blogImage

ඇස් දෙක වගේ රැකගමු ඇස් දෙක

"ඇස් දෙක වගේ රැකගමු ඇස් දෙක"

 

ආයුබෝවන්, අද මම ඔබට අරගෙන ආවේ නිතර දකින්නට ලැබෙන අක්ෂි සම්බන්ධ ගැටළු කිහිපයක් ගැන කෙටි විස්තරයක්.

 

1.ඇස් පෙනීම අඩු වීම

 

මේක ඕනෑම වයස් කාණ්ඩයක, ඒ කියන්නේ පාසල් යන දරුවන්ගේ සිට මහළු උදවිය දක්වා දකින්න ලැබෙන සුලභ ගැටළුවක්. ඒ ඒ වයස් කාණ්ඩ වලදී ඇස් පෙනීම අඩු වීම සඳහා බලපාන හේතු විවිධාකාරයි.

 

🔺අක්ෂි වර්තන දෝෂ

 

පාසල් යන වයසේ දරුවන්ගේ නම් බහුලව දකින්නට ලැබෙන්නේ දුර පෙනීමේ දුර්වලතාව එනම් අවිදුර දෘෂ්ඨිකත්වය (Myopia) තමයි. පන්ති කාමරයේදී දුර තියෙන කලු ලෑල්ලේ අකුරු නොපෙනෙනවා නම් හෝ බොඳවී පේනවා නම්ගොඩක් වෙලාවට දරුවාට මේ තත්වය තියෙන්න පුලුවන්.

එවිට ඔබ ළඟම ඇති අක්ෂි සායනයකින් දරුවාගේ ඇස් පරීක්ෂා කරවා ගන්න. නිසි පරිදි උපැස් යුවලක් පැළඳීම මඟින් මේ තත්වය පහසුවෙන් සමනය කරගත හැකියි.

 

🔺ඇසේ සුද ඇතිවීම (Cataract)

 

වයස අවුරුදු 50ට වැඩි වයසේ උදවියට ඇස් පෙනීම දුර්වල කරන සුලභ රෝගයක් තමයි ඇසේ සුද (Cataract) ඇතිවීම. මේ රෝග තත්වය නම් උපැස් යුවලකින් හෝ සිවි කාච හෝ පැළඳීම මඟින් නම් සමනය කරගන්න පුලුවන් වෙන්නේ නැහැ. මේ සඳහා විශේෂිත වූ ශල්යකර්ම සිදු කරන්න ඕන. අක්ෂි වෛද්ය ඒකකයක් සහිත ලංකාවේ ඕනෑම රෝහලකින් නොමිලේ මෙම සැත්කම් කරවාගන්න ඔබටත් පුලුවන්.

 

2. ඇස් රතුවීම

 

අක්ෂි වෛද්යවරයෙක් වෙත රෝගීන් අරගෙන එන ගොඩක් සුලභ තවත් ප්රශ්නයක් තමයි ඇස් රතුවීම. මේ සඳහා හේතු ගණනාවක්ම තියෙනවා. ඔබට ගොඩක්ම වැදගත් වන රෝග තත්ත්ව කිහිපයක් අපි බලමු.

 

🔺ආගන්තුක ද්රව්ය ඇසට වැටීම (Foreign Body)

 

ලී කුඩු, ග්රයින්ඩර් කුඩු, වෑල්ඩිං දැල්ල, වැලි, දූවිලි, කෘමී සතුන් වැනි එකී නොකී ඕනෑම දෙයක් අපේ ඇස් මතට වැටෙන්න පුලුවන්. ඉක්මන් කඳුළු ගැලීම මඟින් එම ආගන්තුක ද්රව්ය (Foreign Body) ඉවත් නොවුණහොත් ඔබේ ඇස් රතු වන්නට ගතවෙන්නේ පොඩි වෙලාවයි. මේක පියවි ඇසට නොපෙනෙන තරම් කුඩා දේවල් ඇසට වැටුණත් වෙන්න පුලුවන්. ඔබ අක්ෂි වෛද්යවරයා වෙත ගියොත් විශේෂිත අන්වීක්ෂ මඟින් බලලා එම ආගන්තුක ද්රව්ය පහසුවෙන් ඉවත් කරගන්න පුලුවන්.

 

🔺ඇස් ලෙඩ (Conjunctivitis)

 

විෂ බීජ නිසා එනම් බැක්ටීරියා, වෛරස හා දිලීර නිසා ඇස් රතු වීමට ප්රධානම හේතුවක් තමයි සාමාන්ය ව්යවහාරයේ හඳුන්වන "ඇස් ලෙඩ" හෙවත් අක්ෂි පටක ප්රදාහය (Conjunctivitis). මෙයින් ගොඩාක්ම සුලභ හා ඉක්මනින් පැතිරෙන්නේ වෛරසය ඇතිකරන ආසාදනය තමයි. ආසාදනය වුන කෙනෙක්ගේ කඳුළු ස්රාවයන් තව කෙනෙක්ගේ ඇස් මත ස්පර්ශ වීමෙන් රෝගය පැතිරෙනවා. ආසාදනය වුන අයගේ ලේන්සු, තුවා ආදිය පොදු පරිහරණය නොකිරීම මඟින් රෝගය පැතිරීම වළක්වා ගන්න පුලුවන්. වෛද්ය නිර්දේශ මත ගන්නා ප්රතිජීවක ඖෂධ මඟින් රෝගය මනාව පාලනය කරගන්න පුලුවන්.

