blogImage

දරුවන් යමක් කටේ හිර කරගැනීම

පුංචි දරු පැටියෙක් උස් මහත් කරනවා කියන දේ අපි හිතනවට වඩා ටිකක් භාරදූර කාර්යයක්

 

අම්මලා මේ ගැන හොඳටම දන්නවා. අම්මලා කොහේ කොහොම මොන වැඩේ කරත් හිත තියෙන්නේ තමන්ගේ දරු පැටියා ගාව තමයි.

 

පුංචිම කාලෙ නම් තොටිල්ලක හරි ඇඳේ හරි තියලා අපිට බය නැතුව එන්න පුළුවන්.

 

ඒත් ටික ටික ලොකු වෙන කොට තමයි බය. වයස අවුරුද්ද වගේ වෙනකොට බබා දණගාන්න පටන් ගන්නවා. ටික ටික ඇවිදින්න පටන් ගත්තම තමයි අම්මලාට හරිම අමාරු වෙන්නේ.

පුංචි දරුවෝ තියෙන්නේ හරිම කුතුහලයෙන් , ඒ වගේම විමසිල්ලේන පිරිණු අයනේ.

 

ඉතිං මේ පුංචි පැටියන්ට . අතට අහුවෙන හැම දෙයක්ම වගේ මොහොතකින් කට ඇතුළට දාගන්නවා.

 

💁‍♀️

 

මේ විදියටම කටේ දාගන්න දෙයක් හිර වුණොත් මොනාද කරන්න ඕනි.

 

මේ දේවල් ගැන හරියටම දැන ගන්න ‍. අපි සම්බන්ධ කර ගත්ත උතුරු කොළඹ ශික්ෂණ රෝහල් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කාවින්ද දයාසිරි වෛද්‍යතුමන්ව.

 

💁‍♀️💁‍♀️💁‍♀️

වෛද්‍යතුමනි ඔබතුමාගේ අත්දැකීම් අනුව දරුවන් යමක් කටේ හිර කරගැනීම සම්බන්ධ කුමක් කිව හැකිද ?

 

🧑‍⚕️🧑‍⚕️

සාමාන්‍යයෙන් වයස අවුරුදු එකේ සිට පහ දක්වා වූ කාලයේ දී දරුවන් තම අතට හසුවන ඕනෑම දෙයක් කටේ දා ගන්නවා. විශේෂයෙන් දණ ගාන වයසේ දරුවන් අපේ වැඩිහිටියන්ට නොදකින බොහෝ පුංචි වස්තු පවා කෂණිකව කට ඇතුළට දා ගන්නවා.

 

විශේෂයෙන් පබළු ඇට,වීදුරු බෝල , බොත්තම් , බැටරි කුඩා සෙල්ලම් බඩුවල කොටස් වගේ දේවල්.

ඒ වගේම , සමහර අවස්ථාවලදී දරුවාට කෑම ලබාදෙන විට මිදි ගෙඩියක් , ටොපියක්, මස් කැබැල්ලක් වැනි ආහාර ද්‍රව්‍ය වුනත් කටේ හිරවීමෙන් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.

 

💁‍♀️💁‍♀️💁‍♀️

දරුවා යමක් ගිල ඇති බව අපි දැනගන්නේ කෙහොමද වෛද්‍යතුමනි.

 

🧑‍⚕️🧑‍⚕️🧑‍⚕️🧑‍⚕️

බොහෝ වෙලාවට දරුවා මේ දේ ගිලිනවා දෙමාපියන් හෝ වෙනත් කෙනෙක් දකිනවා. ඒ වගේ වෙලාවට දරුවාට කැස්ස හෝ හුස්ම ගැනීමේ අපහසුවක් මතු වෙන්න පුළුවන් .

 

දරුවාට රෝග තත්වයන් නොමැතිව දරුණු ලෙස කැස්සක් එකවරම ඇතිවුණොත් දරුවා ආගන්තුක යමක් ගිලීම නිසා ශ්වසන මාර්ගය අවහිර වී ඇති බව සැක කළ යුතුයි.

 

▪️මේවගේ වෙලාවට

- හුස්ම ගැනීමේ දී අධික ශබ්දයෙන් ඇසීම

- කැස්ස

- හුස්ම ගැනීමේ අපහසුව

- දරුවාට අඩන්නට පවා නොහැකිව සුදුමැලි වීම

හෝ නිල් පැහැයට හැරීම වගේ දේවල් වෙන්න පුළුවන්.

 

💁‍♀️💁‍♀️💁‍♀️

විශේෂඥ වෛද්‍යතුමනි, දරුවාගේ උගුරේ හිරවුණ දෙයක් අපි ගන්නේ කොහෙ‍ාමද ?

 

🧑‍⚕️🧑‍⚕️🧑‍⚕️🧑‍⚕️

දරුවගේ යමක් උගුරේ සිරකරගත් විට අම්මලා කලබල වෙලා කරන්නේ ඇඟිල්ල උගුර ඇතුළට දාලා ගිලගත් දේ එළියට ගන්න හදනවා. සමහර වෙලාවට ගිලපු දේ තව තවත් ඇතුළට ඇඟිල්ලෙන් තල්ලු වෙනවා. දරුවාගේ උගුර තුවාල වෙනවා.

