blogImage

33 කාමරය

📌 33 කාමරය කියන්නේ ලිංගාශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර ලබා දීමට, ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහන යටතේ න්‍රියාත්මක වන කොළඹ ප්‍රදේශය ආවරණය කරන සායනයක්.

🧑‍⚕️🧑‍⚕️

 

දැන් ලංකාව පුරා රෝහල්වලට අනුබද්ධව බොහෝ සායන තිබෙනවා. මම සේවය කරන මහනුවර සායනය ලංකාවේ දෙවැනි විශාලතම සායනයයි. දිනකට රෝගීන් විශාල සංඛ්‍යාවක් ප්‍රතිකාර සඳහා පැමිණෙනවා.

 

මේ තත්වය දැන් ඉතාම අවාසනාවන්ත තත්වයක් බවට පත් වී තිබෙනවා. මහනුවර සායනයෙන් පමණක් දිනකට අලුත් රෝගීන් දෙදෙනෙක්වත් අඩුම වශයෙන් හමු වෙනවා.

මේ හැම පුද්ගලයෙකුගේම රහස්‍ය බව ආරක්ෂා කිරීමට අප බැඳී සිටිනවා. මේ සායනයට පැමිණෙන හැම රෝගියෙක්ම දැඩි මානසික පීඩනයක පසුවෙන නිසා අපි ඔවුන් වෙනුවෙන් සුහදශීලී පරිසරයක් ඇති කරනවා.

 

👉 ලිංගාශ්‍රිත රෝග කියන්නේ මොනවාද..?

 

මේ වචනය ටිකක් අමිහිරියි. නමුත් මම හිතනවාට වඩා අද සමාජයේ සුලබ රෝග තත්වයක්. ලිංගික සම්බන්ධතාවයන් හරහා මේ රෝගය බෝ වෙනවා.

 

දැන් නිතර අසන්නට ලැබෙන නතු කරගත් ප්‍රතිශක්ති රෝගය හෙවත් ඒඩ්ස් ( accuired Immune deficiency syndrome ) ගොනෝරියා ( gonorrhea ) & සිපිලිස් ( syphilis ) & ලිංගාශ්‍රිත ඉන්නන් (genetic warts &) ලිංගාශ්‍රිත උපදංශය ( Herpies simplex ) සුලබව තිබෙනවා.

 

👉 කුඩා දරුවන් සහ මහළු වයසේ පුද්ගලයන් අතර ලිංගාශ්‍රිත රෝග තත්වයන් ඇති වෙන්නේ කොහොමද..?

 

අද වෙන විට සමාජය තුළ මිනිසුන්ගේ ඇවතුම් පැවතුම් බොහොම වෙනස්. මම කලින් සඳහන් කලා වගේ සමහර ලිංගාශ්‍රිත රෝග මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වෙන්න පුළුවනි.

 

ඒ වගේම ලාබාල දුවා දරුවන්ට මේ රෝගය බෝ වෙන්නේ අතවරයන්ට හෝ අපහරණයන්ට ලක්වීම නිසා.

 

තාත්තාට දියනිය නොපෙනෙන, ගුරුවරයාට ශිෂ්‍යාව නොපෙනෙන , සීයාට මිනිපිරිය නොපෙනෙන සමාජයක් බිහි වෙලා.

 

මෑතකදී අපේ සායනයට වයස අවුරුදු 13 ක දියණියක් පැමිණියා. ඇය අපයෝජනයට පත් වීම නිසා ගැබ් ගෙන.

ඒ වගේම අද සමාජයේ සමලිංගික සේවනය ඉතා බහුලයි.

 

සමලිංගික සේවනය තරුණයන් අතර පමණක් නොවෙයි වැඩිහිටියන් අතරත් සුලබ බවත් ඒ නිසා වයස අවුරුදු 60 ඉක්ම වූ රෝගීන් අපේ සායනයේ ප්‍රතිකාර ගන්නා බවත් කිව්වොත් පුදුම වෙන්න එපා.

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

 

👉 33 කාමරයට රෝගියෙක් යොමු වෙන්නේ කොහොමද..?

