blogImage

ඉන්හෙලර් භාවිතය

ඇදුම, හතිය වැනි ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සදහා ප්‍රතිකාර කිරීමේදී ඉන්හෙලර් භාවිතා කිරීම අද වන විට බොහෝ රෝගීන් සදහා යොදා ගන්නා ප්‍රතිකාර ක්‍රමයකි.

 

මේ ඉන්හෙලර් භාවිතය ගැන විවිධ ගැටලු රාශියක් රෝගීන් අතර  පවතිනවා යන්න ,එදිනෙදා සායන හා  වාට්ටුවල රෝගීන් සමඟ  කටයුතු කිරිමේ දී මට අත් වීදීමට සිදූ දෙයකි.👨🏻‍⚕️

 

ඉතින්, එසේ රෝගීන්ට ඇති ප්‍රධාන ගැටලු කිහිපයකට පිලිතුරු මෙම ලිපියෙන් ලබා දීමට බලපොරොත්තු වෙමි.

 

👇👇👇👇👇👇👇

 

📌ඉන්හෙලර් කියන්නේ මොනවාද?

 

ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග වලට ප්‍රතිකර කිරිමේදි ඖෂධ, අපි ගන්නා හුස්ම සමග කෙලින්ම ශ්වසන පද්ධතියට යොමුකර ප්‍රතිකාර කිරිම තමයි ඉන්හෙලර් භාවිතා  කිරිමෙන් සිදු වන්නේ.

 

📌ලංකාවේ රෝහල් වල රෝගීන් සදහා  ලබා  දෙන ප්‍රධාන ඉන්හෙලර් ආකාර දෙකක් තියෙනවා.

 

♦️කරල් ඉන්හෙලර් - Dry powder inhaler 💊💊💊

 

මෙහිදී ඖෂධ කරල ඉන්හේලරයට දමා   කටින් ඉහලට හුස්ම සමගින් උරා  භාවිත කරයි.

 

♦️ගැස් ඉන්හෙලර් - Metered dose inhaler

 

මෙහිදී ඖෂධ ගැස් ආකරයෙන් ගබඩා කර ඇති කුඩා කුටීරයක් තද කිරිමෙන් ඖෂධ සහිත ගැස් නිකුත් වන අතර එය ආශ්වාස කිරිමෙන් ඖෂධ පෙනහලු දක්වා ගමන් කරයි.

 

📌නිවැරදිව ඉන්හෙලරය භාවිතා කරන්නේ කෙසේද?

 

රෝගීන් මුහුන දෙන ප්‍රධානම ගැටලුව වන්නේ මෙයයි. කොතරම් පැහැදිලි කලත් හරියාකාරව ඉන්හේලරය භාවිතා කරන ප්‍රමාණය ඉතාම අල්පය.

 

මීට ප්‍රධාන හේතුව, ඉන්හෙලරය භාවිතය ආරම්භයේදී වැරැද්දක් ලෙසට පුරුදු වූ දෙයක් කාලයත් සමග පුරුද්දක් ලෙසට ඔවුන් හට පුරුදු වී තිබීමයි.

 

මේ අතරින් ගැස් ඉන්හෙලරය හෙවත් MDI භාවිතයේදී සිදු කරන වැරදි ප්‍රමාණය ඉතා  වැඩිය.

 

නිවැරදිව ඉන්හෙලරය භාවිත කරන අන්දම ලිපියකින් පැහැදිලි කිරීම අසීරුය.

 

එම නිසා මෙම ලිපිය අවසානයට ඊට අදාළ වීඩීයෝ  දෙකක ලින්ක් දෙකක් සටහන් කර ඇත. ඒවා  නැරඹීමෙන් පැහැදිලිව නිවැරදි ක්‍රමය අවබෝධ වනු ඇත.

 

📌ඉන්හෙලර් භාවිතයෙදී සිදු වන වැරදි (MDI සදහා) මොනවාද ? 🤔🤔

 

👉1. වැරදි ලෙසට ඉන්හෙලර් ඇල්ලීම

 

👉2. භාවිතයට පෙර හොදින් සෙලවීම අමතක කිරීම

 

👉3. ඉන්හේලර් කටට හොදින් සීල් වන ආකාරයට තොල් තද නොකිරීම

 

👉4. ඉන්හේලරය තද කරන විටම හුස්ම ගැනීම එකවර සිදු නොකිරීම❌

    මෙය රෝගීන් අතින් සිදු වන ප්‍රධාන වැරදියි. ඉන්හේලරයෙන් ගැස් නිකුත්වෙන මොහොතෙම එකවරම ගැඹුරු හුස්මික් කටින් ඉහලට ඇදීම අනිවාර්‍ය දෙයකි.

 

👉5. හුස්ම පපුවේ තත්පර කිහිපයක් හිර කර ගෙන නොසිටිම

 

👉6. වෛද‍්‍යවරයා  නියම කල අයුරින් ඇතැම් ඉන්හෙලරය භාවිතයට පසු කට සේදීම අමතක කිරීම.

 

📌මෙම වැරදි මා  සදහන් කලේ මේවාට වැඩි අවධානයක් යොමු කර, ඒවා මග හරවා  ගැනීම සදහායි

 

 

📌උරන බෙහෙත් දිගටම ගැනීමෙන් ඒවාට ඇබ්බැහි වෙනවාද?🤔

 

මෙය රෝගීන් අතර ඉතා ප්‍රසිද්ධ මිත්‍යා මතයකි.

