blogImage

මූත්‍රා ආසාදනයක් හඳුනා ගන්නේ කෙසේද?

මූත්‍රා පද්ධතිය ආශ්‍රිතව බැක්ටීරියාවක් ඇතුලු වීම මූත්‍රා ආසාදනයක් urinary tract infection ( UTI ) විදියට හැඳින්වෙනවා. ඊ කෝලායි ( Escherichia coli ) බැක්ටීරියාව මූත්‍රා ආසාදන ඇතිවීමට හේතුකාරකයක් ලෙස සැලකෙනවා 😶

 

මූත්‍රා මාර්ගයේ ආශ්‍රිතව පහළ කොටසේ ඇති වෙන ආසාදන " සිස්ටයිටිස් " ( Cystitis ) යනුවෙනුත්, මූත්‍රා මාර්ගයේ ඉහළ කොටසේ එනම් වකුගඩුව ආශ්‍රිතව ඇති වෙන ආසාදන තත්වය " පයලෝනෙෆ්‍රයිට්ස් " ( Pyelonephritis ) හැඳින්වෙනවා. මෙය ටිකක් භයානක තත්වයක් 🙁 මූත්‍රා ආසාදනයක් ඇති වුනොත් බොහෝ දෙනා ඒ ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. නමුත් ඇතැම් අවස්ථාවලදී මූත්‍රා පිළිබඳ ආසාදන නිසා පුද්ගලයෙකුගේ ජීවිතයට පවා අවදානමක් ඇතිවෙන්න පුළුවනි. 😟

 

අපේ සිරුරේ බැක්ටීරියා පැතිරීම නිසා ඇති වෙන ලේ විෂ වීම " සෙප්ටසිමියා " ( Septicemia ) රෝගී තත්වය නිසා 80% ක් පමණ රෝගීන් මරණයට පත්වෙනවා. 🥺 එවැනි රෝගීන්ගෙන් 60% ක් පමණ දෙනා මේ රෝග තත්වයට පත්වන්නේ මූත්‍රා පද්ධතිය ආශ්‍රිත ආසාදන නිසා ඇති වෙන ආසාදනයන් නිසා මෙහිදී සඳහන් කිරීම වැදගත් 🙂

 

📌 මූත්‍රා ආසාදන ඇති වීමට හේතු 

 

• ප්‍රමාණවත් පරිදි වතුර පානය නොකිරීම. 

 

• මූත්‍රා බර දරා ගෙන සිටීම. 

 

• මූත්‍රා සම්පූර්ණයෙන් පිට නොවී ඉතිරි වීම. 

 

• මූත්‍රා පද්ධතියේ වෙනස්කම් ඇති උපත් ආබාධ නිසාවෙන් මූත්‍රා පද්ධතියේ අවහිරතා ඇති වුන පුද්ගලයින් ඉන්නවා. 

 

• සමහර විට මූත්‍රා ගල් අවහිරතාවය නිසා මූත්‍රා ආසාදන ඇති වෙන්න පුළුවනි. 

 

• ප්‍රතිශක්තිකරණය දුර්වල පුද්ගලයන්ටත් මූත්‍රා ආසාදන ඇති වීමට තිබෙන හැකියාව වැඩියි. ඔවුන්ට දිලීර ආසාදන තත්වයන් පවා ඇති විය හැකියි. 

 

• වකුගඩු ආශ්‍රිත ‍රෝග තත්වයන්, දියවැඩියාව වැනි රෝගීන් අතර මූත්‍රා ආසාදන බහුලව දකින්න පුළුවනි. 

 

• ඒ වගේම කාන්තාවන්ගේ නම් ගර්භාෂය පහත් වීම, පිරිමින්ගේ නම් පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත රෝග තත්වයන් නිසා මෙවැනි රෝග ලක්ෂණ ඇති විය හැකියි. 

 

• දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලබන රෝගීන්ටත් මූත්‍රා ආශ්‍රිත දිලීර ආසාදන ඇති වීම වැඩියි. 

