blogImage

හොර වෙදාලට මාට්ටු වීම

සකල සිරින් පිරි සිරි ලංකාවේ තරම් ලණු කෑමට උපන් හපන් ජනතාවක් මේ තුන් ලෝකයටම නැත.

 

එය පිරමීඩකාරයන්ටද, දේසපාලුවන්ටද , දෛවඥයන්ටද, වෙද්දුන්ටද කියා අදාළම නැත.

 

අපේ යක්ඛ පුත්‍රයන් බලෙන්ම රෙද්ද අතට අරං තමාම කපාගෙන මහගෙන ඇඳගෙන උජාරුවට යන්නෝය.

හැබැයි ගමන අවසානයේ වෙන්ට ඕනි සියල්ල සිදුවී රෙදි ගැලවෙන්නේය.

 

මේ සියලු දේට හේතුව අපේ ඈයොන්ගේ කුලප්පුවය. සෑම දෙයක්ම ඉක්මණටම ළගා කර ගැනීමට ඇති කෑදරකමය.

 

ඉක්මණට සල්ලි හම්බ කීරීමට ඕනෑය.

ඉක්මණටම දියුණු වීමට ඕනෑය.

ඉක්මණටම ලෙඩ සනීප කරගැනීමට ඕනෑය.

 

ඉක්මන කොටයි යන්න බොහෝ අයට අමතකය.

 

ඒ නිසා එන එන ඕනෑම මරාලයක් දොහොත් මුදුන් දී පිළිගන්නේය.

 

මෙයිනුත් භයානකම වන්නේ හොර වෙදාලට මාට්ටු වීමයි. අන් සෑම හොරෙක්ම සාක්කුවට තට්ටු කරන අතර මේ වෙද්දු තට්ටු කරන්නේ ජීවිතයටයි.

 

ලංකාවේ ඕනෑම හොරෙක්ට තමාට හිතෙන ඕනෑම මොහොතක පාරම්පරික මහා වෛද්‍යාචාර්ය කෙනෙකු විය හැක.

 

අවශ්‍ය වන්නේ

කැළෙන් කඩා ගත් ශාක පත්‍ර ස්වල්පයක්

අමර ගඳක් හමනා තෙල් බෝතල් කිහිපයක්

පුරාජේරුව සටහන් කළ බෝඩ් ලෑල්ලක්

බොරුව පැතිරීමට කුලියට කහින කටවල් ටිකක්

 

මේ ටික හොඳටෝම ප්‍රමාණවත්ය.

 

මේ කෙරුවාවෙන් සිදුවන්නේ මේ ශාස්ත්‍රය නිවැරදිව ප්‍රග්‍රණ කරන දක්ෂ වෙද මහත්වරුන්ටත් නිගා ගෙන දීමය.

 

ලංකාවේ සතර දිග්බාගයෙන් මෙසේ හොරවෙද්දු නිසා කබලෙන් ලිපට වැටෙන අසරණ රෝගීන්ට අවසානයේ පිහිටට එන්නේ රජයේ රෝහල පමණක්මය.

 

මේ සිදුවීම් ගැන කවුරුවත් කතා නැත.

 

බෙහෙතක් ඇලජික් වුනත් එය දොස්තරගේ සම්පූර්ණ වැරැද්ද බවට ඒත්තු ගැන්වීමට තුන් තිස් පැය දඟලන ජඩ මාධ්‍ය කරන්නේ මෙවැනි හොරුන්ට අවශ්‍ය ප්‍රචාරණය ඉතා ඉහළින්ම ලබාදීමයි.

 

ධම්මික පැණිය මීට කදිම නිදසුනයි.

 

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය එස්. එච්. කොළඹගේ මහතාගේ අනුවේදනීය අත්දැකීමක් මෙලෙස මුහුණු පොතේ සටහන් කර තිබුණේ අපේ රටේ ජනතාවට තේරෙන භාෂාවෙන්මය.

 

👇👇👇👇👇👇👇👇👇

 

අමුතු ඇටේ පට්ටි හරක් !!

 

පසුගිය දින දැඩිසත්කාර ඒකකයට ඇතුල් කරා අසාධ්‍ය ‍රෝගියෙක්!

ඒක ඉතින් අළුත් දේකුත් නෙවෙයි තමයි!

හැබැයි ඉතින් “සම හරක්” ඇතුල් කිරීම් වෙනකොට...🤔

 

රෝගියා වයස අවුරුදු 43 යි. ගෙවල් මහරගම පැත්තේ.

