blogImage

Stroke / ආඝාතය

Stroke / ආඝාතය

 

ආඝාතය / stroke / paralysis වෙනවා කියන රෝගී තත්වය අද වන විට සුලබව දක්නට ලැබෙන රෝගී තත්වයක්. විශේෂයෙන්ම ලෝකයේ බෝ නොවන රෝග අවදානම් සාධක බහුල වීමත් (අධි රුධිර පීඩනය, දියවැඩියාව, ස්ථුලබව, ව්යායාම නොමැති කම) වෛද්ය විද්යාවේ දියුණුවත් සමඟ ආයු අපේක්ෂාව වැඩිවීමත් හේතුවෙන් ආඝාතය රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. ආඝාතය නිසා කිසියම් පුද්ගලයෙකු මරණයට පත්වීමට හෝ දීර්ඝ කාලීනව ආබාධිත තත්වයට පත් වන්නට ඉඩ තිබෙන අතර නිසි ප්රතිකාර ගැනීම, නිරන්තර වෛද්ය පරීක්ෂණයට ලක්වීම මඟින් ආඝාතය වළක්වා ගැනීමටත් ආඝාතයේ පසුකාලීන සංකූලතා වළක්වා ගැනීමටත් පුලුවන් වෙනවා. ශ්රී ලංකාවේ සෑම මිනිසුන් 1000 කගෙන් 10 කට ආඝාතය වැළඳීමේ සම්භාවිතා පවතිනවා.

 

🔺ආඝාතය යනු කුමක්ද?

 

ආඝාතය පහත දෙආකාරයට සිදුවිය හැකියි.

1.මොළයේ කිසියම් කොටසකට රුධිරය සපයන රුධිර වාහිනියක් අවහිර වීම මඟින් අදාල කොටසට රුධිර සැපයුම ඇණ හිටීම නිසා එම කොටස මියයාම/අකර්මණ්ය වීම.

2.මොළයේ රුධිර නාලයක් පුපුරා යාම නිසා මොළය ඇතුළතට රුධිරය වහනය සිදුවීම.

 

මෙයින් වඩාත්ම සුලබව දක්නට ලැබෙන ආකාරය වන්නේ පළමු ආකාරයට සිදුවන ආඝාතය යි.(රුධිර වාහිනී අවහිර වීම නිසා සිදුවන ආඝාතය)

 

🔺ආඝාතය සඳහා වන අවදානම් සාධක

 

ආඝාතය සඳහා වන ප්රධානම අවදානම් සාධක වන්නේ,

🔶අධික රුධිර පීඩනය

🔶දියවැඩියාව

🔶රුධිරයේ කොලෙස්ටරෝල් ප්රමාණය අධික වීම

🔶දුම් පානය

🔶අධික ලෙස මත්පැන් භාවිතය

 

මීට අමතරව,

🔶රුධිර නාල වල සහ හදවතේ පවතින දුර්වලතා

🔶ව්යායාම නොමැතිකම

🔶තරබාරු බව

🔶ජානමය සාධක

 

🔺ආඝාතය හඳුනාගන්නේ කෙසේද?

 

ආඝාතයේදී මොළයේ කොටසක් අකර්මණ්ය වන නිසාවෙන් එම කොටස මඟින් පාලනය කළ සිරුරේ කොටස සහ එහි කාර්යය අඩපණ වීම සිදුවේ.

මෙය විවිධාකාරයෙන් හඳුනාගත හැක.

1.හදිසියේ එක් ඇසක පෙනීම නොමැති වීම.

2.වචන ගොත ගැසීම.

3.කට එක් පැත්තකට ඇදී යාම

4.සිරුරේ එක් පැත්තක් අත සහ පාදය පණ නැතිවීම හෝ හිරි වැටීම.

 

මෙවැනි අවස්ථාවක මේ රෝග ලක්ෂණ ඉක්මනින් හඳුනා ගැනීමටත්, හැකි ඉක්මනින් ළඟම ඇති රෝහලට යොමු වීමත් ඉතාම වැදගත්. ඉතා ඉක්මනින් රෝහල්ගත වීම තුළින් ආඝාතය නිට්ටාවටම සුව කරගැනීමට හෝ ආඝාතය මඟින් සිදුවන සංකූලතා අවම කරගැනීමට පුලුවන්.

 

🔺ආඝාතය හඳුනාගන්නේ කෙසේද?

 

ආඝාතය රෝග ලක්ෂණ මතුවී රෝහල් ගත වූ පසු ඔබේ වෛද්යවරයා ඔබව පරීක්ෂාකර බලා හැකි ඉක්මනින් ඔබගේ මොළයේ CT Scan පරීක්ෂණයක් සිදු කරනු ලබනවා. එලෙස CT Scan යන්ත්රයක් ඔබේ රෝහලේ නොමැති නම් එවැනි යන්ත්රයක් පවතින රෝහලකට හැකි ඉක්මනින් ඔබව මාරුකර යැවීම සිදුකරනවා.