 

• මූත්‍රා මාර්ගයේ පිළිකා තත්වයන් නිසා සමහර විට මූත්‍රා ආසාදන තත්වයක් ලෙස මතුවිය හැක. 

 

📌 මූත්‍රා ආසාදනයක් හඳුනා ගන්නේ කෙසේද? 🤔

 

• මූත්‍රා පිටකිරීමේදී හෝ මූත්‍රා පිටකිරීමෙන් පසුව ඇතිවෙන දැවිල්ල. 

 

• නිතර නිතර මූත්‍රා කිරීමේ අවශ්‍යතාවය. 

 

• මූත්‍රා බර පාලනය කර ගත නොහැකිව ඉක්මනින්ම මූත්‍රා පිටවීම. 

 

• මූත්‍රාශය හිස් වුන විට ඇති වෙන යටි බඩ ප්‍රදේශයේ වේදනාව.

 

• වෙව්ලා උන ගැනීම. 

 

• මූත්‍රා සමග රුධිරය පිටවීම. 

 

📌 මේ රෝග ලක්ෂණ මූත්‍රා ආසාදන නිසාම ඇති නොවෙන්නත් පුළුවනි. 

 

මූත්‍රා පද්ධතිය ආශ්‍රිතව අපට දැනුම් දෙන මේ අපහසුතාවයන් සමහර විට වෙනත් රෝග තත්වයක් නිසාත් වෙන්න පුළුවනි. 🙁උදාහරණයක් විදියට මූත්‍රා සමග රුධිරය පිට වෙනවා නම් එය වකුගඩු ගල් ආශ්‍රිත ‍රෝග තත්වයක් වෙන්නත් පුළුවනි. සමහර විට මූත්‍රා පද්ධතිය ආශ්‍රිත පිළිකා තත්වයක් වෙන්න පුළුවනි. 😟 නිතර නිතර මූත්‍රා ආසාදන ඇති වුනොත් ඒ ගන සැලකිල්ලක් නොදැක්වීම නිසා මූත්‍රා පද්ධතිය ආශ්‍රිත ගල් ඇති වෙන්න ඉඩ තියෙනවා. ප්‍රෝටියස් ( Proteus ) බැක්ටීරියාව නිසා මූත්‍රා වල තිබෙන යූරියා සංඝටකය විභේදනය වෙනවා. එහි තිබෙන විවිධ අයන එකතු වීම නිසා ගල් ඇතිවීමේ වැඩි ඉඩක් තිබෙනවා. මෙවැනි ගල් ප්‍රමාණයෙන් විශාල නිසා කාලයත් සමග වකුගඩු පවා හානියට පත් වීමට ඉඩ තියෙනවා. 😟

 

📌 මූත්‍රා ආසාදන රෝග තත්වයක් ගැන හඳුනා හැනීම. 

 

• UFR එහෙම නැතිනම් Urine Full Report 

 

අපි මුලින්ම ‍රෝගියාගේ සම්පූර්ණ මූත්‍රා පරීක්ෂණ වාර්තාවක් ලබා ගන්නවා. ඒ ගැන බොහෝ දෙනෙක් දන්නවා. 😊 UFR එහෙම නැතිනම් Urine Full Report මගින් අප දළ වශයෙන් රෝගියාගේ මූත්‍රා වල පැහැය, මූත්‍රා සමග ඇති රතු සෛල සහ සැරව සෛල වැනි දේවල් ගැන පරීක්ෂා කරනවා. මෙය සරල පරීක්ෂාවක්. ආසාදනයක් තිබෙනවා නම් මූත්‍රා පැහැදිලි නැහැ. පැහැය වෙනස් වෙන්න පුළුවනි. දරුණු ආසාදනයකදී සැරව සෛල ( Pus Cells ) මට්ටම ඉහළින් තිබෙනවා. 🙁

 

ඒ වගේම FBC ( Full Blood Count ) හෝ CRP ( C- reactive Protein ) රුධිර පරීක්ෂණය සිදු කරනවා. 

