blogImage

Lymphoma ( ලිම්ෆෝමා ) කියන්නේ මොකක්ද?

පිළිකාවක් කියන වචනය ඇහුවත් බය හිතෙනවා නේද? 🙂 

 

එහෙම වෙන්න හේතුව තමයි පිළිකාව යනු සුව කළ නොහැකි රෝගී තත්වයක් කියලා ගොඩක් අය හිතනවා. 

 

නමුත් ඒ මතය 100% නිවැරදි නැහැ. සමහර පිළිකා තියෙනවා නියමිත ප්‍රතිකාර හරි ආකාරව සිදු කර ගැනීම මගින් පිළිකාව සුව කරන්න පුළුවන්. 🥺 

 

අද ලෝක ලිම්ෆෝමා පිළිකා දැනුවත් කිරීමේ දිනය. 

 

ඒ නිමිත්තෙන් ලිම්ෆෝමා ( lymphoma) පිළිකා රෝගී තත්වය පිළිබඳව සරල පැහැදිලි කිරීමක් මේ ලිපියෙන් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. 😊 

 

📌 Lymphoma ( ලිම්ෆෝමා ) කියන්නේ මොකක්ද? 🤔 

 

අපි හැමෝම දන්නවා අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණයට, ඒ කියන්නේ බාහිරින් අපේ ශරීරයට ඇතුළු වන විෂබීජ, වෛරස් වගේ දේවල් වලින් අපේ ශරීරය ආරක්ෂා කර ගැනීමට අපිට තියෙන ආරක්ෂක බලඇණිය තමයි අපේ වසා පද්ධතිය. 🙂 

 

මේ වසා පද්ධතිය, වසා ගැටිති, වසා නාළ, වසා සෛල වලින් සමන්විත වෙනවා. 

 

අපි බොහෝ දෙනෙක් " කුද්දැටි " කියලා හඳුන්වන්නේ මේ වසා ගැටිති ඉදිමීම තමයි. 😕 

 

ඉතිං මේ වසා සෛල ආශ්‍රිතව ඇතිවන පිළිකා රෝගී තත්වයට තමයි අපි පොදුවේ ලිම්ෆෝමා කියලා හඳුන්වන්නේ. 😊 

 

📌 මේ ලිම්ෆෝම් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. 

 

01. Hodgkin lymphoma - හොජ්කින් ලිම්ෆෝමා

 

02. Non-hodgkin lymphoma - හොජ්කින් නොවන ලිම්ෆෝමා 

 

මේ දෙක පිළිබඳව අපි වෙන් වෙන්ව සරලව දැන ගනිමු. 🙃  

 

01. Hodgkin Lymphoma - හොජ්කින් ලිම්ෆෝමා 

 

මුලින්ම කිව්වනේ සමහර පිළිකා සුව කරන්න පුළුවන් කියලා. සුභ ආරංචිය තමයි, මේ හොජ්කින් ලිම්ෆෝමා අපිට නියමිත ප්‍රතිකාර මගින් 80% - 90% සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන්. 😊 

 

මේ පිළිකා වර්ගයේ විවිධ ප්‍රභේද තියෙනවා. ඒවා සවිස්තරාත්මකව ගැඹුරින් කථා කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. 🙂 

 

📌 මේ පිළිකාව ඇතිවෙන්නේ ඇයි? 🤔 

 

හැම  පිළිකාවටම පොදු කරුණක් වගේ මේ පිළිකාවටත් ඇතිවෙන්නේ ඇයි කියල විශේෂ හේතුවක් නෑ. නමුත් දැනට පරීක්ෂණ කරලා හොයාගත්ත හේතු කිහිපයක් තියෙනවා. 🙂 

 

1. ආසාදජනක ප්‍රභේද 

 

EBV කියන වෛරස් මේ සඳහා යම් බලපෑමක් ඇති කරන බවට තහවුරු වෙලා තියෙනවා. 😕 

 

