blogImage

බලන්නකො ඒ බබාගේ මුරණ්ඩුකම

මගේ පුතා නම් අර බබා වගේ නෝටි නෑ නේද?

 

ළමා රෝග සායනයට දරුවා පෙන්වීම සඳහා මා අසළින් වාඩිවූ අම්මා කෑ ගහ ගහ අඬන බබෙක්ව පෙන්වලා කියනවා ඇහුණා.

 

ඒත් එක්කම මගේ ඇහැත් ඒ පැත්තට හැරුණා.

 

පොඩි දරුවා කෑමොර ගහ ගහ‍ා බෑග් එක පොළේ ගහනවා. අම්මාගේ කොණ්ඩෙන් අදිනවා.

 

අනිත් අම්මලා ඔක්කොම ඒ දිහා බලාගෙන ඉන්නවා දැකපු දරුවාගේ අම්මා දරුවාට ටිකක් සැර කරනවා මම දැක්කා.

 

ඒ එක්කම දරුවා අඬන්න පටන් ගත්තා.

 

මේ සිද්ධිය ඉතිං ක්ලිනික් එකේ නිතරම දකින්න ලැබෙන දෙයක්.

 

ඔය අස්සේ අම්මලාගේ කුටු කුටු අතර මෙහෙම දේවල් ඇහෙනවා.

 

🔹බලන්නකො ඒ බබාගේ මුරණ්ඩුකම

🔹පොඩ්ඩක් සැර කරලා පොඩි කාලෙම හදාගන්න ඕනි.

 

ඔව්, ගුටියක් නොකාපු ළමයා හරියට හැඳි ගාන්නෙ නැති හොද්ද වගේ කියලා කියනවනේ,

 

අම්මලාට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි දරුවට කේන්ති ගිය වෙලාවට කොහොමද හැසිරෙන්න ඕනි කියන එක.

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

 

ඉතිං අපි බලමුකෝ මේ කතන්දරේ ගැන.

 

👉 ඇයි බබාලට මෙහෙම කේන්ති යන්නේ ?

 

සාමාන්‍යයෙන් වයස අවුරුදු හතර පහ වෙනකම් දරුවන්ට එක පාරම සමහර දේවල්වලට ගොඩාක් කේන්ති ගිහින් අඬනවා ඔයාලා දැකලා ඇති.

 

සමහර විට මෙහෙම කේන්ති යන්නෙ බොහොම පොඩි දෙයකට

 

අපි මෙහෙම වෙනවට කියන්නෙ ටෙම්පර්ටැන්ට්‍රම් ( Temper trantrum ) කියලා සිංහල නමක් නම් මට හොයාගන්න බැරිවුණා.

😇

 

පළවෙනි දේ තමයි. මේක ළමයාගේ සංවර්ධන අවධියේදී ඉතාම සාමාන්‍ය දෙයක්. හැම ළමයෙක්ම අඩු වැඩි වශයෙන් පොඩි වයසේදී මේ තත්ත්වය අත් විඳිනවා.

 

👉 ඉතිං ඇයි මෙහෙම වෙන්නෙ ?

 

චූටි බබාලගේ පුංචි මොළය සම්පූර්ණයෙන්ම වර්ධනය වෙලා නැහැ.අපේ මොළයේ අපේ හැඟීම් හා චර්යාවන් පාලනය කරන prefrontal Cortex කියන කොටස කුඩාම දරුවන්ගෙ සම්පූර්ණයෙන්ම වර්ධනය වෙලා නැහැ.

 

මේ නිසා පුංචි දරුවන්ගේ හිතට එකපාරම සිතිවිල්ලක් ආවම .එකට ප්‍රතිචාර දක්වන විදිහ වැඩිහිටි අයට වගේ පාලනයකින් යුතුව කරන්න ටිකක් අමාරුයි.

 

මේ නිසා එයාලගෙ සිතිවිලි කේන්තිය/තරහව ( Anger) හෝ දුක ( Sadness) විදිහට එයාලා පිට කරනවා.

 

සමහර අවස්ථාවලදී කේන්තිය නිස‍ා දුකින් ඉන්නවා දුක හිතුණු වෙලාවට කේන්ති යනවා.

💁‍♂️💁‍♂️💁‍♂️

 

මේ හැඟීම්වලදී එයාලා දක්වන ප්‍රතිචාරය දරුවාගේ පාලනයෙන් තොරයි.‍

අපේ අම්මලා කරන වැරැද්දක් තමයි.දරුවා මෙහෙම කරන්නේ හිතලාමයි කියලා වැරදි වැටහීමක ඉන්න එක.

 

💁‍♀️💁‍♀️

 

👉 දරුවාගේ හැසිරීමට අපේ හැසිරීම ඒ වෙලාවට බලපානවාද?

 

අපේ තියෙනවා mirror neurons කියලා ස්නායු වර්ගයක් . ඉතිං නමේ හැටියටම මේ මඟින් අපි දකින , ඇහෙන දෙයක් අනුකරණය කරනවා.

 

පොඩි දරුවන්ට කේනිති ගිය වෙලාවට මේ ස්නායු ක්‍රියාකාරී වෙනවා. ඒ වෙලාවට අම්මා කෑ ගහලා සැර කරලා හැසිරෙන කොට දරුවත් එහෙම කරන්න පෙළඹෙනවා.