( හරි ඉතින් අර බොරලු ගොඩ කටුස්සාගෙ ආසනේ නේහ්)

අඩි හයක් විතර උස ඇගෙන් භාගයක විතර ලස්සනට

කොටපු පච්ච තියෙන සුද්දෙක් වගේ

(හැබැයි අනිවාර්යයෙන් ම ඔලුවනම් නෙමෙයි)

කිලෝ 80 විතර බර ගස් ගල් කඩන්න පුලුවන් කියල හිතන්න පුලුවන් එකෙක්!

 

අවුරුදු කීපයක් ජෝර්දානයේ රැකියාව කරලා

මීට මාස හයකට විතර පෙර හෘදයාබාධයක් හැදිලා,

එහෙදි හොදින් ප්‍රතිකාර කරලා තියෙනවා.

දිගට බෙහෙත් පාවිච්චි කරලා තියෙනවා..

මීට මාස දෙකකට විතර කලින් ලංකාවට ඇවිත්

ප්‍රසිද්ධ පුද්ගලික ‍රෝහලක හෘද රෝග විෂේශඥයෙක් හමුවෙලා

බෙහෙත් ගන්නවා..

 

හැබැයි එතනදී බෙහෙත් ගන්න ආවා වගේ හිටපු,

මාරයාගේ ඒජන්තයෙකුත්,

(මෙවැන්නන් පාර තොටේ, ආගමික ස්ථානවල හෝ හෘද රෝග සායනවල විෂේශයෙන්ම පුද්ගලික ‍රෝහල් වලදී ඔබට මුණ ගැසීමට පුලුවන).

 

මුණ ගැසී බටහිර පට්ට අවුල් බෙහෙත් හැමදාම බීම නවතා රෝගය නිට්ටාවටම හොදකරගත හැකි ක්‍රමයක් යෝජනා කරනවා..

ඒ අනුව ඔහු පවුලේ අය සමග අනුරාධපුර පැත්තේ තැනකට

ගොස් නිට්ටාවටම සුවවීමේ බෙහෙත් පටන් ගන්නවා..

 

සති හයකට පසු දැඩි හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් හා

වලලුකර ඉදිමීම හා බඩේ කැක්කුමක් එක්ක කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයටත් ඉන් පසු වෛද්‍යවාට්ටුව හරහා දැඩි සත්කාර ඒකකයටත් ඇතුල් කරනවා..

 

📌 ඔහුගේ හෘදය අධික ලෙස ඉදිමී සියයට 10 ක පමණ ක්‍රියාකාරිත්වයක් ( EF less than 15 percent ) දක්වා

අඩු වී තිබූ අතර

පෙනහළුවල වතුර පිර්‍ර් ( CCF ) තිබුණා.

 

මීට අමතරව කුමන හෝ විෂ ද්‍රව්‍යයක් නිසා

අක්මා සෛල විනාශ වී ඉදිමී තිබුණා.

📌(Liver enzymes more than 2500 )

 

රැයක් පුරා මාගේ මහන්සිය වතුරේ යවමින්

පසුදා දවල් ඔහුගේ රෝගය නිට්ටාවටම සුව වී

අමුතු ඇටයෙන් සදාකාලිකවම වෙන් වී ගියා..

 

මේ තවත් මෙවන් නොමග ගිය දාස් ගාණක රෝගීන් අතර

තවත් එක අයෙක් පමණයි!

 

අපිට වැඩ වැඩි නිසා ඔයාලාත් ඔය අරපාස්, මේ පාස්,

බයි පාස් නැතිව, හැමදාම ඔය බටහිර බෙහෙත් ගිලින් නැතිව

මේ වගේ නිට්ටාවට සුවකරගන්න.

හැබැයි අන්තිම මොහොතේ බටහිර රෝහල් වලට

ඇවිත්, ගෙනත් අපිට වද දෙන්න එපා.

බටහිර බෙහෙත් බිවවම ගෑස් හැදෙන් නැති,

 

අපේ උපදෙස් අකුරටම පිලිපැදලා

එන රෝගීන් බලාගන්න වෙලාව පට්ට දැණුමැති පොරවල්

බලන්න යොදවන එක අපරාධෙ නිසා..

 

පහතින් පළමු comment එකේ තිබෙන්නේ එම රෝගියාගේ හෘදයේ ක්‍රියාකාරිත්වයයි.

සාමාන්‍ය කෙනෙක්ගේ හෘදයේ ක්‍රියාකාරිත්වය සමඟ වෛද්‍ය නොවන අයට සසදා බලන්න සාමන්‍ය හදවතේ ක්‍රියාකාරීත්වය දෙවනි comment එකේ link එකට ගිහින් බලන්න.

 

සටහන ✍

 

Dr.S.H.Kolombage

Medical officer at MICU

National Hospital

Colombo

blog_image
blog_image