 

මූත්‍රා වල වර්ණය සහ ගන්ධය සමහර ආහාර සහ ඖෂධ නිසා වෙනස් වෙන්න පුළුවනි. උදාහරණයක් විදියට බීට් රූට්, හාතවාරිය,  සුදුලූණු වැනි ආහාර ගැනීමෙන් පසුව මූත්‍රා වල පැහය සහ ගන්ධය වෙනස් වීමට පුළුවනි. එය බිය විය යුතු කරුණක් නොවෙයි. වෛද්‍යවරයාට ආසාදනය ඇති තත්වය සහ ආහාරයක් නිසා ඇතිවෙන පසු තත්වය පහසුවෙන් හඳුනා ගැනීමට පුළුවනි. ☺️ ඒ නිසා ඔබට වෛද්‍යවරයා විසින් UFR වාර්තාවක් ලබා ගැනීමට උපදෙස් දුන්නොත් අද මම බීට් කෑව නිසා වාර්තාව වැරදෙයි කියමින් කල් තබන්න අවශ්‍ය නැහැ. ☺️

 

ඒ වගේම උදේ පාන්දර ලබා ගන්නා මූත්‍රා සාම්පලය තද වර්ණයෙන් සහ ගන්ධයකින් යුක්ත වෙන්න පුළුවනි. ඊට හේතුව අප රාත්‍රියට වතුර පානය කරන්නේ නැති නිසා මූත්‍රා සාන්ද්‍රනය වැඩියි. ඒ නිසා උදේ පාන්දර සාම්පලයේ පැහැය සහ සැර ගන්ධය සාමාන්‍ය තත්වයක්. ☺️ 

 

• Urine Culture 

 

අප රෝගියාට ඖෂධ ලබා දීමට පෙර මූත්‍රා ආශ්‍රිත ආසාදන තත්වයක්දැයි නිශ්චිත ලෙසම හඳුනා ගැනීමට තවත් පරීක්ෂණයක් සිදු කරනවා. ඒ වෙනුවෙන් මූත්‍රා වගා කිරීම එහෙම නැතිනම් Urine Culture වාර්තාවක් ලබා ගන්නවා. රෝගියා මූත්‍රා ආසාදන තත්වයකින් පසු වෙනවාදැයි දැන ගැනීමට Urine Culture වාර්තාව ඉතාම වැදගත්. දින තුනක් හෝ හතරක් අතර ලබා ගත හැකි Urine Culture වාර්තාව ලැබෙන තුරු ඖෂධ ලබා දෙනවා. එයින් පසුව ලබන තහවුරුව සමග රෝගියාට නිසි ප්‍රතිකාර ලබා දෙනවා. ☺️ 

 

📌 නිතර නිතර මූත්‍රා ආසාදන ඇති වෙනවා නම් 

 

සමහර විට රෝගියාට මූත්‍රා ආසාදනයක් ඇති වී එයින් සුවය ලැබුවත් නිතර නිතරම මූත්‍රා ආශ්‍රිතව ‍රෝග තත්වයන් ගැන පැමිණිලි එනවා නම් පරීක්ෂණ තව දුරටත් සිදු කළ යුතු වෙනවා. සමහර විට වකුගඩු ආශ්‍රිත මූත්‍රා ගල් තිබෙන විට මූත්‍රා පල් වීම නිසා බැක්ටීරියා ඇතිවෙන්න පුළුවනි. 🙁 වකුගඩු රෝග හෝ වකුගඩු ගල් ආශ්‍රිත ‍රෝග තත්වයක් යැයි සැක ඇති වුනොත් Xray KUB ( Kidney, Ureter and Bladder )  සහ අල්ට්‍රා සවුන්ඩ් KUB( Ultra Sound KUB ) පරීක්ෂාවක් ලබා ගන්නවා. සමහර විට තැනක මූත්‍රා එකතු වීම හෝ ගලක් තිබිලා මූත්‍රා එකතු බැක්ටීරියාවන්ට වර්ධනය වීමට තැනක් ලැබෙනවා. මෙවැනි තත්වයන් අල්ට්‍රා සවුන්ඩ් සහ එක්ස්රේ පරීක්ෂාවෙන් හඳුනා ගන්න පුළුවනි. ☺️ 

