blogImage

එදිනෙදා බහුලව මුහුණපාන්නට සිදුවන පොදු ගැටළු

වෛද්‍යවරයෙකු ලෙස මාගේ වෘත්තීය ජීවිතයේදී හමුවන බොහෝ දෙනාට එදිනෙදා බහුලව මුහුණපාන්නට සිදුවන පොදු ගැටළු කිහිපයක් ගැන මේ සටහන තැබීමට සිතුවෙමි.

 

1. මාංශ පේශී අනතුරු

ඔබ අධික ලෙස වෙහෙසට පත්වන ශාරීරික ක්‍රියාකාරකමක නිරත වන විට නොදැනුවත්වම ඔබගේ මාංශ පේශී වල සුළු ඇදීම්, ඉරීයාම් සිදු වීමට පුලුවන්.

මෙවැනි අවස්ථාවක ඔබට අවශ්‍යම වන්නේ විවේකයයි. මාංශ පේශී අනතුර සම්පූර්ණයෙන් සුව වන තුරු නැවත මෙවැනි ක්‍රියාකාරකම් වල නිරත නොවන්න.

වේදනාව පහවී ගිය පසු නැවත එම ක්‍රියාකාරකමෙහි යෙදීමෙන් සුළු මාංශ පේශී අනතුර දරුණු එකක් බවට පත්විය හැක.

 

2. සන්ධි වේදනා

සරල ශාරීරික ක්‍රියාකාරකමක නිරත වීමෙන් පවා බොහෝ දෙනාට දණහිසේ වේදනාව, කොන්ද කැක්කුම, උරහිසේ වේදනාව ඇතිවීම දක්නට පුළුවන්. මෙයට ප්‍රධානම හේතුව වැරදි ඉරියව්. ඉතා කුඩා බරක් එසවීමේදී වුවත් කොන්ද නොනමා දණහිසින් නැමී එය ඔසවන්න. එසේ ක්‍රියාකාරකමට අදාල නිවැරදි ශාරීරික ඉරියව් පිළිබඳව ඉදිරියේදී ඔබව දැනුවත් කරන්නම්.

 

3. අස්ථි බිඳීයාම්

ඔබ යම් ශාරීරික ක්‍රියාකාරකමක නිරත වීමේදී අස්ථි ආසන්න ප්‍රදේශයක තදබල වේදනාවන් පවතී නම් (උදා; කකුලේ ඉදිරිපස කොටසේ) එය බර මඟින් ඇති වූ ආතතිය නිසා වූ සුළු අස්ථි බිඳීමක පෙර නිමිත්තක් විය හැකියි. මෙවැනි අවස්තථාවක වෛද්‍ය උපදෙස් ලබා එක්ස් රේ පරීක්ෂාවකට ලක්වීම වඩාත් යෝග්‍යයි, වේදනාව මැඩ පවත්වා ගෙන ව්‍යායාමයේ නිරත වීමෙන් සුළු අස්ථි බිදීම සම්පූර්ණ අස්ථි බිඳීයාමක් බවට පත්වන්න පුලුවන්.

 

4. අධික තාපය නිසා හටගන්නා සංකූලතා

ඔබ යම් ශාරීරික ක්‍රියාකාරකමක නිරත වන විට විටින් විට ශරීරය සිසිලනය කරගන්න. ඒ අතර හොඳින් ජලය පානය කරන්න. මෙමඟින් අධික උෂ්ණත්වයක් ඇති පරිසරයක ශරීර උෂ්ණත්වය වැඩිවීමෙන් ඇතිවන Heat Stroke නම් සංකූලතාවයන් අත් මිදෙන්නට පුලුවන්.

 

5. මුත්‍රා ගල් ඇතිවීමේ අවදානම

ඔබ දිනපතා අධික අව් රශ්මියේ වෙහෙසකර ක්‍රියාකාරකම්වල නිරත වන්නෙකු නම් අනිවාර්‍යයෙන් එක් දිනකට ජලය ලීටර 2.5-3 පානය කරන්න. මේ මඟින් ඔබගේ මුත්‍රා සාන්ද්‍රණය වැඩිවීමෙන් මුත්‍රා ගල් ඇතිවීම වළක්වා ගන්න පුළුවන්.

 

6. දිලීර ආසාදන

ඔබ දිනපතා බූට් සපත්තු පැළඳ සිටින අයෙක් නම් පාදයේ ඇඟිලි කරු අතරට පුලුන් කැබලි සිරකොට තබාගන්න. මෙමඟින් දහඩිය ඇඟිලි කරු අතර රැඳීමෙන් ඇතිවන දිලීර ආසාදන අවම කරගත හැකියි.

 

සටහන: වෛද්‍ය නිරෝෂ් ප්‍රියංකර Nirosh Priyankara

 

#healthcare #health #healthylifestyle #healthyliving #medicare #medicine #disease #doctor #echanneling

blog_image
blog_image