 

🔺ඇස් මතුපිට රුධිර වහනය

 

ඇසට තියුණු නැති දේවල් (Eg: Ball) වැදීම නිසා වේදනාවකින් තොරව ඇසේ සුදු ඉංගිරියාව තද රතු පැහැ වීම මේ රෝග තත්වය විය හැකිය. ඇසේ ගැටෙන ද්රව්යයේ පීඩනය නිසා සුදු ඉංගිරියාවේ මතුපිට ඇති රුධිර නාලයකට හානි වී සුළු රුධිර වහනයක් වීම මෙයට හේතු වෙනවා. මේ තත්වය සති 2-3 වුණත් පවතින්න පුලුවන්. නමුත් සම්පූර්ණයෙන්ම සුව වෙනවා.

 

3.ඇස් කැසීම

 

ඇස් කැසීම වගේම කැසීමට පසුව ඇස්වලින් කඳුළු ගැලීම කියන දෙකම අක්ෂි සායනවල නිතර අහන්න ලැබෙන ගැටළුවක්. එයට ප්රධාන හේතු කීපයක් බලමු.

 

🔺ඇස්වල වියළි භාවය (Dry Eyes)

 

ඔබ දන්නවාද? ඇස්වලින් කඳුළු ශ්රාවය වීම ඔබ අඬන මොහොතක නැතිව දවසේ පැය 24ම සිදුවනවා කියලා. එහෙම වෙන්නේ ඇසේ එළියට නිරාවරණය වන කොටස මනා තෙතමනයකින් යුතුව තබා ගන්න. ඉන් වාසි ගණනාවක් තියෙනවා. බැක්ටීරියා වෛරස හෝ වෙනත් දෑ ඇසට වැටුණ ගමන් කඳුළු මඟින් ඒවා සෝදා හරිනවා. ඒ විතරක් නෙවෙයි. ඉන් අපේ ඇසට සුව පහසු භාවයක් ඇති කරනවා. මේ කඳුළු තරලය (Tear Film) ඇසේ මතුපිට පෘෂ්ඨයේ අඩුවීම හෝ නැතිවීම ඇස් වියළීමට (Dry Eyes) හේතු වෙනවා. එවිට ඇස් කසන්න ගන්නවා.

රූපවාහිනිය, පරිගණක තිරය, ස්මාර්ට් ජංගම දුරකතන තිරය ඉතා ළඟට කරගෙන වැඩි වේලාවක් නැරඹීම නිසා කඳුළු තරලය වාෂ්ප වෙලා ඇස් ඉක්මනින් වියළීමට ලක්වනවා. එනිසා වර්තමානයේ මේ රෝග තත්වය වැඩි වශයෙන් දකින්නට පුලුවන්.

වෛද්යවරයා නියම කරන කෘතිම කඳුළු බෙහෙතක් (Artificial Tears) ආධාරයෙන් ඔබට මින් සුවය ලබා ගන්න පුලුවන්.

 

🔺අක්ෂි ආසාත්මිකතාවය (Allergic Conjunctivitis)

 

ඇස මත වැටෙන විවිධ දෑ නිසා සමහර පුද්ගලයන්ට ඇස්වල ආසාත්මිකතා (Allergy) ඇතිවන්න පුලුවන්. එවැනි තත්ව සුලභව ඇතිකරන්නේ දූවිලි, මල්වල පරාග, ඇඳුම් කැබලි, සීතල වාතය වැනි දේවල් තමයි.

ඒත් එක් එක් පුද්ගලයාට විවිධ ආසාත්මික කාරක (Allergen) තමයි රෝගය ඇතිකරන්නේ.

නැවත නැවත මේවාට නිරාවරණය වුනොත් ඒ සෑම විටකම රෝගය මතුවෙන්න පුළුවන්. ඒ නිසා තමන්ට රෝගය ඇතිකරන ආසාත්මික කාරක (Allergen) දන්නවා නම් ඒවාට නිරාවරණය නොවී සිටීම ඉතා වැදගත් .

ආසාත්මිකතාව නිසා ඇතිවන ඇස් කැසීම ඖෂධ මඟින් නිට්ටාවටම සුවකරගන්න පුලුවන්කම තියනවා.

 

4. ඇස ඇතුලේ අධික වේදනාව

 

ඇස්වලින් වේදනාවක් ගෙනදීම මා කලින් සඳහන් කළ ඕනෑම ආකාරයේ අක්ෂි රෝග තත්වයක් සමඟ පටන් ගන්න පුලුවන්. නමුත් හදිස්සියේම හටගන්නා අක්ෂි ගෝලය ඇතුලෙන් එන අධික වේදනාව, ඇස රතුවීම, පෙනීම නැතිවීම හා හිසේ කැක්කුම, අක්ෂි ගෝලයේ පීඩනය ඉහළ යාම නිසා සිදුවන්නක් විය හැකියි. මෙය හඳුන්වන්නේ ග්ලුකෝමාව (Acute Glucoma) ලෙසයි.

ග්ලුකෝමා රෝග තත්වයේ ප්රබේද ගණනාවක් තියනවා. නමුත් මං ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ හටගන්නවා නම් ඔබ හැකි ඉක්මනින් රෝහලේ අක්ෂි අංශය වෙත යොමු විය යුතුයි.

එවිට රෝහලේ අක්ෂි වෛද්යවරයාට ඔබේ අක්ෂි ගෝලයේ පීඩනය (Intraocular Pressure) මැන බලා සුදුසු පරිදි ප්රතිකාර කළ හැකියි.

 

ඉතින් ඔබට මෙකී නොකී ඇස් සම්බන්ධ රෝග ගැන තවත් ඉදිරි ලිපි වලින් කතා කරමු.

 

✍️ සටහන:

Dr.Lahiru Randika Lahiru Randika Karunapala

Medical officer

Eye unit

DGH Nuwaraeliya


#healthcare #healthy #healthylifestyle #eyeprotection #eyeproblems #medicare #medicine #wecare

blog_image
blog_image