blogImage

විශාදය ගැන ඔබ දැනුවත්ද? (Depression)

විශාදය ගැන ඔබ දැනුවත්ද? (Depression)

 

මෙය මෑත කාලීන සමාජයේ ඉතා සුලබව දැකිය හැකි මානසික රෝගී තත්වයකි. ප්රතිකාර මඟින් සුවකර ගත හැකි රෝගී තත්වයක් වුවත් බොහෝ දෙනෙකු ප්රතිකාර ගැනීමට යොමු නොවන නිසා තනිවම පීඩා විඳීමට සිදුවන රෝගී තත්වයකි.

මොළයේ ඇති රසායනික ද්රව්ය වල සිදුවන අසමතුලිතතාවක් නිසා මෙය හට ගැනේ.

මෙය මානසික රෝගයක් වුවද , කායික වශයෙන් ද රෝග ලක්ෂණ දැකගත හැකිය.

 

🔶 මෙම රෝගයේ ලක්ෂණ වන්නේ,

 

1.නිතර සිතේ පවතින දුක්බර හා කණස්සලු ස්වභාවය

2.ආශාවෙන් කළ කී දෑ තවදුරටත් එසේ නොවීම

3.ශරීර ශක්තිය අඩු බව

4.නින්ද අඩුකම, නින්දට කඩින් කඩ බාධා පැමිණීම, ඉතා අළුයම අවදි වීම

5.තම ජීවිතයට හානියක් කරගැනීමට සිතීම

6.ආහාර අරුචිය, බර අඩුවීම

7.අසුභවාදී සිතුවිලි ඇතිවීම

8.අධික වෙහෙසකර බව

9.නිරන්තරයෙන් ඇතිවන හිසරදය, ඇඟපත වේදනාව/දැවිල්ල

10.අධික ලෙස කේන්ති යාම

11.අවධානය අඩුකම

12.ලිංගික ක්රියාවන් සඳහා වෙනදාට වඩා ආශාව අඩුවීම, ලිංගික අප්රාණිකත්වය

 

🛑 මෙවැනි රෝග ලක්ෂණ සති 2කට වඩා වැඩි කාලයක් දිගටම පවතී නම් මනෝ වෛද්යවරයෙක් හමුවීම ඉතා වැදගත් වේ.

 

🔶 විශාදය සඳහා ඇති ප්රතිකාර මොනවාද?

 

මෙවන් රෝගියකු මනෝ වෛද්යවරයෙකුගේ ඇගයීමකින් පසු ප්රතිකාර ක්රම කීපයකට යොමුකරනු ලැබේ.

 

1.ඖෂධ ප්රතිකාර

වෛද්යවරයා නිර්දේශ කරන කාල සීමාව තෙක් (උදා: අවම මාස 6ක්) නොකඩවා ලබාගැනීම ඉතා වැදගත් වේ. මානසික සුවයක් ලද නමුත් වෛද්ය අවවාද වලින් තොරව ඖෂධ ගැනීම නතර නොකළ යුතුය.

 

2.මනෝ චිකිත්සක ප්රතිකාර ක්රම

මද වශයෙන් විශාද තත්වයන්ට පත්වී ඇති අවස්ථා වලදී භාවිතා වේ.

 

3.විද්යුත් කම්පන ප්රතිකාර ක්රමය (ECT)

 

විශාදය ඉතා තදබල ලෙස ඇති අවස්ථා වල ඉක්මන් සුවය ලබාගැනීමට භාවිතා වන ආරක්ෂාකාරී සාර්ථක ප්රතිකාර ක්රමයකි. මෙහිදී රෝගියා මද වේලාවකට නිර්වින්දනය කිරීමෙන් පසුව විද්යුත් කම්පනයක් ලබාදෙනු ලැබේ.

 

ඉහත සඳහන් රෝග ලක්ෂණ ඇති අයෙකු හඳුනන්නේ නම් ඔවුනට ළඟම සිටින මනෝ වෛද්යවරයා හමුවීමට සලස්වන්න.

එසේම විශාදය වැඩිවීමට හේතුවන මත්පැන් හා මත්ද්රව්ය භාවිතයෙන් වැළකීමටද ඔවුනට උපකාර වන්න.

 

ඔබ දැනටමත් විශාදයෙන් පසුවන්නේ නම් ඔබගේ ඖෂධ මාත්රාවන් නිවැරදිව ගන්න. නිර්දේශ කරන ලද ආකාරයට මනෝවෛද්ය සායන හා චිකිත්සක ප්රතිකාර සඳහා යොමුවන්න.

තම ජීවිතයට හානි කරගැනීමට සිතුවිලි පහළ වන විටද, නියමිත ඖෂධ මාත්රා ලබාගැනීමේදීත් රෝග ලක්ෂණ පීඩාකාරී ලෙස පවතින විටද, හැකි ඉක්මනින් ඔබේ මනෝවෛද්යවරයා හමුවීමට කාරුණික වන්න.

 

සටහන:

වෛද්ය දිනේෂ් ජයවීර පටබැඳිගේ Dinesh Jayaweera Patabandige

මානසික වෛද්ය ඒකකය

පේරාදෙණිය රෝහල

 

#healthcare #DepressionIsNotAJoke #depression #depressionisnojoke #healthtips #mentalhealth #mentalhealthawareness

blog_image
blog_image