blogImage

මී උණ රෝගය පිළිබඳව දැනුවත් වෙමු.

මී උණ රෝගය පිළිබඳව දැනුවත් වෙමු.

 

මී උණ යනු Leptospira නම් බැක්ටීරියාව නිසා හටගන්නා ආසාදිත රෝගයකි. ලෝකයේ සත්වයන් ආශ්රයෙන් හටගන්නා ආසාදන රෝග වලින් ප්රධානම රෝගයකි.

 

🔺 රෝග සම්ප්රේෂණය

 

Leptospira බැක්ටීරියාව බහුලව වාසය කරන්නේ ආසාධිත මීයන්ගේ ශරීර තුළයි. එම මීයන්ගේ මළ මූත්රා සමඟ බැක්ටීරියාව ජලයට මඩට එකතු වෙයි. ජලයේදී දින 16ක්, මඩේදී දින 24ක් බැක්ටීරියාවට නොනැසී සිටීමට හැකිය.

ප්රධාන වශයෙන් බැක්ටීරියාව මිනිස් සම හරහා ශරීරයට ඇතුල් වේ. ඉතා සියුම් කැපීම්, සීරීම් ඇති සමේ කොටස් වලින් මෙය සිදු වේ.

 

මීට අමතරව,

මීයන් සපා කෑමෙන්

ආසාදිත මීයන්ගේ ශරීර තරල මිනිස් ඇසේ හෝ මුඛයේ ගැටීමෙන්

වාතයට මුසුවූ තරල ශ්වසනයෙන් ද මෙය සම්ප්රේෂණය විය හැකියි.

 

🔺 රෝග ලක්ෂණ

 

ශරීරයට ඇතුල් වූ බැක්ටීරියාව ගුණනය වී රෝග ලක්ෂණ මතුවීමට දින 5-14 කාලයක් ගත වේ. සාමාන්ය රෝග ලක්ෂණ වල සිට මුළු ශරීරයේම ඉන්ද්රියන් අකර්මන්යතාවය දක්වා පරාසයක රෝග ලක්ෂණ පෙන්විය හැක.

මේ රෝග ලක්ෂණ බොහෝ විට ඩෙංගු හා අනෙක් සුලභ වෛරස් රෝගවලට සමානකමක් දක්වයි. උණ, හිසේ කැක්කුම, කොන්ද හා කකුලේ තදබල මස්පිඩු වේදනාව, වමනය, බඩ එළිය යාම, ඇස් රතු වීම, කෑම අරුචිය, කැසීමක් නොමැතිව සමේ ඇතිවන Rash මින් ප්රධානයි.

 

🔺 රෝගයේ සංකූලතා

 

1.පෙනහලු තුළ රුධිර ගලනය නිසා කැස්ස සමඟ ලේ පිටවීම හා ශ්වසන අපහසුතාවය (Pulmonary hemorrhage)

2.හදිසි වකුගඩු අක්රීයතාවය (Acute Renal Failure)

3.මොළය ආශ්රිත සංකූලතාවයෙන් හටගන්නා සිහි මද ගතිය (Meningo-encephalitis)

4.හෘද මාංශ පේශි ක්රියාකාරීත්වයට හානිවීම (Myocarditis)

5.අක්මාව ආශ්රිත සංකූලතාවයන්

6.සියලු ඉන්ද්රියන් අකර්මන්යතාව (Multi Organ Failure)

 

🔺 රෝග නිර්ණය

 

රෝගියාගේ නිවැරදි සායනික ඉතිහාසය මෙහිදී ඉතා වැදගත් වේ. ඔබ මී උණ රෝගය වැළඳීමේ අවදානමක් සහිත අයකු නම්. එනම්,

ජලය හා මඩ ආශ්රිතව රැකියාවේ නිරත වන්නකු නම්. (ගොවි මහතුන්, මැටි කර්මාන්ත කරුවන්)

ඔබ අවට පරිසරයේ මීයන් බහුලව ගැවසේ නම් මේ බව ඔබේ වෛද්යවරයාට පවසන්න.

 

🔺 රුධිර පරීක්ෂණ

 

Full Blood Count, C-Reactive Protein (CRP) යන මූලික සරල ලේ පරීක්ෂාවෙන් රෝග නිර්ණය පහසු කරයි.

 

🔺 රෝග නිවාරණය

 

රෝගය වළක්වා ගැනීමට මෙය ඉතාම වැදගත් වේ. ඔබ මී උණ රෝගය වැළඳීමේ අවදානම සහිත පුද්ගලයෙකු නම්,

වගා කටයුතු වලදී ආරක්ෂිත ක්රම භාවිතා කරන්න. (බූට් සපත්තු, අත් ආවරණ)

නොසෙල්වෙන ජලය සහිත ජල මූලාශ්ර වලින් (පොකුණු, වගා ළිං) මුහුණ අතපය සේදීමෙන් වළකින්න.

කුඹුරු වැඩ ආරම්භයට පෙර සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලයෙන් මී උණ අවදානම අඩුකරන ඖෂධ ලබාගන්න.

 

🟥 විශේෂ අවධානයට

 

බොහෝ විට මෙම රෝගය වැළඳෙන්නේ නිරෝගී, වෙහෙස මහන්සි වී රැකියා කරන පුද්ගලයන්ට නිසා මෙහි මූලික අවධියේදී මෙය සාමාන්ය වෛරස් උණක් හෝ රැකියාවේදී ඇතිවූ විඩාව ලෙස සලකා බොහෝ අය ප්රතිකාර ගැනීමට ප්රමාද වේ.

මේ නිසා මූලික අවධියේ ප්රතිජීවක ඖෂධ මඟින් පාලනය කළ හැකි රෝගය සංකූලතා දක්වා වර්ධනය වීමෙන් පසු රෝහල් ගතවීමට සිදු වේ.

ඔබ මී උණ අවදානම සහිත අයෙක් නම් රෝග ලක්ෂණ පෙන්වූ විගස වෛද්යවරයෙකු හමුවන්න.

 

සටහන: වෛද්ය නිරෝෂන් ජයසංඛ Niroshan Jayashanka Gamage

අතිරේක සෞඛ්ය වෛද්ය නිළධාරී

පදවිය සෞඛ්ය වෛද්‍ය නිළධාරී කාර්‍යාලය


#healthcare #health #healthylifestyle #medicare #medicine #medical #doctor

blog_image
blog_image