 

රෝග ලක්ෂණ ඇති වුනාම තමන්ගේ වැරදි ලිංගික ක්‍රියාකාරීත්වය ගැන ඔවුන් දන්නවා. එවැනි සැකයක් ඇති වුනාම රෝගීන්ට වුනත් අපේ සායනයට පැමිණෙන්න පුලුවනි.

 

ඒ වගේම රෝග තත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට ගිය විටෙකදී සැකයක් ඇති වුනාම ඒ වෛද්‍යවරයා විසින් ලිංගික රෝග පිළිබඳව පැවැත්වෙන අපේ සායනයට යොමු කරනවා. තවත් අවස්ථාවලදී ලිංගිකව අපයෝජනය වුන දරුවන් උසාවිය මගින් යොමු කරන අවස්ථා තිබෙනවා.

 

👉 මේ විදිහට පුද්ගලයෙක් ලිංගිනව අපයෝජනය වීමට තිබෙන අවස්ථාවන් මොනවාද..?

 

බොහෝ විට එම දරුවන් ගැන විශේෂයෙන් සඳහන් කරනවා නම් මව මුදල් හොයන්න විදේශගත වෙනවා. එතකොට දරුවන් වෙනුවෙන් රැකවරණය පියාගෙන් හෝ අත්තම්මා , සීයාගෙන් ලැබෙයි කියන උපකල්පනයෙන් මව විදේශගත වෙනවා.

 

නමුත් ඇය අපේක්ෂා කළ රැකවරණය දරුවන්ට අහිමි වෙනවා. ඔවුනු් නිවසේදීම එහෙම නැත්නම් අසල්වැසියෙකුගෙන් අපයෝජනයට පත් වෙනවා. මෙතැන තවත් විශේෂත්වයක් තිබෙනවා. හැම දෙනාම නොවෙයි, බොහෝ දරුවන් අපයොා්ජනයට පත් වෙන්නේ තමන් ඇසුරේ සිටින සමීපතම පුද්ගලයන්ගෙන්

 

උදාහරණ විදිහට කිව්වොත් එකම වහලක් යට ජීවත් වෙන මාමා, බාප්පා හෝ සීයා වගේ පුද්ගලයෙක් එහෙම නැත්නම් ඉතාම සමීපව ඇසුරු කරන අසල්වැසියෙකුගෙන්.

 

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

 

👉 දරුවන් අපයෝජනයවෙන්නේ ඔවුන්ට රැකවරණය අහිමි නිසාද..?

 

ඔව් නිසි මව්පිය වැඩිහිටි රැකවරණය අහිමි වීම ප්‍රධාන කරුණ ලෙස මම දකිනවා. දරුවන්ගේ දැනුවත්බව අඩු වීමත් මෙයට බලපානවා.

 

මෙම මේ ගැන ගීතයක් රචනා කළා. මවකගේ රැකවරණය අහිමි දියණියකගේ ඉරණම මෙයට පාදක කර ගත්තා. තනුව දර්ශන වික්‍රමතුංග ගෙන්. ගායනා කරන්නේ රවි රොයිස්ටර්. මෙය මා දුටු සිය ගණනක් වූ සත්‍ය සිදුවීම් අතරින් එකක් පමණයි.

 

අද බොහෝ මව්වරුන් දියණියකගේ මල්වර උත්සවය උත්සවාකාරයෙන් ගන්න උනන්දුයි. ඒ නිසාම දරුවන් වෙනුවෙන් කියමින් ඔවුන් විදේශගත වෙනවා. අන්තිමට මව මුදල් සොයනවා. දියණියට ආරක්ෂාවක් නැතුව අපයෝජනයට පත් වෙනවා.

 

කෙල්ල කොටහළු වෙද්දි පිච්චිය නෑ අතේ..

පිච්චමල් නැති දිය කළේ හිස ඉහිරුනේ...

 

ඒ නිසා දරුවන් ගැන දෙමව්පියන්ගේ රැකවරකය ගැන වගකීමක් තිබීම අතිශයින්ම වැදගත්. මුදල් අවශ්‍ය බව ඇත්ත. නමුත් මුදලින් මිළ කරන්න බැරි විහේෂයෙන් ගැහැණු දරුවාගේ අනාගතය සම්පූර්ණයෙන්ම ඔවුන්ට අහිමි වෙනවා.

