blogImage

ඔස්ටියෝආතරයිටීස්

ඔස්ටියෝආතරයිටීස්

 

සන්ධි ආශ්‍රිත වේදනාව වයසට යාමත් සමඟ බොහෝ රෝගීන්ගේ පැමිණිල්ලකි. විශේෂයෙන් ම දණහිස් වේදනාව සමඟ පඩිපෙල් නැඟීම, බිම හිඳ ගැනීම සහ ඇවිද යාම වැනි දෛනික ක්‍රියාකාරකම් කරගැනීමට අපහසු වීම බොහෝ රෝගීන්ගේ ගැටලුවකි. මෙසේ වීමට ප්‍රධාන ලෙස බලපාන රෝගී තත්ත්වයකි "ඔස්ටියෝආතරයිටීස්".

 

ශරීරයේ අස්ථි දෙකක් හෝ කිහිපයක් හමුවන ස්ථානය සරලව සන්ධියක් ලෙස හැඳින්විය හැකිය. ශරීරයේ බර දරා ගැනීමට මෙන් ම චලනය කිරීමට සන්ධි උපකාර වෙයි. මේ සඳහා සන්ධියක සැකැස්ම ප්‍රධාන ලෙස ම බලපායි. අස්ථියක කෙළවර කාටිලේජ නම් අස්ථි තරම් දැඩි නොවන ආවරණයක් පවතියි. එමෙන් ම සමහර සන්ධි ආවරණය කර පටක ස්ථර පවතියි. එමෙන් ම ජෙල් වැනි ද්‍රව්‍යයකින් සන්ධිය පිරී පවතියි.

 

ඔස්ටියෝආතරයිටීස් නම් රෝගී තත්වයේදී මෙම කාටිලේජ ස්ථරය ගෙවීමකට එසේත් නැතිනම් තුනී වී යාමකට ලක් වෙයි. එමෙන් ම එහි කඩතොලු නිර්මාණය වේ. තව ද සන්ධියේ බාහිර ආවරණ ස්ථර ද දුර්වල වී යාම සිදු වේ. මේ නිසා සන්ධියේ අස්ථි අතර සුමට චලනය අඩාළ වී යයි. ඒත් සමඟ වේදනාව ජනිත වෙයි.

 

ඉහත කී හේතු නිසා මෙම රෝගීන්ගේ ප්‍රධාන රෝග ලක්ෂණය නම් සන්ධි වේදනාවයි. තව ද දවසේ වැඩකටයුතු කරගෙන යාමත් සමඟ එම වේදනාව වැඩිවීමකට ලක්වේ. එනිසා බොහෝ විට සවස් කාලය වන විට සන්ධි වේදනාව වැඩි වන බවට රෝගීහු පවසති. මීට අමතරව සන්ධි ඉදිමීම, සන්ධියේ තද ගතිය, සහ දෛනික ක්‍රියාකාරකම් සීමා සහිත වීම වැනි රෝග ලක්ෂණ ද දක්නට ලැබේ.

 

මෙම රෝගී තත්ත්වය ඇති රෝගීන් තේරුම් ගත යුතු ප්‍රධාන කරුණ නම් මෙම රෝග සම්පූර්ණයෙන් සුව කළ හැකි රෝගී තත්වයක් නොවන බවත් යම් තාක් දුරට පාලනය කර තබා ගැනීමත් ප්‍රතිකාර තුළින් අපේක්ෂා කරන බවත් ය. බොහෝ විට වයස අවුරුදු 50 ඉක්මවූ කාන්තාවන් අතර සුලබ මෙම රෝගී තත්ත්වය සමඟ අවුරුදු 30ක පමණ කාලයක් ජීවත් වීමට සිදුවෙයි. එබැවින් රෝගයේ මූලික අවධියේදී ම නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමත් එම ප්‍රතිකාර අඛණ්ඩව සිදුකර ගෙන යාමටත් රෝගීන් අවධානය යොමු කළ යුතු ය.