 

ආසාදිත රෝගීන්ගේ මූත්‍රා පද්ධතියේ ගලක් හෝ වෙනත් සංකූලතාවයන් තිබෙන්න පුළුවනි. එවැනි අවස්ථාවකදී Cystoscopy හෝ CTU පරීක්ෂාවක් කිරීම අවශ්‍ය වෙනවා. 😟

 

📌 ආසාදන තත්වයක් නම් ප්‍රතිජීවක ( antibiotic ) අවශ්‍ය වෙනවා.

 

ආසාදනයක් වෙනුවෙන් ලබා දෙන ප්‍රතිජීවක පාවිච්චියේදී රෝගීන් සැලකිලිමත් විය යුතු කරුණු තිබෙනවා. ප්‍රතිජීවක ලබා දෙන උපදෙස් පරිදි පාවිච්චි නොකළ විට, නියමිත මාත්‍රාවකින් තොරව සහ ලබාගත යුතු කාලය නොදැන අවභාවිතා කිරීම නිසා එම ඖෂධ වලට ප්‍රතිරෝධී ( resistance ) බැක්ටීරියා බිහිවීම කඩිනම් වෙනවා. ප්‍රතිජීවක ඖෂධ අඩු මාත්‍රාවකින් ලබා දුන් විට බැක්ටීරියාව එයට හුරු වෙනවා. එහෙම වුනාම අපට ඖෂධ නික්ෂේපන ( injection ) කිරීමට සිදු වෙනවා. ඒ නිසා ඖෂධ පාවිච්චියේදී රෝගීන්ගේ විනය වැදගත්. 🙂

 

📌 පිරිමින්ට සාපේක්ෂව බලන විට කාන්තාවන් අතර මූත්‍රා ආසාදන තත්වයන් වැඩියෙන් දක්නට ලැබෙන බවක් තිබෙනවා ද? 🤔 

 

ඔව්. ඊට හේතුවක් තිබෙනවා. කාන්තා මූත්‍රා මාර්ගය කොටයි. පළලයි. ඒ නිසා මූත්‍රා පද්ධතිය ආශ්‍රිත කොටසේ විෂබීජ ඇතුලු වීමට තිබෙන අවස්ථාව පිරිමින්ට සාපේක්ෂව බැලුවොත් වැඩියි. යෝනි මාර්ගය, මූත්‍රාශය සහ ගුද මාර්ගය වැනි අවයවයන් ඉතා සමීපව පිහිටා තිබෙනවා. අසූචිවල තිබෙන ඊ කෝලායි බැක්ටීරියාවට ඉතා පහසුවෙන් මූත්‍රා මාර්ගය ඔස්සේ ඇතුලු වීමට පුළුවනි. 😟

 

වයසත් සමග කාන්තාවන්ගේ ඇති වෙන ගර්භාෂය පහත් වීමේ රෝග තත්වයේදීත් මූත්‍රා ආසාදන ඇති වීමට වැඩි හැකියාවක් තිබෙනවා. 

 

ලිංගික කටයුතු වල සක්‍රීයව යෙදෙන කාන්තාවන් අතරත් මූත්‍රා ආසාදන ඇති වීමට වැඩි හැකියාවක් තිබෙනවා. යෝනි මාර්ගය වැනි විවර ඔස්සේ බාහිර බැක්ටීරියා ඇතුලු වීමට වැඩි ඉඩකඩක් තිබීම ඊට හේතුවක් ලෙස සඳහන් කරන්න පුළුවනි. 🙁 

 

බටහිර රටවල ගැහැණු දරුවන් වයස අවුරුදු 14 වැනි වයසේ පටන් ලිංගික ක්‍රියාකාරී කටයුතුවල යෙදෙන නිසා ඔවුන් අතර මූත්‍රා ආසාදන වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. 😕 

 

📌 කාන්තාවන්ට වගේම තරුණ දියණිවරුන්ට දැන් මූත්‍රා ආසාදන වැඩියෙන් ඇති වීමටත් හේතුවක් තිබෙන බව ඔබතුමා සඳහන් කළා ... 