 

දරුවා කහිනවා නම්, සමහර විට දරුවාගේ හිර වී තිබෙන ද්‍රව්‍ය පිටතට කැස්ස සමඟින් එන්න පුළුවන්

 

කැස්ස වුණත් එය ඵලදායී නැත්නම් ඒ කියන්නේ හිරවී ඇති දෙය එළියට එන්නෙ නැත්නම් දරුවාට හොඳින් සිහිය තිබෙනවා නම් දරුවා මුණින් අතට හරවා පිටට තට්ටු කරන්න.

 

දරුවා වයස අවුරුද්දට අඩු නම් ඔබ වාඩි වී දරුවා මුණින් අතට හරවා ගන්න. මෙහිදී දරුවාගේ මුහුණ , බෙල්ල, පපුව යන ප්‍රදේශවලට අධාරයක් ලැබෙන සේ දරුවා අතින් අල්ලා ගන්න.

ඉන්පසු බබාගේ උරහිස් අතරට ඔබේ අත්ලෙන් පස් වතාවක් තට්ටු කරන්න.

 

දරුවා අවුරුද්දට වඩා වැඩි නම්, දරුවාගේ මුහුණ ඔබේ කකුල මත තබා ගන්න. එය අපහසු නම් දරුවා මුනින් අතට දිගා කර ගන්න.

දැන් පිටු පසින් පිටට පස් වතාවක් තට්ටු කරන්න.

 

මෙහෙම තට්ටු කරලත් ගිලපු දෙය එළියට ආවේ නැත්නම්, දරුවා සිහියෙන් ඉන්නවා නම්, පපුවට තෙරපුම් පහක් ලබාදෙන්න. එවිට ඇතිවන කෘතිම කැස්ස මඟින් ශ්වසන මාර්ගයේ හිරවී ඇති දේ පිටතට පැමිණීමට පුළුවන්.

 

මේ අතරම අවට සිටින අයෙකුගෙන් උදව් ලබාගෙන හැකි ඉක්මනින් වෛද්‍යවරයෙක් හෝ රෝහල වෙතට යන්න.

 

💁‍♀️💁‍♀️💁‍♀️

වෛද්‍යතුමනි අපි හිතමුකෝ මෙහෙම කරද්දි ගිලපු දේ එළියට ආවා කියලා.ඒ වෙලාවටත් ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න අවශ්‍යද?

 

🧑‍⚕️🧑‍⚕️🧑‍⚕️

ඔබගේ දැඩි උත්සාහයකින් අනතුරුව ගිලී ඇති දෙය පිටතට පැමිණියා නම් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වෙන්න.සමහර විට ගිලින ලද දේ පිටතට පැමිණියත් එහි කොටසක් සමහරවිට රැඳී තියෙන්න පුළුවන්.

ඒ වගේම ඔබ මෙතෙක් සිදු කරන ලද ක්‍රියාවලිය නිසා දරුවාට යම් තුවාලයක් වීමේ ඉඩකඩ තියෙනවා.

නමුත් ගිලී ඇති දෙය ඉතා පහසුවෙන් පිටතට පැමිණියා නම් හා දරුවා සාමාන්‍ය ලෙස පහසුවෙන් ඉන්නවා නම්, වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවීම අත්‍යවශ්‍ය නැහැ.නමුත් විමසිල්ලෙන් පසුවන්න.

 

💁‍♀️💁‍♀️💁‍♀️

මේ වගේ අනතුරු වළක්වාගන්න මව්පියන් කළ යුත්තේ කුමක්ද?

 

🧑‍⚕️🧑‍⚕️🧑‍⚕️

දරුවාට ආහාර ලබා දීමේදී මිදි වැනි පළතුරු කුඩා කැබලිවලට සකස් කර ලබා දෙන්න.

 

තද එළවළු පිසීමෙන් පසු පොඩි කරගන්න නැත්නම් අඹරගන්න. ඇටවර්ග හා වෙනත් තද ආහාර දරුවාට දීමෙන් වළකින්න.

 

දරුවාට සෙල්ලම් බඩු තෝරන විට වයස පිළිබඳ ලබාදී තිබෙන නිර්දේශ අනුගමනය කරන්න.

 

බැටරියෙන් ක්‍රියාකරන, බිඳෙන සුළු මතුපිටක් ඇති සෙල්ලම් බඩු දරුවාට ලබා දෙන්න එපා.

 

නිරාවරණය වුණු පුළුන් ලිහිල් ඉස්කුරුප්පු ඇණ, ‍බොන්නම් වැනි දේ නිසා දරුවාට අවදානමක් ඇති වෙන්න පුළුවන්. නිවසේ තිබෙන අවදානම් දේවල් දරුවාට ළඟාවිය නොහැකි උසකින් තබන්න.

 

🧑‍⚕️🧑‍⚕️🧑‍⚕️🧑‍⚕️

 

✍️✍️✍️✍️

 

Dr . Kavinda Dayasiri

Counsultant Pediatrician ,

North Colombo Technology Hospital ,

Ragama

blog_image
blog_image