blogImage

අපි හරියටම බෙහෙත් බොන්න දන්නවද?

මාසික කායික රෝග සායනය කියන්නේ කාර්යබහුල වගේම හරිම රසබර අත්දැකීම් රාශියක එකතුවක්. ලංකාවේ තරමක් පිටිසර බද රෝහලක සේවය කරන මා හට මුණගැසෙන්නේ අහිංසක ගැමි ජනතාවයි. ඔවුන් සියලු සෞඛ්ය අවශ්යතා සපුරා ගන්නේ මේ පුංචි ප්රාදේශීය රෝහලෙන් ය.

 

මේ සායනයේදී වූ අපූරු සිද්ධියකි.

 

"මහත්තයා, මට මේ මාසෙට බෙහෙත් නම් ඕනි නෑ. පෙසර් එක බලාගෙන යන්න කියලා හිතාගෙන ආවේ"

 

"කෝ බලමු, අම්මට ප්රෙශර් එකයි, දියවැඩියාවයි දෙකම තියනවනේ. සීනි චෙක් කරගෙනද ආවේ."

 

"ඔව්, සීනි නෑ මහත්තයා"

 

"හොඳයිනේ, රිපෝට් එක දෙන්නකො බලන්න"

 

"රිපෝට් ගන්නෙ නෑ මහත්තයා, මගේ සීනි වැඩි නෑ මහත්තයා සීනි වැඩි වුනාම මට හොඳට තේරෙනවා. එතකොට මගේ ඇඟට හරි නෑ. මේ දවස් ටිකේ දෙයියන්ගෙ පිහිටෙන් එහෙම කිසි අමාරුවක් නෑ. ඒ හන්දා මම සීනි බෙහෙත් බිව්වෙත් නෑ. මේ ගිය මාසෙ දුන්න බෙහෙත් ටික"

 

ගියවර ලබාදුන් බෙහෙත් සියල්ල ඇය මේසය මත තැබුවාය.

 

"කෝ මේ බෙහෙත් බීලා නෑනේ"

 

"ඔව් මහත්තයා, මං සීනි, පෙසර් වැඩි වුනොත් විතරනෙ බෙහෙත් බොන්නේ"

 

මේ අපූරු සංවාදයේ ඉතිරිය මා සටහන් නොකරමි. දියවැඩියාව හා අධි රුධිර පීඩනය ගැන ඒ අම්මාට පැහැදිලි කර දී ඒවා පාලනයේදී ඖෂධ වල කාර්ය භාරය අවබෝධ කර දීමට මම කළ උත්සහයේ ප්රතිඵල ලබන මාසයේ ක්ලිනික් එකේදී දැක ගැනීමට හැකිය.

මෙය රජයේ රෝහල්වල සායන වල වෛද්යවරුන්ට මුහුණ දීමට සිදුවන පොදු කාරණයකි. එබැවින් ඖෂධ භාවිතය ගැන සටහනක් තැබීමට සිතුවෙමි.

බටහිර වෛද්ය විද්යාවේ ඖෂධ විවිධ ස්වරූප වලින් පවතී.

පෙති වර්ග, කරල්, සිරප් වර්ග, ක්රීම් හා ආලේපන ආදී ලෙස බොහෝ මාදිලියේ ඖෂධ ඇත. මේවා භාවිතයේදී අප සැලකිලිමත් විය යුතු කරුණු, යම් යම් ඖෂධ ලබාගත යුතු ආකාර පිළිබඳව ලිපි මාලාවකින් දැනුවත් කිරීමට සිතුවෙමි.

 

🔺පෙති බොන්න ඕනි මොන වෙලාවටද?

 

මේ පිළිබඳව විස්තර සහිතව මේ ලිපියෙන් කථා කිරීමට අදහස් කරමි.

 

බෙහෙත් පෙත්තක් අපේ මුඛයෙන් ඇතුලු වීමෙන් පසුව ආහාර මාර්ගයෙන් ශරීරයට අවශෝෂණය කර ගැනීමෙන් පසු රුධිරයට මුදා හරියි. මෙය ඉතා සංකීර්ණ ක්රියාවලියක් වන අතර සරලව තේරුම් ගැනීමේ පහසුව උදෙසා මෙසේ විස්තර කරමි.

 

මේ අන්දමට රුධිරයේ ඖෂධ සාන්ද්රණය ක්රම ක්රමයෙන් වැඩි වෙයි. එය උපරිම අගයකට පැමිණි විට එය Peak plasma concentration හෙවත් උපරිම ප්ලාස්මා සාන්ද්රණ අගය නම් වේ. මේ අතරතුර ක්රම ක්රමයෙන් රුධිරයේ ඖෂධ බැහැර කිරීමද ආරම්භ වේ. බොහෝ විට මෙය වකුගඩු වලදී සිදුවෙයි. මේ නිසා උපරිම අගයක පැවති සාන්ද්රණය ක්රමයෙන් අඩු වී යයි.

 

යම් ඖෂධයක බලාපොරොත්තු වන ප්රතිඵලය ලබා ගැනීමට එයි. නියමිත සාන්ද්රණ මට්ටමකට වඩා වැඩිපුර පැවතිය යුතුය. මේ අගය Minimum effective concentration හෙවත් අවම කාර්යක්ෂම සාන්ද්රණ අගය ලෙස හඳුන්වයි.