 

ඔව්. කාන්තාවන්ට මූත්‍රා කිරීමට අවශ්‍ය වුනොත් ඒ වෙනුවෙන් විශේෂිත ආවරණ තැනක් අවශ්‍යයි. ඒ වගේම පොදු වැසිකිළි වල පවිත්‍රතාවය ගැනත් සෑහීමක් නැහැ. ඒ නිසාම ඔවුන් බාහිර වැසිකිළි පාවිච්චි කිරීමට කැමැත්තක් ඇත්තේම නැහැ. මෙය ප්‍රසිද්ධියේ කතා කරන්නෙත් නැහැ. ආයතනයක වේවා, පාසලක වේවා, පුද්ගලික පංතියක වේවා, මූත්‍රා කිරීමට වැසිකිළි යන්නේ නැහැ. ඒ වෙනුවෙනුත් ඔවුන්ට වැරදි දෙකක් තිබෙනවා. 🙂

 

• මූත්‍රා කිරීමට අවශ්‍ය වෙන නිසා වතුර පානය කරන්නේ නැහැ. 

 

• මූත්‍රා බර දරා ගෙන සිටිනවා. 

 

මේ ක්‍රම දෙකම නිසා කාන්තාවන්ට මූත්‍රා ආසාදන සහ විවිධ ගැටළු ඇති වීමට වැඩි අවදානමක් තිබෙනවා. ඒවා ඔවුන් ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැහැ. 😕

 

📌 පිරිමි පුද්ගලයන් සම්බන්ධව බැලුවොත් ? 🤔

 

පිරිමි පුද්ගලයන් සම්බන්ධව බැලුවොත් පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත රෝග තත්වයන්ගෙන් පසුවෙන පුද්ගලයන්ට මූත්‍රා ආසාදන ඇති වීමට වැඩි හැකියාවක් තිබෙනවා. බැක්ටීරියා හෝ වෙනත් හේතුවක් නිසා ඇතිවෙන පුරස්ථි ග්‍රන්ථි ප්‍රදාහය ( Chronic Prostatitis ) නිසාත් මූත්‍රා ආසාදන ඇති වන අවස්ථාවන් තිබෙනවා. ඒ වගේම මෙවැනි රෝගීන්ගේ මූත්‍රා මාර්ගය අවහිර වූ විට මූත්‍රා සිරවීමක් වෙන්නත් පුළුවනි. ඒ වගේම විෂබීජ හේතුවෙන් ශුක්‍රාණු ගිණුමේ ධාරිතාවය අඩු වීම නිසා දරුවන් ලැබීමේ සඵලතාවය අඩු වීමට පුළුවනි. 🥺

 

📌 ළදරුවන් සම්බන්ධව සඳහන් කරනවා නම් ... 

 

ළදරුවන්ගේ ශ්‍රෝනි කුහරය වර්ධනය වෙලා නැහැ. ඔවුන්ගේ මුත්‍රාශය උදර කුහරයේ අවයවයක් ලෙස පිහිටා තිබෙනවා. ඒ නිසා ඔවුන් හඬන අවස්ථාවලදී උදර කුහරයේ පීඩනය වැඩි නිසා මූත්‍රා පිට වෙනවා. එය සාමාන්‍ය තත්වයක්. ☺️ නමුත් ළදරුවන්ට මූත්‍රා පිළිබඳව ආසාදන තත්වයක් වැඩිහිටියෙකුට වගේ කියන්න බැහැ. ඒ නිසා මව්පියන් මේ ගැන හඳුනා ගැනීම වැදගත්. දරුවා මූත්‍රා පිටකිරීමේදී හෝ මූත්‍රා පිටවීමෙන් පසුව හඬනවා නම් එය සැලකිය යුතුයි. 🥺 

 

ළදරුවන්‍ට මූත්‍රා ආසාදන ඇති වීම අඩුයි. නමුත් සංජානනීය රෝග තත්වයන් ඇති ළදරුවන් අතර මූත්‍රා ආසාදන තත්වයන් නිතරම ඇතිවෙන්න පුළුවනි. රෝග ලක්ෂණ, 

 

• උන ඇති වීම. 

