blogImage

ඔස්ටියෝපොරෝසිස් ගැන ඔබ දැනුවත් ද?

🔺ඔස්ටියෝපොරෝසිස් යනු කුමක් ද?

ඔස්ටියෝපොරෝසිස් යනු ඔබගේ අස්ථිවල ඝනකම අඩු වීම හේතුවෙන් ඒවා අසාමාන්ය ලෙස දුර්වල වීමට ලක්වන රෝගී තත්වයකි. එහි ප්රතිඵලයක් ලෙස විශේෂයෙන් උකුල් සහ කොඳු ඇට පෙළේ අස්ථි බිඳීමේ අවදානම සැලකිය යුතු ලෙස වැඩි වේ. මෙවැනි අස්ථි බිඳීම් නිසා පිට කොන්දේ වේදනාව, කුදු බව, ආබාධිතභාවය, එක්තැන් වීම සහ මරණය පවා සිදු විය හැක. මෙහි දී භයානක ම කාරණය වන්නේ මෙවැනි අස්ථි බිඳීමක් වන තෙක් ම ඔස්ටියෝපොරෝසිස් රෝගය කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා ඔබ නොදැන ම ඔබ තුල පැවතිය හැකි වීමයි.

 

🔺ඔබට ඔස්ටියෝපොරෝසිස් වැළඳීමේ වැඩි අවදානමක් තිබේ ද?

ආර්තවහරණයෙන් පසු කාන්තාවන්ට සහ වයස 65 ඉක්මවූ වැඩිහිටියන්ට ඔස්ටියෝපොරෝසිස් වැළඳීමේ වැඩි අවදානමක් ඇත. නිරෝගී , වයස 50 ට වඩා අඩු පිරිමින්ට සහ ආර්තවහරණය නොවූ ස්ත්රීන්හට එහි අවදානම අවම ය. අනෙකුත් අවදානම් සාධක අතර අඩු බර, දුම් පානය , අධික මත්පැන් පානය, ඇතැම් රෝග තත්වයන් (වකුගඩු දුර්වල වීම / දියවැඩියාව / විටමින් D ඌණතාවය, තයිරොයිඩ් ග්රන්ථියේ අධික ක්රියාකාරිත්වය, මන්දපෝෂණය, ආදිය) හෝ ඖෂධ වර්ග (ප්රෙඩ්නිසොලෝන්,අපස්මාර නාශක ඖෂධ,ආදිය) සහ පවුලේ ඔස්ටියෝපොරෝසිස් රෝග ඉතිහාසය ප්රධාන වේ.

 

🔺ඔස්ටියෝපොරෝසිස් රෝග විනිශ්චය කරන්නේ කෙසේද?

ඩෙක්සා (DXA) ස්කෑන් නම් වූ විශේෂ එක්ස් කිරණ පරීක්ෂණය මගින් මෙම රෝගය හඳුනා ගත හැකි ය. මීට අමතරව, ලිස්සා වැටීම්, කුඩා බරක් එසවීම වැනි සුලු අනතුරු වලින් පවා ඇතැම් අස්ථි (කොඳු ඇට පෙල සහ උකුල ඇටය) බිඳීම් ඇති වූ පුද්ගලයන් හට ද ඔස්ටියෝපොරෝසිස් රෝගය වැළඳී ඇති බව ඩෙක්සා පරීක්ෂණයක් නොකරම නිගමනය කල හැකි ය. ඔබට ඔස්ටියෝපොරෝසිස් රෝගය ඇති බව විනිශ්චය කල පසු, ඔබේ අස්ථි දුබල වීමට හේතු විය හැකි වෙනත් තත්වයන් සොයා බැලීමට වෛද්යවරයා විසින් වැඩිදුර පරීක්ෂණ නිර්දේශ කළ හැකි ය.

 

🔺ඔස්ටියෝපොරෝසිස් සඳහා ප්රතිකාරය කුමක් ද?