රුධිර ප්ලාස්මාවේ ඖෂධ සාන්ද්රණය මේ අගයට වඩා වැඩි අගයක පවතින විට අපට එම ඖෂධයෙන් බලාපොරොත්තු වන ප්රතිඵලය ලැබේ.

 

මෙවැනි සාධක කිහිපයක් විශ්ලේෂණය කිරීමෙන් පසු එම ඖෂධය දිනකට කී වතාවක් ලබා ගත යුතුද යන්න තීරණය කරයි.

 

ඔබ දැනටමත් දන්නා පරිදි සමහර ඖෂධ දිනකට එක් වරක්, දෙවරක්, තුන් වරක් යනාදී ලෙසට ලබාගැනීමට උපදෙස් ලැබේ.

 

අපේ රෝගීන් මෙය භාවිතා කරන ක්රමය වැරදිය. නිවැරදීව නම් මෙය පැය 12කට වරක්, 8කට වරක්, 24කට වරක් ලෙස වෙනස් විය යුතුයි. මේ සඳහා බලපාන්නේ පෙර සඳහන් කළ ඖෂධ ක්රියාකාරීත්වයේ ගුණාංගයි.

 

අම්මලා කුඩා දරුවන්ට ඖෂධ ලබාදීමේදී මේ අයුරින් නිවැරදි පැය ගණනකට වරක් ලබා දීමට නැඹුරු වීමේ ප්රවණතාවය ඉතා අගනා දෙයකි.

 

නමුත් වැඩිහිටි ප්රජාව බෙහෙත් භාවිතා කරන ආකාරය බොහෝ විට වැරදි සහගතය.

උදාහරණයක් ලෙස දිනකට දෙවරක් ලෙස සඳහන් ඖෂධයක් භාවිතයේදී පළමු මාත්රාව උදෑසන අවදි වූ වහාම ලබාගන්නා අතර රාත්රී මාත්රාව සියලු වැඩ අවසානයේ නින්දට පෙර රාත්රී දහය පසු වී ලබා ගනී.

මේ නිසා උදේ හා රාත්රී මාත්රාව අතර වෙනස පැය 16-18 පමණ වන අතර රාත්රියේ සිට උදෑසන මාත්රාවට ඇති කාලය පැය 8-10 වීමට ඉඩකඩ පවතී.

මෙය වළක්වා ගැනීමට දිගු කාලීනව ඖෂධ ලබාගන්න රෝගීන් දවසේ නියමිත වේලාවකට ඖෂධ භාවිතයට හුරු විය යුතුය.

උදා: උදෑසන 8 සහ රාත්රී 8

උදෑසන 6 සහ සවස 6

මේ මඟින් නිවැරදිව පැය 12කට වරක් ශරීරයට ඖෂධ ලැබෙන අතර එය රෝග පාලනයට ඉමහත්ව බලපායි.

 

දිනකට තුන් වරක් ලබාගන්නා ඖෂධ පැය 8කට වරක් ලබාගැනීමට පුරුදු වන්න.

උදා: උදෑසන 6, දහවල් 2, රාත්‍රී 10

 

දිනකට වරක් ලබාගන්නා ඖෂධ දිනයේ නියම කරගත් වෙලාවක දිනපතා ලබාගන්න. කලින් දිනයේ ලබාගත් මොහොතේ සිට පැය 24 කට පසු නැවත ලබාගන්න.

උදා: දිනපතා රාත්‍රී 8

දිනපතා උදෑසන 6 යනාදී ලෙසින්

 

වැඩිහිටි ප්‍රජාව සමාජ මාධ්‍ය අඩුවෙන් භාවිතා කරන බව මා හොඳාකාරවම දනී. නමුත් ඔවුන්ගේ දරුවන්, මුණුබුරන් මේ පිළිබඳව දැනුවත් වීම වැදගත්‍ ය.

මන්ද යත් බොහෝවිට වැඩිහිටියන්ට ඖෂධ ලබාදෙන්නේ හෝ ලබාගන්නා ආකාරය පිළිබඳ ඔවුන්ට කියා දෙන්නේ දරුවන් නිසාවෙන් ය.

 

ඔබ මේ කරුණු පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත් ය.

 

මීට අමතරව,

1.පෙති කොච්චර කාලයක් බොන්න ඕනිද

2.කෑමට කලින් බොන්න ඕනි පෙති මොනවාද

3.පෙති කුඩු කරලා දරුවන්ට පෙව්වට කමක් නැද්ද

4.පෙති බොන ගමන් කන්න හොඳ නැති කෑම මොනවාද

5.පෙති දිගටම බිව්වොත් වකුගඩු වලට බලපානවද

 

ආකාරයේ සමාජයේ පවතින පොදු ගැටළු රාශියකට ඉදිරියේදී ලිපි මාලාවකින් ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමි.

 

නිවැරදි ඖෂධ භාවිතය මඟින් රෝග පාලනය සාක්ෂාත් කරගනිමු.

 

සටහන:

Dr. Damith S. Kumara Ruwan Gamagedara

Medical officer

Divisional hospital

 

Madulkele

 

blog_image
blog_image