 

මව අහිමි වුන දියණියගේ ජීවිතය අකාලයේ විනාශ වෙනවා මම ඒ බව කියන්න ගීතය අවසාන කලේ ,

 

වක්කඩේ හැංගුව හකුරක්ය ආදරේ

ඇගෙ ගමන දුරයි 33 කාමරේ

 

👉 නිවසේදී හැර පුද්ගලයෙක් අපයෝජනයට වීමට වෙනත් අවස්ථාවන් නැතිද..?

 

බොහෝ සේ තිබෙනවා. අපේ පාසල් තුළ නේවාසිකාගාර, විදි දරුවන්, වෙරළ ආශ්‍රිතව ලිංගික ශ්‍රමිකයන් ලෙස යොදවන දරුවන් , බන්ධනාගාර, රැඳවියන් අඩු වයසෙක හාම්පුතුන් අතින් අපයෝජනයට ලක් වෙනවා. මේ සියළු සිද්ධීන් දිනපතා දකින සහ අපට යොමු වෙන සත්‍ය සිද්ධීන්.

 

සාමාන්‍යයෙන් වචනයටත් කියනවා පිරිමි දරුවෙක් ලිංගිකව වැරදි ඇසුරක යෙදුනක සෝදලා ගෙට ගන්න පුළුවන් ..

 

ඒක සම්පූර්ණ වැරදි කතාවක් අපට වැඩිපුර යොමු වෙන්නේ වැඩිහිටි පිරිමි දරුවන්. අද සමාජයේ රහස්‍ය නමුත් සුලබ සමලිංගික ඇසුර නිසා ඒඩ්ස් තත්වය දක්වා ගිය තරුණ පිරිමි දරුවන් දිනපතා වාර්තා වෙනවා. ඔවන් බොහෝ දෙනෙක් ජීවිතාන්තය දක්වා බෙහෙත් ගත යුතු අය.

💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️💁‍♂️

 

නැත්නම් රෝග කාරයෙක්. නැත්නම් රුධිර සාම්පල පොසිටිව් අයයි. සමහර රවවලට මෙවැනි අයට වීසා දෙන්නේ නැහැ. සම්පූර්ණ ප්‍රතිකාර ලබා ඔවුන් රෝග කාරකයන් නොවෙයි නියලා සහතිකය්ක් ලබා දුන්නත් රැකියාවලට රට යන්න බැරුව ලතැවෙන බොහෝ අය අපි ළගට දුක කියාගෙන එනවා.

 

එතකොට සමාජ මාධ්‍ය ජාලා නිසාත් දරුවන් අපයෝජනය වෙන විට..

සමාජ මාධ්‍ය ජාලා නිවරැදි ලෙසින් භාවිතා කරන්නේ කොහොමද කියන දේ ගැන දරුවන්ට කියා දීම ඉතාම වැදගත්. අපි ජංගම දුරකථනයට දොස් කියලාම බැහැ. දරුවාට ස්මාර්ට් ජංගම දුරකථනයක් ලබා දෙනවා නම් එය පාවිච්චි කිරීමේදී හුදෙකලා වීමට ඉඩ දෙනන් එපා. නිතරම ඔවුන් බලන්නේ මොනවාද යන්න ගැන විමසිල්ලෙන් සිටින්න.

💁‍♂️💁‍♂️💁‍♂️

 

ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල දරුවන්ගේ ජංගම දුරකථනවලට ඔවුන්ට අවශ්‍ය දේ පමණක් ලැබෙන විදිහට password යොදා තිබෙනවා. අපේ රටේ එහෙම තත්වයක් නැති නිසා දරුවාගේ ජංගම දුරකථනයටත් අන්තර්ජාලයෙන් අවශ්‍ය දේ වගේම අනවශ්‍ය අන්දමේ කාමුක රූප, තොරතුරු ලැබෙනවා.

