blogImage

අලුත උපන් බිළිඳා නිතරම කිරි වමනය දාන්නේ ඇයි

📌 අලුත උපන් බිළිඳා නිතරම කිරි වමනය දාන්නේ ඇයි ? 🤔

 

අලුත ඉපදුන චූටි පැටියෙක් ඉන්න අම්මලාට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි දරුවා නිතරම  කිරි වමනය කිරීම. බොහෝ විට පලමු දරු උපත සිදු කරන ලද අම්මලා මේ පිළිබඳව කලබල වන ස්වභාවයක් දක්නට ලැබෙනවා. ඉතිං මේ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගන්න මේ ලිපිය ඔබට වැදගත් වෙයි කියලා හිතනවා 😊

 

📌 ඇයි මේ විදියට කිරි වමනය සිද්ධ වෙන්නෙ ? 🤔 

 

සාමාන්‍යයෙන් මේ විදියට මව්කිරි ලබාදීමෙන් පසුව මව්කිරි නැවත ප්‍රතිවහනය වීම ( Reflex ) දරුවාගේ මුඛයෙන් හෝ නාසය තුලින් සිදු වෙනවා නම් එය 50% ක් පමණම දරුවන්ට සාමාන්‍ය තත්වයක්. මාස 18 පමණ වන විට මෙය ක්‍රමයෙන් නැතිවී යයි 😊

 

මෙසේ සාමාන්‍ය ලෙස දරුවාට කිරි වමනය වන්නේ බිළිඳු අවධියේදී දරුවාගේ මුඛයේ සිට ආමාශය වෙත ආහාර පාන රැගෙන යන අන්නසෝත්‍රය ( සාමාන්‍ය ව්‍යවහාරයේදී ගලනාලය ලෙස හඳුනවන oseophagus ) නිසි ලෙස වර්ධනය නොවී තිබීම නිසා විය හැකියි. 🙂

 

දරුවාගේ කිරි ප්‍රතිවහනය වීම සාමාන්‍ය තත්වයක් වුවත් එම තත්වය හා වමනය අතර වෙනස හඳුනා ගැනීම ඉතාම වැදගත්. 

 

ආහාර ගැනීමෙන් පසු විශාල ප්‍රමාණයකින් දරුවා වමනය කරන්නේ නම් එය ප්‍රතිකාර ලබා ගත යුතු තත්වයක්. 😟

 

මෙවැනි තත්ව සඳහා බලපාන රෝගී තත්ව පිළිබඳව විමසා බලමු. 😊

 

01. ආමාශ ආන්ත්‍රික රෝග

 

පුංචි දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සංවර්ධන වෙමින් පවතින අවධියක ඇති නිසා දරුවන්ට වෛරස් හා බැක්ටීරියා වලට ඔරොත්තු දීමේ හැකියාව අඩුයි. මේ නිසා ආමාශයේ ආන්ත්‍රයේ ඇතිවන එවැනි ආසාදන නිසා විටින් විට වමනය ඇතිවෙන්න හැකියාවක් තිබෙනවා. 😟 බොහෝ අවස්ථා වලදී මේ තත්වය දින දෙකක් තුනක් තුළදී ඉබේම සුව වුනත් වමනය, උන, උදරයේ වේදනාව සහිතව වමනය තියේනම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා යොමු වීම වැදගත් 🙂 

 

02. ආහාර ආසාද්මිකතා හා ආහාර විෂවීම. 

 

කලින් සඳහන් කළ ආකාරයටම දරුවන්ගේ ආහාර පාන හරහා විෂබීජ ශරීර ගත වීම පිළිබඳව අවධානය යොමු කළ යුතු වෙනවා 🙁 

 

මව්කිරි ලබාදෙන විට තන පුඩුව හොඳින් සෝදා ගැනීම අවශ්‍ය වෙනවා. මවගේ පිරිසිදුකම, සනීපාරක්ෂාව අලුත ඉපදුන බිළිඳාගේ සෞඛ්‍යය තත්වය හොඳින් තබා ගැනීමට වැදගත් වෙනවා. 😊

 

දරුවාට Formul milk / පිටිකිරි ලබාදෙනවා නම් ඒවා පිළියෙල කරන භාජන හා පොවන බෝතල් නිසි ලෙසින් විෂබීජහරනය කිරීම වැදගත්. 😊

 

මව්කිරි දොවා පසුව ලබාදෙන අවස්ථාවලදීත් බෝතල් ආදිය හොඳින් සෝදා විෂබීජහරනය කිරීම වැදගත්. 

 

මාස 6 ඉක්මවූ පසුව හෝ ඊට ප්‍රථම අර්ධ ඝන ආහාර ලබාදීම ආරම්භ කරන විටදී එම ආහාර වල ගුණාත්මක භාවය, සෞඛ්‍ය සම්පන්න බව ගැන හොඳින් සැලකිලිමත් වෙන්න 🙂 

 

යම් හෙයකින් ආහාර පාන හරහා දරුවා බැක්ටීරියා ආසාදනයට පත් වූ විටදී උන, උදරයේ වේදනාව, පාචනය සති කිහිපයක් දක්වා වුවද පැවතිය හැකිය. 🙁

 

📌 ආහාර ආසාද්මිකතා ඇතිවීම 

 

සමහර දරුවන් ඇතැම් ආහාර පාන වල අඩංගු ද්‍රව්‍ය වලට ආසාද්මිකතාවයක් ( Allergy ) දක්වන්නට පුළුවන් 🙁

 

