blogImage

ශල්‍යකර්මයක් සදහා ඔබ සූදානම් විය යුත්තේ කෙසේද?

📌ශල්‍යකර්මයක් සදහා ඔබ සූදානම් විය යුත්තේ කෙසේද? 

 

1) අදාල ශල්‍ය කණ්ඩායම විසින් වාට්ටුවට ඇතුලු වීමට වේලාවක් නියම කර ඇත්නම් අඩුම තරමේ පැය භාගයකට පමණ පෙරාතුව රෝහලට පැමිණෙන්න. වේලාවක් නියම කර නොමැති විටකදී අදාල දිනයේ උදෑසන 8 - 9 වන විට රෝහලට පැමිණ බාහිර රෝගී අංශයට ඔබට දිනය ලබා දුන් ලියමන පෙන්වා අදාල වාට්ටුවට ඇතුලු වන්න.

මක්නිසා ද යත් ඔබේ ශල්‍ය කර්මයට පෙර රුධිර පරීක්ෂණ හා ECG වාර්ථා ආදිය සමග නිර්වින්දන වෛද්‍ය හා අවශ්‍ය උවහොත් වෙනත් වෛද්‍ය කණ්ඩායම් වල පරීක්ෂණ වලට හා ඔවුන්ගේ නිර්දේශ ශල්‍යකර්මයට පෙර ලබා ගත යුතු බැවිනි 

 

2) පැමිණීමේදී හෙද නිළධාරීන් විසින් ලබා දුන් ශල්‍ය කර්මයට අවශ්‍ය උපකරණ හා ඇදුම් ලයිස්තුව ගෙනැවිත් වාට්ටුවේ අදාල හෙද නිළධාරීන් වෙත එම භාණ්ඩ ලබා දෙන්න. 

 

3) ඔබේ සියලුම සෞඛ්‍ය වාර්ථා ගෙන ඒමට අමතක නොකරන්න. ඔබ අදාල නොවේ යැයි සිතන ඇතැම් වාර්ථා ඔබේ ශල්‍යකර්මය සිදු කරන ක්‍රමය , නිර්වින්දන මාදිලිය තීරණය කිරීමට පවා ඉඩ ඇති බැවින් ඔබේ සියලුම සෞඛ්‍ය වාර්ථා ඔබ වාට්ටුවේ ඔබ සන්තකයේ තබා ගන්න අමතක කරන්න එපා 

 

4) හැකි සෑම විටම නිය ආලේපන (කියුටෙක්ස්)වැනිදෑ ශල්‍ය කර්මයට පෙර ඉවත් කරන්න. ශල්‍යකර්මය අතරතුර ඔබේ රුධිර ගත ඔක්සිජන් මට්ටම මැනීමට pulse oximeter නම් උපකරණයක් භාවිතා කරයි.එම උපකරණයේ පාඨාංක වලට බලපෑමක් එම ආලේපන වලින් සිදුවීමට හැකියාවක් ඇති නිසා දින කිහිපයට පෙර නිය ආලේපන ඉවත් කිරීම වෛද්‍ය කාර්‍යමණ්ඩලයට උපකාරයක් වේවී. 

 

5) ශල්‍යකර්මයට පෙර දිනයේ නිර්වින්දන වෛද්‍ය කණ්ඩායම ඔබ පරීක්ෂාවට ලක් කරනු ඇති.එහිදී ඔබගේ රුධිර පරීක්ෂණ වාර්ථා හා ඔබේ සියලුම සායනික වාර්ථා එම වෛද්‍යවරයාට ඉදිරිපත් කරන්න.එහිදී නිර්වින්දන වෛද්‍ය ක්‍රමය පිළිබද තීරණය කරනු ඇති. 

 

6) ශල්‍යකර්මයට පෙර ඔබට නිරාහාරව සිටීමට උපදෙස් වාට්ටුවෙන් ලබා දෙනු ඇත. එම උපදෙස් වලට අනුව අනිවාර්යයෙන් කටයුතු කිරීම ඔබගේ වගකීමකි. නිර්වින්දනය කිරීමෙන් ආමාශයේ ආහාර තිබුනහොත් ඒවා ගල නාලය ඔස්සේ ආපසු ගමන්කොට පෙනහලු වලට ඇතුලුවී මාරාන්තික සංකූලතා ඇති කිරීමට හැකි නිසා ඔබව නිරාහාරව තබයි. 

 

7)ඔබට ආසාත්මිකතා ඇතිවන ආහාර ඖෂධ හෝ ප්ලාස්ටර් තිබේ නම් ඒ පිලිබඳව අනිවාර්යයෙන් වෛද්‍යවරු දැනුවත් කරන්න. 

 

8) නිරාහාරව සිටින කාලය තුල බුලත් විට සැපීම,චුයින්ගම් සැපීම වැනි දෑ වලින්ද වැලකී සිටින්න. කුඩා පුවක් කැබැල්ලක් වැරදීමකින් හෝ නිර්වින්දනය සිදුකරන අවස්තාවක පෙනහලු තුලට ඇතුලු උවහොත් එමගින් පවා විශාල සංකූලතා ඇතිවිය හැකියි 

 

9)දියර පානය සදහා ලබා දෙන කාලය තුලදී කාබනීකෘත සිසිල් බීම පානයෙන් වැලකී තැඹිලි වතුර, සීනි දැමූ ප්ලේන් ටී (කිරි තේ නොවේ) හෝ වතුර පමණක් ලබා ගන්න. 

 

10) නිර්වින්දන අංශය විසින් නියම කරන ඖෂධ හෙද නිළධාරීන් ලබා දෙන නියමිත වේලාවට වතුර ඉතා ස්වල්පයක් සමග පානය කරන්න. 

 

11) ඔබේ ශල්‍යකර්මය සිදුකරන වේලාව තීරණය කරනු ලබන්නේ වෛද්‍ය කාර්‍යමණ්ඩලය විසින් විවිධ වෛද්‍ය හේතුන් මත හා ප්‍රායෝගික ප්‍රශ්න මත තීරණය කරන අනුපිළිවෙලකටයි. හිතාමතා ශල්‍යකර්ම පරක්කු නොකරන අතර හැකි උපරිම ශල්‍යකර්ම ප්‍රමාණයක් සෑම විටම රජයේ රෝහල් වල සිදු කරයි. ඉතා ඉවසිලිමත්ව තම වාරය ලැබෙන තුරු සිටීමට කාරුණික වන්න. 

 

12)ශල්‍යකර්මයෙන් පසුව හෙද කාර්‍යමණ්ඩලය ලබාදෙන උපදෙස් අනුව කටයුතු කරන්න. ඔවුන්ගේ උපදෙස් වලින් තොරව ආහාර , වතුර ලබා ගැනීමෙන් වලකින්න. වේදනාව හෝ යම් සංකූලතාවක් දැනේ නම් හෙද නිළධාරීන් දැනුවත් කරන්න

blog_image
blog_image