ ඉඩ අවකාශය පවතී.

 

නමුත් නොකඩවා වාර තුනකට වඩා ගබ්සා වීම් වලට ලක් වී ඇත්නම් එවන් අවස්ථාවකදී විශේෂඥ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු හමුවී අවශ්‍ය පරීක්ෂණ සිදු කරගැනීම අවශ්‍ය වෙනවා

 

ගබ්සා වීමෙන් පසු සති කිහිපයක් යන තුරු උපත් පාලන ක්‍රමයක් භාවිත කිරීම වඩාත් යෝග්‍ය වෙනවා.

ගබ්සා වීමකින් පසු ඊළඟ ඔසප් චක්‍රය ආරම්භ වීමෙන් අනතුරුව ගර්භණී භාවයට පත් වීමට සුදුසු වන අතර අවම මාස තුනක්වත් නොකඩවා ෆෝලික් අම්ලය (Folic acid) ලබා ගැනීම ඉතා වැදගත්.

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

 

✍️✍️✍️✍️

Dr. Tharindu Milan,

Senior House Officer,

Obstetrics and Gynecology unit ,

BH Diyathalawa

blog_image
blog_image