 

"අනේ ඩොක්ටර් උරන බෙහෙත් නම් එපා.. බොන බෙහෙත් දෙන්න..." යන වැකිය අපේ රෝගීන්ට කට පාඩම්ය.

 

මුලින්ම සදහන් කල යුතු දේ නම්, ඇදුම රෝගය සදහා අප ලබා දෙන ඖෂධ ඛාන්ඩ දෙකක් ඇත.

 

🔴ඇදුම රෝගය උත්සන්න වූ විට එය සමනය කිරිමට ලබා දෙන ඖෂධ

   

මේවා  කෙටි කාලීනව ලබා  දීමට උපදෙස් දෙන අතර රෝග ලක්ෂණ සම්පූර්නයෙන්ම පහව ගිය පසු භාවිතය නවත්වයි.

 

🔴රෝගය පාලනය සදහා දීර්ඝ කාලීනව භාවිතා වන ඖෂධ

   

මෙම ඖෂධ දීර්ඝකාලය, එනම් මාස 3, 6, 9, ආදී වශයෙන් හෝ  වෛද‍්‍යවරුන් නිර්දේශ කරන ආකාරයට දිගටම ලබා ගත යුතුය.

 

නමුත් රෝගීන්ගේ රෝග ලක්ෂන නැති වී ගිය පසුව මෙම ඖෂධ ලබා  ගැනීම අත හැර දමයි

මේ නිසා  රෝගය උත්සන්න වී නැවත ඉන්හෙලර් භාවිතා  කිරිමට සිදුවන නිසා  රෝගීන් සිතන්නේ ඉන්හෙලර් නොමතිව රෝගය පලනය කල නොහැකි බවයි

 

නමුත් වෛද්‍ය උපදෙස් නිසි අයුරින් පිලිපැද්දා නම් මෙවැනි සිදු වීම් ඇති නොවේ

 

📌උරන බෙහෙත් ද හොද? බොන බෙහෙත් හොඳද?

 

දිගු කාලින ශ්වසන රෝග සදහා  ප්‍රතිකර කිරිමේදී උරන බෙහෙත් වඩා  යෝග්‍ය වේ.

එයට හේතුව නම් බොන බෙහෙත් ඔබේ ආහාර මාර්ගයෙන් රුධිරයට උරා ගෙන රුධිරය හරහා  ශ්වසන පද්ධතිය දක්වා  පැමිණිය යුතුය. එහිදී අතුරු ආබාධ ඇතිවීමට ඉඩ කඩ පවතී.

 

මීට උදාහරණ ලෙස Salbutamol ඖෂධය පානය කිරිමෙන් ඇතැම් රෝගීන්ට, අත වෙව්ලීම, හදවත ගැස්ම වැඩිපුර දැනීම වැනි ලක්ෂන මතු වූවත් එම ඖෂධය ඉන්හෙලර් මගින් භාවිතයේදි පෙර සංතුලිතතා  මතු නොවෙන අවස්ථා  ඇත.

 

📌උරන බෙහෙත් භාවිතා   කරන විට බොන බෙහෙත් ලබා   ගැනීම ගැටලුවක් ද?

 

මෙය රෝගීන් අතර ඇති තවත් වැරදි මතයකි. දැනට දිගටම උරන බෙහෙත් භාවිත කරන රෝගියෙකුට වුවද රෝගය ත්‍රීව්‍ර වීමක් සිදු උවහොත් බොන බෙහෙත් ඔබේ වෛද්‍යවරය නිර්දෙශ කරනු ඇත.

 

වෛද‍්‍ය උපදෙස් අනුව මේ දෙයාකාරයටම භාවිතා  කිරිම ගැටලුවක් නොවේ.

 

 

📌ඉන්හෙලර් නිස කටේ තුවාල වගේ අතුරු ආබාධ මතු වෙනවාද?

 

නිවැරදි ක්‍රමයට ඉන්හෙලර් භවිතා  කරන පුද්ගලයෙකුට අතුරු ආබාධ ඇතීවිමේ ඉඩකඩ අඩුයි.

බොහෝ  විට යම් ගැටලු ඇති වන්නේ, වැරදි ආකාරයට ඉන්හෙලර් භාවිතා  කිරිමෙනී

ඇතැම් ඖෂධ සහිත ඉන්හෙලර් භාවිතා   කිරිමෙන් පසු වතුරෙන් කර සේදීමට වෛද්‍ය උප්දෙස් ලබා දී ඇති නම්, එය නිවැරදිව සිදු කරන්න.

 

🔴නිවැරදිව ඉන්හේලර් භාවිතා කරන ආකාරය දැන ගැනීමට පහත වීඩියෝ නරඹන්න

 

කරල් ඉන්හේලරය නිවැරදිව භාවිතා කරන ආකාරය

 

https://www.youtube.com/watch?v=FWCmF1O30uk

 

ගෑස්  ඉන්හේලරය නිවැරදිව භාවිතා කරන ආකාරය

 

https://www.youtube.com/watch?v=Q-odnt9aW-A&list=PLjlShh6tiL6vVTlwBapZ2Z5C8EeJlCGwH&index=3

 

✍️සටහන 

 

Dr.Thilina Munasinghe

Medical officer in

Respiratory  Medicine

DGH Nawalapitiya

 

වීඩියෝ උපුටා ගැනීම

 

Dr. Heshan Vidanapathirana

වෛද්‍යතුමාගේ YouTube  චැනලයෙනි

blog_image
blog_image