blogImage

තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා

අපේ ඇ‍‍ඟේ ක්‍රියාකාරීත්වය හොඳට පවත්වාගෙන යාමට උදව් වෙන වැදගත් ග්‍රන්ථියක් තමයි තයිරොයිඩ් කියන්නෙ.

 

තයිරොයිඩ් ග්‍රන්ථිය පිහිටලා තියෙන්නෙ බෙල්ලේ ඉදිරිපස කොටසේ.

 

තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන ගැටළු නිසා, බෙල්ලේ ඉදිමීමත්, ගෙඩි ඇති වීමත් සිදුවෙන්න පුළුවන්.

 

මේ වගේ ලෙඩවලට ගලගණ්ඩය ,බෙල්ලෙ වායු ගෙඩි ඇති වීම වගේ විවිධ නම්වලින් හඳුන්වනවා.

 

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

 

ගොඩක් දෙනෙක් දන්න දෙයක් තමයි අයඩීන් ඌනතාවය නිසා මේ වගේ වායුගෙඩි ඇති වෙන්න පුළුවන්.ඒක නිසානෙ අයඩීන් මිශ්‍ර ලුණු භාවිත කරන්න කියලා දැනුවත් කරන්නේ

 

👉 ඉතින්, මෙහෙම බෙල්ලෙ ගෙඩි ඇති වෙන්නෙ මේ නිසා විතරද?

 

නැහැ, අද මේ ලිපිය හරහ‍ා කතා කරන්නෙ තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවෙන්න පුළුවන් පිළිකාමය තත්ව ගැන.

 

මේ සඳහා නුවර ජාතික රෝහලේ ශල්‍ය වෛද්‍ය ලේඛකාධිකාරී ජනිත් ඊශ්වර වෛද්‍යතුමා සම්බන්ධ කරගනු ලැබුවා.🧑‍⚕️

 

1. වෛද්‍යතුමනි , ලංකාවේ තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා තත්වය කෙතරම් සුලභද?

 

👇

2021 වසරේදී ජාතික පිළිකා මර්ධන වැඩසටහන මඟින් සිදු කළ සමීක්ෂණයකට අනුව කාන්තාවන් අතර දෙවනියට බහුලතම පිළිකා වර්ගය වන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවයි.වයස 15 -35 අතර තරුණියන්ගේ ප්‍රමුඛතම පිළිකාව මෙයයි. කාන්තාවන් අතර ඇති වූ පිළිකා අතරින් 10%ක් තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවයි.පිරිමි පුද්ගලයන් අතර හටගත් පිළිකා අතරින් 3% තයිරොයිඩ් ග්‍රන්ථයේ පිළිකා.

 

2021 දී ලංකාවේ තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා 2500 ක් වාර්තා වෙලා තියෙනවා.

 

ඒ අනුව අපි හිතනවට වඩා තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා සුලබයි.

 

💁‍♀️💁‍♀️💁‍♀️

 

2. මොනවාද තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා තත්ත්ව වෛද්‍යතුමනි.

 

👇

ප්‍රධාන වශයෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා වර්ග හතරක් දක්නට ලැබෙනවා. ඒවා තමයි

1. Papillary

2. Follicular

3. Medullary

4. Anaplastic

විදියට හඳුන්වන්න පුළුවන් .

මේ අතරිනුත් වැඩිපුරම අපට හමුවන්නේ Papillary Thyroid Cancer යන වර්ගයයි.තයිරොයිඩ් පිළිකා අතරින් 80% ක් මේ වර්ගයේ පිළිකා.

 

මීට අමතරව Lymphoma නම් පිළිකා විශේෂයත් තයිරොයිඩ් ග්‍රන්ථයේ ඇතිවිය හැකියි .

 

💁‍♀️💁‍♀️

 

3. පිළිකාව කිව්වම අද සමාජයේ අය ගොඩක් බය වෙනවා . මේ පිළිකාවටත් අප එසේ බය විය යුතුද ?

 

👇

ඇත්තටම අපට සුව කළ හැකි පිළිකා අතරින් එකක් තමයි මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාව. මුල් අවධියේදී හඳුනාගෙන නිසි ප්‍රතිකාර සිදු කිරීමෙන් සම්පූර්ණයෙන්ම සුව කළ හැකි පිළිකාවක් තමයි මේ.

 

Anapalstic පිළිකා වර්ගය හැර අනෙක් පිළිකා වර්ග සියල්ලම පාහේ සම්මත ප්‍රතිකාර ලබා ගැනීම මගින් සුව කළ හැකිය .

 

මේ අගය මුල් වසර 10 සදහා 80% තරම් හොද අගයක්.

 

ඒක නිසා අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැහැ.

💁‍♀️💁‍♀️

 

4. වෛද්‍යතුමනි, මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා සඳහා බලපාන අවදානම් සාධක තිබෙනවාද ?‍

 

👇

ප්‍රධානතම අවදානම් සාධකය තමයි විකිරණවලට නිරාවරණය වීම.එක්ස් රේ පරීක්ෂණ සිදු කිරීමේදී සිදු වන විකිරණ නිරාවරණය වීම වගේ දේවල් වලින් මෙය ඇති වන්නෙ නැහැ.