සාමාන්‍යයෙන් මේ වෛරසය ආසාදනය වූ 1000 කට එක් අයෙකුට වගේ මේ Lymphoma තත්වය ඇතිවීමේ අවදානමක් තිබෙනවා කියලා හොයාගෙන තියෙනවා. 🙁 

 

HIV ආසාදනය වූ රෝගීන් අතර තරමක් වැඩි වශයෙන් මේ තත්වය ඇති බවට ඔප්පු කරනවා. 🙁 

 

2. ජාන සම්බන්ධතාවය 

 

මේ ලිම්ෆෝමා ප්‍රභේද අතරින් එක් ප්‍රභේදයකට විශේෂිත වූ ජානමය හේතුකාරකයක් තියෙනවා. පවුලේ අයෙකුට මේ තත්වය ඇත්නම් සහෝදර සහෝදරියන්ට එය ඇතිවීමේ 3 - 7 ගුණයක ඉඩක් පවතිනවා. 😟 

 

📌 මොනාද රෝග ලක්ෂණ 🤔

 

රෝග ලක්ෂණ නොමැතිව කුද්දැටි / වසා ගැටිති ඉදිමීම. 

විශේෂයෙන් ඉනෙන් ඉහළ ශරීර කොටසේ කිහිලි වල, බෙල්ලේ, වැලමිට අසල ආදී ස්ථානවල කිසිඳු රෝග ලක්ෂණයක් නොතිබියදී කුද්දැටි / වසා ගැටිති ඉදිමීම. 🙁

 

10 % වගේ රෝගීන් ප්‍රමාණයකට මේ කුද්දැටි ආශ්‍රිත ප්‍රදේශවල වේදනාවක් ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට මත්පැන් පානයෙන් පසු වේදනාව මතුවෙනවා. 😕 

 

හේතුවක් නොමැතිව බර අඩුවීම.

මාස 6ක් ඇතුළත මුළු බරින් 10 % අඩු වීම. 

 

විටින් විට මතුවන උණ. 😟

සති 1 - 2 පමණ තද උණ ගතියක් පවතින අතර ඊළඟ සති 1 - 2 උණ තත්වයක් නොමැති ලෙසට විටින් විට උණ ඇති වීම. 

 

රාත්‍රී කාලයේදී තදින් දහඩිය දැමීම. 🙁 

 

පපුවේ වේදනා, කැස්ස, හුස්ම ගැනීම අපහසුව, කලාතුරකින් කැස්ස සමග ලේ පිටවීම. 😟 

 

මේ රෝග ලක්ෂණ අනෙක් බොහෝ රෝග තත්ව වලට පොදු නිසා අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා. 🙂 

 

📌 රෝගය සඳහා ප්‍රතිකාර 

 

ප්‍රතිකාරය රෝගී ප්‍රභේදය, රෝගී අවස්ථාවේ ස්වභාවය හා අනෙක් සාධක මත පදනම් වෙනවා. 

 

මුලින් මේ පිළිකා තත්වය හඳුනා ගත් තරමට ප්‍රතිකාර මගින් සුව කිරීමේ හැකියාව වැඩි වෙනවා. 😊 

 

මෙහිදී, 

 

Radiation Therapy - විකිරණ ප්‍රතිකාරය 

Chemotherapy - ඖෂධ ප්‍රතිකාරය 

 

භාවිතා කරනවා. 😊 මේවගේ ප්‍රතිකාර ක්‍රම ගැඹුරින් කතා කිරීම මෙහිදී සිදු කරන්නේ නැහැ. 

 

නමුත් ඇතැම් වෙලාවට මේ ප්‍රතිකාර නිසා සංකූලතා මතුවෙන්න පුළුවන්. 🙁 

 

02. Non-Hodgkin Lymphoma - හොජ්කින් නොවන ලිම්ෆෝමා 

 

නමින්ම තේරෙනවා ඇති ඔබට හොජ්කින් ලිම්ෆෝමා ගණයට සැලකිය නොහැකි අනෙක් ලිම්ෆෝමා ප්‍රභේද මේ ගණයට ඇතුළත් වන බව. 😊 

 

මේ සඳහා බලපාන හේතු, 

 

1. වර්ණදේහ වල ඇතිවන විෂමතා 

2. ආසාදන තත්ව 

3. ප්‍රතිශක්තිකරණ ඌනතා තත්වයන් 

4. පාරිසරික සාධක වල බලපෑම 

5. දිගුකාලීන ප්‍රදාහයික තත්ව ( Chronic Inflammation ) 

 

📌 රෝග ලක්ෂණ 

 

1. වේදනාවක් රහිතව සෙමෙන් විශාල වන වසා ගැටිති මතුවීම. 