          • එළකිරි වල අඩංගු ප්‍රෝටීන් වලට 

          • බිත්තර වල අඩංගු ද්‍රව්‍ය වලට

          • සමහර ඇට වර්ග වලට

          • තිරිඟු වැනි ආහාර වලට

          • ඇතැම් විට ඖෂධ වලට 

 

මෙවැනි දෙයක් ලබාදී පැය හෝ මිනිත්තු කිහිපයකින් පසු 

 

                 වමනය යාම

                 ඇස්, කට වටා කැසීම

                 පළු මතුවීම

                 ඉදිමීම 

වැනි රෝග ලක්ෂණ ඇති අවස්ථාවකදී වහාම වෛද්‍යවරයෙක් වෙත යොමු වන්න. 🥺

 

03. ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත වෙනත් තත්ව 

 

මාස දෙකකට අඩු බිළිඳකු නිතරම වමනය කිරීම ආමාශයේ ඇතිවෙන pyloric storosis රෝගී තත්වය නිසා විය හැකියි. දරුවාගේ බඩවැල් වල අවහිරතාවයක් ඇතිවීට කොළ හෝ කොළ පැහැති කහ පැහැයෙන් වමනය විය හැකියි. 🙁

 

📌 වමනය නිසා දරුවාට ඇතිවිය හැකි බලපෑම කුමක්ද? 🤔 

 

වමනය තත්වය ඇතිවූවත් සාමාන්‍යයෙන් එය සුව අතට හැරෙනවා. නමුත් දිගින් දිගටම වමනය යාම නිසා විජලනය ඇතිවීමේ අවධානමක් තියෙනවා 🙁

 

වැඩිහිටියන්ට වඩා ඉක්මනින් දරුවන් විජලන තත්වයට පත්වෙනවා. එම නිසා දරුවා නිතර නිතර වමනය කරනවා නම් පැය කිහිපයකට වඩා වැඩි කාලයක් ආහාර පාන ප්‍රතික්ෂේප කරනවා නම් කිසිඳු දි‍යර පානයක් ලබාදීමට නොහැකි නම් දරුවා විජලනයට පත්වීමේ දැඩි ඉඩකඩක් පවතිනවා ☹️ 

 

දරුවා විජලනය වූ බවට පෙන්වන ලක්ෂණ 

 

• දරුවා මලානික ස්වරූපයේ පසුවීම 

• මුඛයේ තොල් වියළී යාම

• අසාමාන්‍ය නිදිමත

• මුත්‍රා පිටවීම අඩු වීම

• දරුවා හැඬුවත් කඳුළු පිට නොවීම

• වේගයෙන් හුස්ම ගැනීම

• හිසේ ගිලුණු මෘදු පැල්ලමක් ( fontanelle ) ඇතිවීම 

 

📌 වමනය සඳහා ප්‍රතිකාර ලබා ගැනීම 

 

වමනය සාමාන්‍ය තත්වයක් වූවත් සෑම අවස්ථාවකදීම එය සාමාන්‍ය යැයි සිතා නොසලකා සිටීම එතරම් නුවනට හුරු නැහැ. 🙂

 

දරුවා නිතටම වමනය කරනවා නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න. 

 

එහිදී වෛද්‍යවරයා දරුවාගේ වමනයට හේතුව නිශ්චිතවම හඳුනා ගෙන එයට අදාළ ප්‍රතිකාර ලබාදීම සිදු කරනවා. 😊 

 

📌 විජලනයට ලක්වී ඇති විට, 

 

මව්කිරි බොන දරුවෙක් නම් මව්කිරි ලබාදීම වැදගත්

 

දරුවාට හැකි තරම් දියර වර්ග ලබාදෙන්න.

 

ජීවනී වැනි ප්‍රතිවිජලන දියර ලබාදීමෙන් දරුවා විජලන තත්වයෙන් ආරක්ෂා කර ගැනීමට පුළුවන්. 😊

 

දරුවා මාස 6 ට වැඩි නම් ඝන ආහාර ලබාගන්න අවස්ථාවේ පසු වේ නම් කැමැත්තක් නොදක්වන ආහාර සඳහා පෙරැත්ත කරන්න එපා. 🙂

 

උන හා උදරයේ වේදනාවට නියමිත මාත්‍රාවට පැරසිටමෝල් ලබාදෙන්න 

 

සමහර විටකදී දරුවාට සජලනය කිරීම පිණිස අභ්‍යන්තර ලෙසින් තරල වර්ග ලබාදීමට සිදුවෙයි. 🥺

 

📌 ශල්‍යකර්ම සඳහා යොමු වීම

 

ආමාශය හා ආන්ත්‍රය ආශ්‍රිත අවහිරතාවයන් නිසා නිතර නිතර වමනය යෑමේ අවස්ථා වලදී මෙවැනි අවහිරතා ශල්‍යකර්මයක් මගින් යථා තත්වයට පත් කිරීමට හැකියාව පවතී 😊

 

ඉතිං ඔබට අවබෝධ වෙනවා ඇති කිරි වමනය යාම බොහෝවිට සාමාන්‍ය තත්වයක් වුවත් වෙනත් රෝග තත්ව නිසා නිතර වමනය යාම සිදුවෙනවා නම් දෙමාපියන් වන ඔබ එය නිවැරදිව හඳුනාගෙන වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් 😊

 

Dr. Kavinda Dayasiri 

( MBBS, MD, M phil MSC, FRCPCG ) 

Consultant Pediatrician 

North Colombo Technology Hospital, 

Ragama

blog_image
blog_image