ඇතැම් අවස්ථා වලදී ප්‍රතිකාර වශයෙන් සිදුකරන විකිරණ භාවිතය තමයි මේ සදහා බලපාන්නේ.

එහිදී විකිරණ මාත්‍රාව හා කාල සීමාව බලපානවා.

 

ඒ වගේම න්‍යෂ්ටික බලාගාර වලින් සිදුවන විකිරණ කාන්දු වීම් මේ සදහා හේතු වෙනවා.

විශේෂයෙන් කුඩාකාලයේදී මෙහෙම විකිරණවලට නිරාවරණය වීම අවධානම වැඩි කරනවා.

 

ඊට අමතරව පවුලේ සමීපතම ඥාතියෙක්ට තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවක් පැවතීම සහ Thyroid Cancer Syndrome නම් තත්ත්වය සහිත පවුල්වල අයට අවධානම වැඩියි.

 

ඊට අමතරව අධික තරබාරුභාවය, අයඩීන් ඌනතාවය සමහර පිළිකාවලට අවදානමක් ඇති කරන බවට පරීක්ෂණ වාර්තා තිබෙනවා.

💁‍♀️💁‍♀️💁‍♀️

 

5. කාටද මේ පිළිකා හැදෙන්නෙ වෛද්‍යතුමනි

 

👇

සාමාන්‍යයයෙන් මුලින් කිව්ව විදියටම කාන්තාවන් අතර තයිරොයිඩ් පිළිකා බහුලයි.මේ අනුපාතය 3:1 වගේ අගයක්.

💁‍♀️💁‍♀️💁‍♀️

 

6. ඒ කියන්නෙ තරුණ කාන්තාවන් මේ ගැන සැලකිළිමත් විය යුතුයි නේද ? මොන වගේ ලක්ෂණද මෙහිදී ඇති වන්නේ,

 

👇👇👇

රෝග ලක්ෂණ පිළිකා වර්ගය අනුව වෙනස් වෙනවා,

 

1. බෙල්ලෙ ඉදිරිපස මතුවන ගෙඩි.

 

♦️කෙටි කාලයක් තුළ ඒ කියන්නෙ සති කිහිපයක් තුළ වේගයෙන් වර්ධනය වෙන ගෙඩියක් නම් ඒ පිළිබඳව සැළකිලිමත් විය යුතුයි.

 

♦️සාමාන්‍යයෙන් මේ ගෙඩිය වේදනාවෙන් තොරයි මේ නිසාම සමහර අය මේ ගැන තැකීමක් නොකර සිටින අවස්ථා අත්දැකලා තියෙනවා.

 

♦️කුඩා දරුවන්ගේ බෙල්ල ඉදිරි පස ඉදමීමක් ඇත්නම් , ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න.

 

♦️බෙල්ලේ ඉදිරිපස ගෙඩියක් සමඟින් බෙල්ලේ වසාගැටිති ඉදමී තිබෙන විටකදී එය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි

 

මීට අමතරව ,

🔹එක්වරම සිදුවන කටහඬ ගොරෝසුවීමක් හෝ

🔹කටහ‍ඬේ වෙනස්වීමත් හෝ 🔹හුස්ම ගන්නා විට ගොරෝසු ශබ්දයක් පිටවීමක්

🔹ගිලීමට ඇතිවන අපහසුතාවයත්

යන රෝග ලක්ෂණ පිළිකාව මඟින් ඒ අවට ඉන්ද්‍රියයන්වලට කරන බලපෑම නිසා ඇතිවෙන් පුළුවන්. මේ ලක්ෂණ ගොඩක් සුලභ ලක්ෂණ නෙවෙයි. මොකද මේ ලක්ෂණ වැඩිපුර දක්නට ලැබෙන්නෙ දුර්ලභ පිළිකා වර්ගයක් වන Anaplastic නම් පිළිකා වර්ගයේ.

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

 

7. සැක සහිත බෙල්ලේ ඇතිවන ගෙඩියක් සඳහා සිදුකරන පරීක්ෂණ මොනවාද වෛද්‍යතුමනි.

 

👇

මුලින්ම සායනික පරීක්ෂාවක් සිදු කරනවා. එහිදී මේ ගෙඩිය තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවූ ගෙඩියක්ද එහි ප්‍රමාණය සහ ස්වභාවය කුමක්ද යන්න ගැන අව‍බෝධයක් ලබා ගන්නවා.

 

ඉන්පසු අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයන් සිදු කරනවා. මේ පරීක්ෂණය මඟින් තයිරොයිඩ් ගෙඩියේ ස්වභාවය සහ ප්‍රමාණය හා සංයුතිය පිළිබඳ තොරතුරු රාශියක් ලබාගන්න හැකියාව පවතිනවා.