ප්‍රධාන වශයෙන් මේවා ස්වභාවිකවම ඇතැම් වෙලාවට කුඩා වී නැති වී යාම නිසා මේ කුද්දැටි ආසාදනයක් නිසා හටගත් ඒවා බවට වැරදි මතයකට එළඹෙන්න පුළුවන්. එම නිසා ඔබේ ශරීරයේ විටින් විට කුද්දැටි මතු වේ නම් සැලකිලිමත් වන්න. 🙁 

 

2. අක්මාව / ප්ලීහාව ඉදිමීම. 

 

3. උදරයේ විශාල ගෙඩියක් තිබීම. 

 

4. නිතර මහන්සි ගතිය, විඩාව දැනීම. 

 

📌 සංකූලතා 🙂

 

• රක්තහීනතාවය 

• රුධිර පට්ටිකා හීන වීමෙන් රුධිර ගැලීම. 

• නිතර ආසාදන ඇති වීම. 

• හෘදයේ රිද්මය ආශ්‍රිත ගැටළු මතුවීම. 

• පෙනහළු ආශ්‍රිත ශ්වසන ආබාධ මතුවීම. 

• ස්නායු ආබාධ මතුවීම. 

 

📌 ප්‍රතිකාර 🙃

 

ප්‍රධාන විකිරණ හා ඖෂධ ප්‍රතිකාර වලට අමතරව ඇතැම් අවස්ථා වලදී ශල්‍යකර්ම සඳහා භාජනය වීමේ ඉඩක් පවතිනවා. 🙁

 

නියමිත ප්‍රතිකාර රෝගයේ මුල් අවස්ථාවේ ලබාදීමෙන් ඉතා හොඳින් රෝගය මැඩ පවත්වා ගැනීමේ හැකියාවක් පවතිනවා. 😊 

 

විශේෂයෙන් මේ දේ ගැන සැලකිලිමත් වෙන්න. 

 

මේ ලිපිය ලිවීමේ ප්‍රධාන අරමුණ තමයි, රෝග ගැන දැනුවත් කිරීමට වඩා රෝගීන් මං මුලා වීම වළක්වා ගැනීම. 🙂 

 

වසර දෙකකට ආසන්න කාලයක් පිළිකා රෝග සම්බන්ධ ඒකකයක රාජකාරී කරන මා හට ලැබීමට ඇති අවාසනාවන්තම අත්දැකීමක් තමයි මේ වගේ සාර්ථකව සුව කළ හැකි පිළිකා සඳහා ප්‍රතිකාර කිරීම අතරමග නතර කර දමා වෙනත් ප්‍රතිකාර ක්‍රම වලට යොමු වෙලා තත්වය දරුණු වුනාට පස්සේ නැවත රෝහලට පැමිණීම. 🙁 

 

සමහර පිළිකා වර්ග සුව කිරීමට අපහසු බව ඔබත් මාත් දන්නා කරුණක්. 

 

නමුත්, ලේ පිළිකා කියල සාමාන්‍ය ජනතාව හඳුන්වන මේ ලිම්ෆෝමා පිළිකා අපට ප්‍රතිකාර මගින් සුව කර ගැනීමට විශාල අවස්ථාවක් තිබෙන නිසා සමහර වංචනික, නාමික වෙද්දුන්ට රැවටිලා අසරණ නොවී ඔබේ වෛද්‍යවරයාගේ මග පෙන්වීම යටතේ නිසි ප්‍රතිකාර අරං ඉක්මනට සුව වෙන්න

blog_image
blog_image