blogImage

අලුත උපන් බිළිඳා

බබා කහ වෙලා නිසාද ඩොක්ටර් ලයිට් එකට අල්ලන්නේ?

අනේ බබාට ප්රශ්නයක් නෑ නේද ඩොක්ටර් ලයිට් එකට ඇල්ලුවා කියලා?

 

මේ කතාව ගොඩක් අම්මලා මගෙන් අහන නිසා ඒ ගැන චුට්ටක් කියලා දෙන්න කියලා හිතුවා.

අම්මලා කියන මේ තත්වයට අපි වෛද්ය විද්යාත්මකව කියන්නේ Neonatal Jaundice (නියෝනේටල් ජොන්ඩිස්) කියලා.

 

මොකක්ද මේ Neonatal Jaundice කියන්නෙ කියලා අපි බලමුකො.

 

බබෙක් ඉපදිලා මුල්ම දින 28 යනකම් අපි එයාලට කියන්නේ Neonate කියලා. අලුත උපන් බිළිඳා කියන තේරුම තියෙන වචනයක් මේක.

ඒ වගේ බබෙක්ගේ සම හා ඇසේ පෘෂ්ඨයේ (Sclera) කහ පාට වීම තමයි Neonatal Jaundice කියලා කියන්නේ.

ඉතිං අපේ අම්මලා නම් බබා කහ වෙලා කියලා කියන්න පුරුදු වෙලා ඉන්නවා.

 

මෙහෙම පුංචි බබාලා කහ වෙන්නෙ ඇයි කියලා අපි බලමුකො.

 

අපේ ඇඟේ ලේ වල තියෙන ප්රධානම සෛල වර්ගය තමයි රතු රුධිරාණු. ඉතිං මේ රතු රුධිරාණු වලට ආයු කාලයක් තියනවා. ආයු කාලය ඉවර වුන රතු රුධිර සෛල අපේ ඇඟ බිඳ හෙලනවා. ඒ අතරතුර අලුතින් සෛල ඇඟෙන් හදනවා.

මේ රතු රුධිර සෛල විනාශ වෙද්දී ඇතිවන සංඝටකයක් තමයි Unconjugated Bilirubin කියන්නේ. මේ සංඝටකය අපේ ඇඟ ඇතුළෙදි වෙනස්කම් කරලා ශරීරයෙන් බැහැර කරනවා.

මේ කියන Unconjugated Bilirubin නියමිත අගයට වඩා වැඩි වුනාම තමයි කහ වෙන Jaundice තත්වය ඇති වෙන්නෙ.

පුංචි බබාලගේ මේවා වැඩි වෙන්නෙ කොහොමද කියලා දැනගන්න එක වටිනවා.

චූටි බබාලගේ රතු රුධිර සෛල වල ආයු කාලය වැඩිහිටියන්ට වඩා අඩුයි. හැබැයි ලොකු අයට වඩා වැඩිපුර ප්රමාණයක් ඒ සෛල බබාලගෙ තියනවා.

සමහර බබාලගේ රතු රුධිරාණු බිඳ හෙලීම වැඩියි.

එයාලගේ පුංචි අක්මාවට එහෙම එකතු වෙන Unconjugated Bilirubin ඇඟෙන් අයින් කරගන්න බැරි වෙනවා.

 

මේක බබාලගේ සිදුවන සාමාන්ය ක්රියාවලියේ අපගමනයක් වීමකි. ඒ කියන්නේ ස්වභාවික සිදුවන දේක පුංචි වෙනස්කමක්.

 

සාමාන්යයෙන් බිළිඳා ඉපදිලා දෙවන හෝ තුන්වන දවසෙදී මෙහෙම වෙන එක අපි Physiological Jaundice කියලා කියනවා.

 

ඒත් දරුවා ඉපදෙන කොටම කහ වෙලා ඉන්නවානම් ඒක වෙනත් රෝගී තත්වයක් නිසා වෙන්න පුළුවන්.

සමහර විට අම්මාගෙයි බබාගෙයි ලේ වල රීසස් සාධකයේ නොගැලපීම නිසා වෙන්නා පුළුවන්.