 

මෙම රෝගී තත්ත්වයෙහි ප්‍රතිකාරය ප්‍රධාන ඉලක්ක 2ක් අරමුණු කරගන්නා අතර ඒවා දීර්ඝ කාලීන ඉලක්ක වෙයි. වේදනාව පාලනය සහ කාටිලේජ දිය වීමේ වේගය අඩුකර දෛනික ක්‍රියාකාරකම් පහසු කරගැනීම එම අරමුණු 2යි.

 

වේදනාව පාලනය කිරීම සඳහා වේදනා නාශක භාවිතා කළ යුතු නමුත් දීර්ඝ කාලීන ලෙස වේදනා නාශක භාවිතා කිරීම ගැස්ට්‍රයිටීස් වැනි අතුරු ආබාධ ඇතිකිරීමට හේතුවක් වෙයි. එම නිසා මූලික ප්‍රතිකාර අවධියෙන් පසු අත්‍යාවශ්‍ය විට පමණක් වේදනා නාශක පෙති භාවිතයට ද වේදනා නාශක සමඟ ගැස්ට්‍රයිටීස් රෝගය අවම කරන පෙති භාවිතා කිරීමට ද රෝගීන් වගබලා ගත යුතු ය.

 

කාටිලේජ දියවීමේ වේගය පාලනය කිරීම සඳහා මෙම රෝගී පටක ගෙවීම තත්ත්වය හේතුවන සාධක පාලනය කළ යුතු ය. ජාන, වයසට යාම සමඟ ආදී විවිධ හේතු මේ සඳහා බලපාන අතර තරබාරු බව අපට පාලනය කළ හැකි ප්‍රධාන සාධකයකි. ඒ සඳහා අධික තෙල් සහිත ආහාරවලින් මිදීම ආදී ආහාර රටාවේ වෙනස්කම් ඇතිකර ගැනීම මෙන්ම දෛනික ව්‍යායාම ද අත්‍යවශ්‍ය වේ. ව්‍යායාම් කිරීම සන්ධියේ නිසි ක්‍රියාකාරීත්වයට ද මහෝපකාරී වන අතර සන්ධි තද වීමද අඩු කරයි. තව ද කළවා වල මස්පිඩු ශක්තිමත් කිරීමේ ව්‍යායාම මඟින් සන්ධියට එන බර අඩු කරගැනීම සඳහා වෛද්‍ය උපදෙස් මත දිනපතා ව්‍යායාම කිරීම ප්‍රධාන වෙයි.

 

තව ද දණහිස් මට්ටමට වඩා පහතට නොනැමීම වැනි දෛනික ජීවිතය සකසා ගැනීම ගැන ද අවධානය යොමු කළ යුතුය. වැසිකිළිය සඳහා කොමඩ් එකක් හෝ වල මතින් සිදුරක් කැපූ පුටුවක් තැබීම, ආගමික ස්ථානයේවී බිම හිඳ ගැනීම හෝ බංකු පරිහරණය වෙනුවට පුටුවක් භාවිතා කිරීම, තරප්පු නැඟීම බැසීම අවම වන ලෙස දවස සැලසුම් කිරීම ආදිය මෙහිලා වැදගත්‍ වේ.

 

ඇතැම් විට රෝගය උත්සන්න වූ විට සන්ධියට ස්ටෙරොයිඩ් එන්නත් කිරීමට වෛද්‍යවරයා නියම කළ හැකිය. මෙය තාවකාලික ප්‍රතිකාරයක් වන අතර ඒ සඳහා අනවශ්‍ය බියක් ඇති කරගැනීම අවශ්‍ය නොවේ. අවසාන වශයෙන් ශල්‍යකර්මයකින් කෘතිම සන්ධියක් සවි කිරීමට ද හැකිය.

 

කුඩා කළ සිටම හොඳ ආහාර පුරුදු පවත්වා ගැනීම මෙන් ම ප්‍රමාණවත් තරම් ව්‍යායාම කිරීම මෙම රෝගී තත්ත්වය ඇති වීම වළක්වා ගැනීමට මහෝපකාරී වනු ඇත.

 

සටහන:

Dr. Rasika Katugaha

RHO Rheumatology

DGH Matale

 

 

blog_image
blog_image