ඔස්ටියෝපොරෝසිස් සඳහා ප්රතිකාර ලෙස,

i. යහපත් ආහාර පුරුදු, ව්යායාම හා යහපැවතුම්

ii. ඖෂධ ප්රතිකාර( සමහර රෝගීන්ට පමණක්) නිර්දේශ වේ. මෙසේ ප්රතිකාර කිරීමේ පරමාර්ථය වන්නේ අස්ථි බිඳීමේ අවදානම අඩු කිරීමයි.

 📌යහපත් ආහාර පුරුදු, ව්යායාම හා යහපැවතුම්.

a) කැල්සියම්

 🔸ඔස්ටියෝපොරෝසිස් රෝගීන් දිනකට කැල්සියම් මිලිග්රෑම් 1000 සිට 1200 දක්වා පරිභෝජනය කිරීම අත්යවශ්ය වේ.

 🔸කිරි නිෂ්පාදන, හාල්මැස්සන් වැනි කුඩා මාලු සහ කොළ පැහැති එළවළු වැනි කැල්සියම් වැඩිපුර අඩංගු ආහාර පරිභෝජනය මඟින් මෙම දෛනික කැල්සියම් අවශ්යතාව සපුරා ගත හැකි ය.

 🔸ඔබගේ ආහාරයේ ප්රමාණවත් තරම් කැල්සියම් නැති බවට වෛද්යවරයා තීරණය කරන්නේ නම් ඒ සඳහා දිනකට වරක් හෝ දෙවරක් කැල්සියම් පෙති නිර්දේශ කරනු ඇත.

 b) විටමින් D

 🔸ඔබගේ වෛද්යවරයා විසින් විටමින් D ඖෂධය 600-1000 IU අතර මාත්රාවකින් දිනකට එක් වරක් ගැනීමට නිර්දේශ කරනු ඇත.

 c) බර දැරීමේ සහ සිරුර සමබර කිරීමේ ව්යායාම

 d) දුම් පානය නොකිරීම

 e) මත්පැන් පානය සීමා කිරීම

 📌ඖෂධ ප්රතිකාර

 ඔබට විශේෂ ඖෂධ ප්රතිකාර අවශ්ය ද නැද්ද යන තීරණය ඔබගේ DXA ස්කෑන් ප්රතිඵල සහ අස්ථි බිඳීමේ අවදානම මත රඳා පවතී. ඔස්ටියෝපොරෝසිස් සඳහා ප්රතිකාර කිරීම සඳහා බිස්පොස්ෆොනේට් (Bisphosphonates) නම් ඖෂධ කාණ්ඩයක් බහුලව භාවිතා වේ. එමඟින් අස්ථි ඝනකම අඩුවීම මන්දගාමී වන අතර අස්ථි බිඳීමේ අවදානම අඩු කරයි. බිස්පොස්ෆොනේට් ඖෂධය සතිපතා හෝ මාසිකව පෙත්තක් ලෙස මුඛයෙන් ගැනීම හෝ වාර්ෂිකව සේලයින් සමග නහර හරහා එන්නත් කිරීමේ හැකියාව ඇත.

 

ඔබට බිස්පොස්ෆොනේට් පෙති නිර්දේශ කර ඇත්නම් වසර 5 ක් අඛණ්ඩව සහ වාර්ෂික බිස්පොස්ෆොනේට් එන්නත් නිර්දේශ කර ඇත්නම් වසර 3 ක් අඛණ්ඩව ප්රතිකාර ගැනීමට බොහෝ විට සිදු වනු ඇත. ඔස්ටියෝපොරෝසිස් ප්රතිකාර සඳහා වෙනත් ඖෂධ ද තිබේ. ඔබේ වෛද්‍යවරයා ඔබේ රෝග ඉතිහාසය අනුව මෙම විකල්ප ප්‍රතිකාර ඔබ සමඟ සාකච්ඡා කරනු ඇත.