 

අද වෙන විට face book ඔස්සේ ගොඩ නගා ගත් ආදර සම්බන්ධතාවයන් නිසා විනාශයට පත් වුන තරුණ දූ දරුවන් ගැන මාධ්‍ය වෙතින් අසන්න ලැබෙනවා.

 

ඒ නිසා සමාජ මාධ්‍යජාලා පරිහරණය කිරීමේදී එහි වැරදි යොමු වීම් ගැනත් දරුවන් දැනුවත් කරන්න.

ඒ නිසා දරුවන්ට ආදර සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීමේදී මව්පියන් විසින් ලබා දෙන දැණුවත් කිරීම් ඉතා වැදගත්.

 

අද කාලයේ පාසල් දරුවන් පවා තම පෙම්වතා සමග Room වෙත යොමු වීම ආදරයේම එක් කොටසක් බව සිතන තැනට පත් වී තිබෙනවා. එවැනි අවස්ථාවන්හි සිදු වෙන ලිංගික අපයෝජනයන් නිසා ඔවුන්ගේ ජීවිත නිරපරාදේම විනාශ වෙනවා.

 

👉අවාසනාවකට හෝ දරුවෙක් ලිංගිකව අපයෝජනයට පත් වීම නිසා ලිංගාශ්‍රිත රෝග තත්වයකට පත් වුනොත් නැවත ඒ පුද්ගලයාට ගුණාත්මක ජීවිතයක් ගැන බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට අවස්ථාවක් නැතිද..?

 

එහෙම කිසිම ගැටළුවක් නැහැ. දැන් ඒඩ්ස් වලට පවා අපි ප්‍රතිකාර ලබා දෙනවා. ඒඩ්ස් සම්පූර්ණයෙන්ම සුව වෙන්නේ නැහැ. නමුත් ජීවිතය ගැටළුවක් නොමැතිව පවත්වා ගෙන යෑමට හැකියාවක් තිබෙනවා. සිපිලිස්, ගොනෝරියා වැනි රෝග වෙනුවෙනුත් ප්‍රතිකාර තිබෙනවා.

 

ඒ නිසා ලිංගාශ්‍රිත රෝග ඇති වුනොත් එය සඟවා ගෙන සිටින්න එපා. ප්‍රතිකාර මගින් ඔබට හෝ ඔබේ දරුවන්ට කිසිම බාධාවකින් තොරව ගුණාත්මක ජීවිතයක් පවත්වා ගෙන යන්න පුළුවනි.

අද දරුවා හෙට රටේ වැදගත් පුරවැසියෙක්.

 

නමුත් ඒ දරුවා පිරිසිදු, මානසිකව සහ ශාරීරිකව නීරෝගී පුද්ගලයෙක් විදිහට සමාජගත වීමට නම් අද දවසේ ඔවන් ආරක්ෂා කිරීම වැඩිහිටියන්ගේ වගකීමක්..

 

ඒ වගේම යුතුකමක්. ඒ නිසා කැකුලු මල් අකාලයේ නොතලා ඔවුන්ට නිදහසේ පිපෙන්න ඉඩ දෙන්න

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ දරුවන් ගැන සැලකිල්ලෙන් ඉන්න. නිසි රැකවරනය දන්න.

 

දරුවෙනි, ඔබත් නව යොවුන් වියේ ආදරය හා ලිංගිකත්වය පටලවා ගන්න එපා. ඔබ කවරෙක හෝ වුනත් අපයෝජනයට, අපහරණයට ලක් වෙන බව දැණුනොත් සමීප අයෙකුට බිය නැතුව කියන්න. නීතිය ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා. කිසිම බිය වැද්දීමකට බය වෙන්න එපා.

 

ඔබට අවශ්‍ය රැකවරණය දෙන්න පොළිසිය, උසාවිය රෝහල මෙන්ම ළමා රක්ෂක සංවිධාන බැඳී සිටිනවා. එසේ රැකවරණය වීමෙන් ඔබේ අනාගතයට බලපෑමක් වෙන්නේ නැහැ. නිශ්ශබ්දව සිටීම නරකයි.

 

✍️✍️✍️

වෛද්‍ය දීපනී සේනාරත්න,

ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩ සටහන ,

මහනුවර

blog_image
blog_image