 

• ආහාර අරුචිය. 

 

• දරුවාගේ වර්ධන සටහන අනුව ශරීර බර වර්ධනය නොවීම. 

 

• මූත්‍රාවල පැහැය වෙනස් වීම. 

 

දරුවන්ගේ ආසාදන තත්වයන්හීදී Ultra sound ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍යයි. සමහර දරුවන්ගේ උපතින්ම පවතින Vesicioureteral reflux තත්වය නිසා සහ අපර මූත්‍රා මාර්ගික කපාට තත්වය ( Posterior Urethral Valve ) සහිත ළමා රෝගීන්ට MCUA ( Micturating Cystourethogram ) එක්ස්රේ පරීක්ෂණයක් සිදු කිරීම අවශ්‍යයි. 😕 CTU ( CT Urography ) පරීක්ෂණයක් මගින් අවහිරතාවය හඳුනාගෙන ශල්‍ය කර්ම මගින් ඒවා නිවැරදි කිරීමට සිදු වෙනවා. 🥺

 

📌 මූත්‍රා ආසාදන නොසලකා සිටියොත්.

 

මූත්‍රා ආසාදන නොසලකා හිටියොත් විවිධ රෝග සංකූලතාවයන් ඇති වෙන්න පුළුවනි. මූත්‍රා මාර්ගය අවහිර වීම නිසා වකුගඩු අක්‍රීය වීම ( Chronic Renal Failure - CRF ) වැනි ජීවිතයට අවදානම් තත්වයක් ඇතිවීමට පුළුවනි. 😟 

 

📌 වැසිකිළි ආසනයෙන් ආසාදන ඇතිවෙන්නේ නැහැ. 

 

බොහෝ පුද්ගලයන් පොදු වැසිකිළි පාවිච්චි කිරීමේදී අපිරිසිදු ආසනවලින් මූත්‍රා ආසාදන ඇතිවෙනවා යැයි බියක් දැක්වූවත් එය මිථ්‍යාවක්. වැසිකිළි ආසනයෙන් බැක්ටීරියා ආසාදනය වීමට හැකියාවක් නැහැ. ☺️

 

📌 මූත්‍රා ආසාදන වලින් ප්‍රවේශම් වීමට නම්,

 

• ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම සහ හොඳින් මූත්‍රා පිට කරනවා නම්, මූත්‍රා පද්ධතිය පිරිසිදු වෙනවා. ඒ නිසා වතුර හොඳින් පානය කිරීම ඉතාම වැදගත්. 

 

• මූත්‍රා බර දරා ගෙන නොසිට අවශ්‍ය වූ විට මූත්‍රා පහ කිරීම. 

 

ඒ වගේම ඔබ මූත්‍රා ආසාදන තත්වයට පත් වුනොත් ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් සහ නිසි ප්‍රතිකාර ලබා ගැනීම ඉතාම වැදගත්. සමහර විට වෛද්‍යවරයා ඔබට වැඩිදුර පරීක්ෂණ ලබා ගැනීමට උපදෙස් දුන්නොත් ඒ ගැන නොසලකා සිටින්න එපා. 😕 ආසාදන තත්වයට ප්‍රතිකාර ලබා ගැනීම වගේම මෙවැනි ආසාදන තත්වය ඇතිවීමට හේතුව සොයාගැනීමත් ඉතා වැදගත්. 😊

 

සාකච්ඡාව මෙහෙයවීම

 

Punya Chandana De Silva

 

විශේෂඥ අදහස් දැක්වීම 

 

Professor A.U.B.Pethiyagoda 

Consultant Genitourinary Surgeon 

Professorial Surgical Unit

Teaching Hospital Peradeniy

blog_image
blog_image