 🔺බිස්පොස්ෆොනේට් (Bisphosphonate) ප්‍රතිකාරයේ අතුරු ආබාධ මොනවාද?

 බිස්පොස්ෆොනේට් ඖෂධය සාමාන්‍යයෙන් සැලකිය යුතු අතුරු ආබාධ ඇති නොකරන නමුත් වකුගඩු රෝගයෙන් පෙළෙන පුද්ගලයින් විසින් භාවිතා නොකළ යුතුය. බිස්පොස්ෆොනේට් පෙති බීමේදී ඔක්කාරය, ගැස්ට්‍රයිටීස් හා අජීර්ණ තත්වයන් ඇති විය හැක.

බිස්පොස්ෆොනේට් එන්නත ලෙස ගැනීමේදී එන්නතකරණයෙන් පසු ඇඟට උණ ගතියක් සහ මාංශ පේශි කැක්කුම් ඇති විය හැකිය. මේවා භයානක නොවන අතර සාමාන්‍යයෙන් දින කිහිපයකින් විසඳේ. හොඳින් ජලය පානය සහ අවශ්‍ය පරිදි පැරසිටමෝල් ගැනීම මඟින් මෙම රෝග ලක්ෂණ සුවවේ.

බිස්පොස්ෆොනේට් දීර්ඝකාලීන භාවිතය සමහර විරල අසාමාන්‍ය අස්ථි බිඳීම් සහ හකු අස්ථියේ (ඔස්ටියෝනෙක්‍රොසිස්) යන ගැටළු ඇතිවීමේ අවස්ථාවන් සුලු වශයෙන් වැඩි කරයි. නමුත් බිස්පොස්ෆොනේට් ප්‍රතිකාරය ඉහත නිර්දේශිත කාල සීමාවට සීමා වේ නම් මෙම අහිතකර බලපෑම් ඇති වන්නේ ඉතා කලාතුරකිනි. එබැවින්, ඔබට හකු හෝ කලවා වේදනාව ඇති වුවහොත්, ඔබේ වෛද්‍යවරයාට දැනුම් දිය යුතුය.

මෙහි දී අවධාරණය කලයුතු කාරණය වන්නේ ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් පෙළෙන බොහෝ පුද්ගලයින් තුළ, ඖෂධ ගැනීමෙන් ඇති විය හැකි ප්‍රතිලාභ, ඉහත කී අවදානම් වලට වඩා බොහෝ වැඩි බැවින් ප්‍රතිකාර මනා ලෙස ගැනීමට බිය නොවිය යුතු බව ය.

🔺ප්‍රතිකාර ආරම්භයෙන් පසු?

ඔස්ටියෝපොරෝසිස් ඇති පුද්ගලයින් ඔවුන්ගේ ආහාර, ශාරීරික ක්‍රියාකාරකම් සහ ඖෂධ ප්‍රතිකාර වර්ග සහ ප්‍රතිකාර කරන කාලසීමාව සමාලෝචනය කිරීම සඳහා ඔවුන්ගේ වෛද්‍යවරයා සමඟ නිරන්තර සායන හමුවීම් කළ යුතු ය. එමෙන්ම, ඔස්ටියෝපොරෝසිස් හා සම්බන්ධ අස්ථි බිඳීම් සඳහා ප්‍රධාන අවදානම් සාධකයක් වන ඔබේ ඇද වැටීමේ/ ලිස්සා වැටීමේ අවදානම අඩු කරන්නේ කෙසේදැයි ඔබේ වෛද්‍යවරයා මෙහිදී සාකච්ඡා කරනු ඇත. තවද, නැවත ඩෙක්සා පරීක්ෂණයක් කල යුතු අවශ්‍යතාවය සහ කාලය ගැන ද සායනයේදී සාකච්ඡා වනු ඇත.

 ✍️සටහන:

Dr. Nishan Arachchige

Senior Registrar in Endocrinology

National Hospital Kandy

 

blog_image
blog_image