එහෙම නැත්නම් රුධිරය සම්බන්ධ වෙනත් රෝග තත්වයක් වෙන්නත් පුළුවන්.

ඉපදෙන කොට දරුවා කහ වීමට මේ වගේ විවිධ හේතු තියනවා.

 

සමහර බබාලා සති කිහිපයකට පස්සෙ මේ තත්වය නිසා හොස්පිටල් එකට එනවා. එහෙම වෙන්නෙ ගොඩාක් වෙලාවට මව්කිරි වල සංඝටක නිසා හෝ මව්කිරි ලබාදීම අඩුවීම නිසා වෙන්න පුළුවන්.

මේකට Breast Milk Jaundice කියලා කියනවා.

 

කවුද මෙහෙම වෙන්න අවදානමක් තියන බබාලා කියලා බලමුකො.

 

1.පවුලේ ජානමය හේතු

පුංචි බබාගේ අයියලාට අක්කලාට පොඩි කාලේ මේ තත්වෙ තිබ්බා නම්

2.අම්මට බබා ලැබෙන්න ඉන්නකොට දියවැඩියා නිසා සීනි වැඩිවෙලා තිබ්බා නම්

3.බබා බඩේ ඉද්දි ආසාදන ඇති වුණා නම් (මේවට අපි Congenital Infection කියලා කියනවා)

4.බබා අඩු මාසෙන් ඉපදුනා නම්; බබාගේ උපන් බර අඩු නම්

 

මේ වගේ අවස්ථා වල Jaundice අවදානමක් තියනවා.

 

හරි, දැන් බබා කහ වෙලා නම් අපි මොකද කරන්නේ?

 

දරුවාගේ Serum Bilirubin, DAT, FBC, Hemoglobin, Blood Picture වගේ සරල පරීක්ෂණ කරනවා. මේ කරන්න ඕනි පරීක්ෂණය අවශ්යතාවය අනුව ඩොක්ටර් තීරණය කරයි.

මේකට කරන ප්රධාන ප්රතිකාරය තමයි Phototherapy. නිල් පාටට හුරු ආලෝකයකට දරුවා නිරාවරණය කරන එක. ඒකට තමයි අම්මලා ලයිට් එක අල්ලනවා කියලා කියන්නේ.

 

මෙතනදි වෙන්නේ මේ ආලෝක කිරණවලින් Unconjugated Bilirubin ශරීරයෙන් ඉවත් කරන්න පුළුවන් සංඝටක බවට පත්කරනවා. එහෙම උනාම එකතු වෙලා තියන බිලිරුබීන් ප්රමාණය අඩුවෙලා ක්රමයෙන් බබාගෙ කහපාට අඩුවෙනවා.

 

බබාට කහ වෙන එකෙන් හරි ලයිට් අල්ලන එකෙන් හරි බලපෑමක් තියනවද?

 

බිලිරුබීන් (Unconjugated Bilirubin) අගය ඉතාම වැඩි වුනාම ස්නායු වලට බලපෑමක් ඇති කරලා Kernicterus නම් රෝගය ඇති කරනවා. හැබැයි, දැන් රෝහල් පද්ධතියේ දියුණුව සමඟ මේ තත්වය දක්නට ලැබෙනවා අඩුයි.

Phototherapy වලින් බබාට වෙන හානිය ඉතා දුලබයි.

 

අම්මලා විදියට ඔයාලා මොකද කරන්න ඕනි කියලා දැනුවත්ද?

 

කලින් කියපු අවදානම් තත්ව ගැන දැනගන්න. බබාගේ හම හෝ ඇස් කහ වෙලානම් ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න. නැත්නම් මිඩ්වයිෆ් මිස් හරි මුණ ගැහෙන්න. පිටරට වල නම් මේ ලෙඩේට Phone App පවා හදලා තියනවා. ලංකාවේ අපේ අම්මලා මේ ගැන දැනුවත් වෙන එක ගොඩක් වටිනවා.ඒකට මේ වගේ දැනුම share කරන එක වැදගත්.😁

 

සටහන:

Dr. Madurika Ediriweera

Medical Officer

Premature Baby Unit

 

DGH Nawalapitiya

 

blog_image
blog_image