 

අම්මලා සංවේදීව, කලබල නැතිව ඉද්දි දරුවත් එහෙම වෙන්න නැඹුරු වෙනවා.

 

💁‍♀️💁‍♀️💁‍♀️

👉 ඉතිං කොහොමද අම්මලා හැසිරෙන්න ඕනි ?

 

1.අම්මා කලබල නොවී සන්සුන් වෙන්න.

 

- කිසිම හේතුවක් නැතිව දරුවා එකපාරටම කේන්තියෙන් කෑ ගහද්දි අම්මලාටත් කේන්ති යනවා.ඒක තමයි මනුෂ්‍ය ස්වභාවය.

 

ඒත් ඒක නෙවෙයි ඔබ කළ යුත්තේ. ඔබේ හිතට එන කේන්තිය ඔබ පාලනය කරගෙන සන්සුන් විය යුතුමයි.

 

සමහර අවස්ථාවලදී මේ සඳහා හැකියාවක් තිබේ නම් දරුවාගෙන් පොඩ්ඩක් ඈතට ගිහිල්ලා ඔබව පාලනය කර ගන්න.

 

2. දරුවාට සමීප වෙන්න.

 

සන්සුන් වූ ඔබ දරුවාව නිරීක්ෂණය කරන්න.

 

දරුවාගේ සිතිවිලි වෙන අතකට යොමු කරන්න උත්සාහ කරන්න.සමහර වෙලාවට මේ අවස්ථාවේදී බබා අල්ලනවට , ඉඹිනවට එයා අකමැතියි.එහෙම වෙලාවට ඒ දේවල් කරන්න එපා.

 

පහත් වෙලා දරුවාට කිට්ටු වෙලා දරුවාට හෙමින් කතා කරන්න උත්සාහ කරන්න.දරුවා මොකකට හරි පයින් ගහනවා කියලා හිතමුකෝ.ඒ වෙලාවට කුෂන් එකක් හෝ කොට්ටයක් ළං කරලා ඒකට ගහන්න කියන්න.

 

මේ වෙලාවට දරුවා සමඟ හැසිරෙන්න ඕනි විදිහ කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. එක පාරටම හරියන්නෙ නැහැ.වෙනස් වෙනස් විදිහට උත්සාහ කරලා බලලා ඔයාගෙ බබා ඉක්මනින් සන්සුන් කරගන්න පුළුවන් මොන විදියෙන්ද කියලා හොයාගන්න.

 

3. දරුවාට ආදරය දක්වන්න.

 

අපේ අම්මලා කරන නරක දෙයක් තමයි මේ වගේ වෙලාවට දරුවා සමඟ තරහ වෙන එක.

👇👇

බබා නරකයි,අම්මි තරහයි බබා එක්ක

අම්මි කතා කරන්නෑ ආයෙ පුතා එක්ක

 

මෙහෙම කරන්න එපා.

 

මේ වෙලාවට තමයි දරුවාට ඔයාගෙ ආදරය , සෙනෙහස ඕනි.

 

දරුවා කලේ මොකක්ද කියලා ආදරෙන් කියලා දෙන්න.දරුවා සන්සුන් වුණාම ආදරෙන් සිප වැළඳගන්න.

 

4. දරුවාට සිදුවුණ දේ පැහැදිලි කරන්න.

 

මේ අවස්ථාවේදී දරුවා හැසිරුණු විදිහ ගැන දරුවාට මතක නෑ. වුණු සිදුවීම මුල ඉඳලාම දරුවාට කියලා දෙන්න.මේක ඉතාම වැදගත් වෙනවා දරුවාගේ චර්යා සංවර්ධනයට.

 

ඉන්පසු බබා මෙහෙම කරාම වෙන නරක දේවල් ගැන ආදරෙන් කියලා දෙන්න.

 

👉 ගොඩක් කේන්ති යන එක සාමාන්‍යද?

 

සාමාන්‍යයෙන් දරුවන්ට,

 

- යම් වැඩක් සම්පූර්ණ කර ගන්න බැරි වුණාම

- යමක් කියාගන්න බැරි වුණාම

- අසනීප වුණාම, බඩගිනි වුණාම

- මහන්සි වුණාම, කලකිරුණාම.

වැනි අවස්ථාවලදී මේ වගේ Temper tantrum ඇති වෙන්න පුළුවන්

 

සාමාන්‍යයෙන් දිනකට 1-2 වරක් මෙහෙම වෙනවා.

💁‍♂️💁‍♂️💁‍♂️

 

👇👇👇

 

නමුත් දිනකට නිතර නිතරම මෙහෙම වෙනවනම්, එක් වරක දී දරුවාගේ මේ විදිහේ හැසිරීමක් විනාඩි 15ක් ට වඩා කාලයක් තියෙනවානම් සමහර විට චර්යාමය රෝගයක් නිසා වෙන්නත් පුළුවන්

 

👉 ඒ වගේ රෝගී තත්ත්ව තමයි...

- ADHD

- Autism

- Anxiety

- Learning Disability

 

මේ නිසා ඔබට හිතෙනවා නම් දරුවාගේ මේ හැසිරීම අසාමාන්‍යයි කියලා ළමා මනෝවෛද්‍යවරයෙකුට දරුවා පෙන්වන එක හොඳයි

blog_image
blog_image