 

සැක සහිත ගෙඩියක පිළිකාවක්ද යන්න තහවුරු කර ගැනීමට FNAC යව පරීක්ෂාව සිදු කරනවා.මේ මඟින් පිළිකාවක්ද ? එහි සංයුතිය කුමක්ද ? කුමන වර්ගයේ එකක්ද වැනි ප්‍රතිකාරය තීරණය කිරීමට අවශ්‍ය සාධක රාශියක් ඉදිරිපත් කරනවා.

 

මීට අමතරව තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අවබෝධ කර ගැනීම සඳහා TSH යන රුධිර පරීක්ෂණ අවශ්‍යතාවය අනුව සිදු කරනවා.

💁‍♀️💁‍♀️💁‍♀️

 

8. යම් ලෙසකට කෙනෙක්ට තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවක් ඇති වුවහොත් ඒ සඳහා පවතින ප්‍රතිකාර මොනවාද?

 

👇

මා කලින් පැවසූ පරිදි සාර්ථකව ප්‍රතිකාර කළ හැකි අතළොස්සක් වූ පිළිකා අතරින් එකක් තමයි මේ තයිරොයිඩ් පිළිකාව.

 

මෙහිදී ප්‍රතිකාර කිරීම පිළිකා වර්ගය හා එහි තත්ත්වය (Stage) හා පැතිරීම මත තීරණය වෙනවා.

 

බොහෝ අවස්ථාවලදී පැතිරී නොමැති පිළිකා සඳහා සාර්ථකම ප්‍රතිකාර ක්‍රමය වන්නේ ශල්‍ය කර්මයක් මඟින් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමයි.

 

මෙහිදී බොහෝ විට සම්පූර්ණ ග්‍රන්ථය ඉවත් කරන අතර සමහර අවස්ථා වලදී ග්‍රන්ථයේ අර්ධයක් පමණක් ඉවත් කරනවා.

 

මීට අමතරව විකිරණශීලි අයඩීන් ප්‍රතිකාරය හරහා පිළිකා රෝගීන්ට සිදු කරන ප්‍රතිකාර ක්‍රමයක් පවතිනවා.එහිදී ප්‍රධාන වශයෙන් ශල්‍යකර්මයකින් පසුව නැවත වර්ධනය වූ තයිරොයිඩ් පිළිකා සදහා ප්‍රතිකාර කරනවා.

💁‍♀️💁‍♀️💁‍♀️

 

Anapalstic පිළිකා වර්ගය සදහා විකිරණ ප්‍රතිකාර සිදු කරනවා.

 

9. ශල්‍යකර්මයකින් පසුවත් තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවක් නැවත මතු වීමේ හැකියාවක් පවතිනවාද වෛද්‍යතුමනි.

 

👇

තයිරොයිඩ් ග්‍රන්ථිය සම්පූර්ණයෙන්ම ඉවත් කළත් නැවත මතු වීමට අවස්ථාව පවතිනවා .

මේ සදහා

- පිළිකාව කොතරම් දුරකට පැතිර තිබුනාද යන්න

-වසාගැටිති තුළ පිළිකා සෛල අඩංගු වූයේද යන්න

-පිළිකාවේ ප්‍රභේදය යන්න

ආදී කරුණු බලපානවා .

 

නැවත පිළිකා වර්ධනයක් සිදුවේද යන කාරණය සොයා බැලීමට ශල්‍යකර්මයෙන් පසුව විටින් විට thyroglobuoin level නම් රුධිර සාධක පරීක්ෂණ සහ ස්කෑන් පරීක්ෂණ සිදුකරනු ලබනවා.

 

මෙවන් අවස්ථාවකදී වුණත් ග්‍රන්ථියේ ඉතිරි කොටස් ශල්‍යකර්මයක් මඟින් ඉවත් කිරීමෙන් හා විකිරණශීලී අයඩීන් ප්‍රතිකාර ක්‍රම භාවිතයෙන් මේ සඳහා ප්‍රතිකාර කළ හැකියි.

 

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

 

10. ශල්‍ය කර්මයෙන් පසු රෝගියාට ඇතිවන බලපෑම කුමක්ද?

 

👇

මේ ශල්‍ය කර්මය ලංකාවේ රෝහල්වල බහුලව සිදුවන ශල්‍යකර්මයන්ට සාපේක්ෂව සංකූලතා ඇති වීම අඩුයි. ඒ නිසා ශල්‍ය කර්මය පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ.

 

සම්පූර්ණයෙන්ම ග්‍රන්ඨිය ඉවත් කළොත් ඔබට තයිරොක්සින් ඖෂධයක් ලෙස ලබා ගැනීම සිදු වෙනවා.

 

මීට අමතරව සමහර රෝගීන් සඳහා ශල්‍යකර්මයට පසු විකිරණශීලී අයඩින් ප්‍රතිකාර ලබාදීමට සිදුවෙනවා.

💁‍♀️💁‍♀️💁‍♀️

 

✍️✍️✍️

Dr. Janith Eshwara

Registrar in Surgery

NH Kandy

blog_image
blog_image