CT Scan පරීක්ෂණය මඟින් ඔබට ආඝාතය වැළඳී ඇති බවත්, මොන ආකාරයේ ආඝාතයක් (රුධිර වාහිනී අවහිර වීම හෝ රුධිර වාහිනී පුපුරා යාම) බවත් තහවුරු කරගත හැකියි.

 

🔺ආඝාතයට ප්රතිකාර තියෙනවද?

 

ආඝාතය සඳහා අවශ්ය ප්රතිකාර අපේ රෝහල් වල තිබෙනවා. නමුත් ආඝාතයේ රෝග ලක්ෂණ මතුව කොතරම් වේලාවකින් ප්රතිකාර සඳහා යොමු වෙනවාද කියන කාරණය මත එම ප්රතිකාර භාවිතා කිරීම සහ එහි සාර්ථකත්වය රඳා පවතිනවා. එම නිසා හැකි ඉක්මනින් ප්රතිකාර සඳහා යොමු වීම වැදගත්.

උදාහරණයක් ලෙස ආඝාතය වැළඳී පැය 4 1/2ක් ඇතුළත රෝහලට පැමිණියහොත් Alteplase යන ප්රතිකාරය ලබාදී අවහිර වී ඇති රුධිර වාහිනියේ අවහිරතාව නැතිකිරීම මඟින් මොළයේ අදාල කොටස මියයාම/අකර්මණ්ය වීම වළක්වා ගන්න පුලුවන්. එම නිසා ඉතා ඉක්මනින් රෝහලට පැමිණිය යුතුය කියන කාරණාව නැවතත් මතු කරන්න කැමතියි.

 

🔺ආඝාතය වළක්වා ගන්නේ කෙසේද?

 

මෙහිදී ආඝාතය වැළඳීමට පෙර එය වළක්වා ගැනීමත්, ආඝාතය වැළඳීමෙන් පසු ඇතිවන සංකූලතා වළක්වා ගැනීමත් සාකච්ඡා කළ යුතු වෙනවා.

විශේෂයෙන්ම තමන්ට ඉහත සඳහන් අවදානම් සාධක පවතිනවා නම් ඒ සඳහා නිසි ප්රතිකාර ලබාගැනීමටත්, නිරන්තරයෙන් ඒ සඳහා වන සායන/Clinic වලට සහභාගී වීමත්, නිසි පරිදි වෛද්ය උපදෙස් පිළි පැදීමත් වැදගත් වෙනවා.

ඒ වගේම වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාම වසරකට වතාවක්වත් තමන්ගේ රුධිර පීඩනය, රුධිරගත සීනී මට්ටම සහ කොලෙස්ටරෝල් ප්‍රමාණය පරීක්ෂා කරගත යුතු වෙනවා. එමඟින් බෝ නොවන රෝග කල් තියා හඳුනා ගැනීමටත් අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමටත් හැකි වෙනවා. විශේෂයෙන්ම වයස අවුරුදු 30-50 අතර වයස් වල පුද්ගලයන් වැඩි වශයෙන් ආඝාතයට ලක්වෙන ප්‍රවණතාවක් අපට මේවනවිට දක්නට ලැබෙනවා. ඒ පුද්ගලයන් තමන්ට බෝ නොවන රෝග සහ අවදානම් සාධක පවතින බව කළින් දැනුවත් වෙලා නැහැ වගේම දැනුවත් වී තිබුණත් නිසි ප්‍රතිකාර අරගෙන තිබුණෙ නැහැ.

 

තම උසට සරිලන බර පවත්වා ගැනීමත්, දුම් පානයෙන් වැළකීමත්, අධික ලෙස මත්පැන් භාවිතය නතර කිරීමත් සිදුකළ යුතු වැදගත් දෙයක්.

 

කිසියම් පුද්ගලයෙකුට ආඝාතය වරක් වැළඳුන හොත් ඔහුට/ඇයට යළිත් වරක් ආඝාතය පැමිණීමට අවදානම් පවතිනවා. එම නිසා නිසි ප්‍රතිකාර නියමාකාරයෙන් ගැනීම ඉතා වැදගත්. එමෙන්ම වෛද්‍ය උපදෙස් පිළිගැනීම, ව්‍යායාම සඳහා යොමුවීම (Physiotherapy) සහ අනෙකුත් නිර්දේශිත පරීක්ෂණ සඳහා යොමු වීම මඟින් ආඝාතයෙන් පසුව ඇතිවන සංකූලතා වළක්වා ගන්න පුලුවන්.

 

අවසාන වශයෙන් ආඝාතය කියන්නේ අපේ සමාජයේ ඉන්න නිහඬ මාරයෙක්. ආඝාතය නිසා බලපෑමට ලක්වන්නේ අදාල පුද්ගලායා සහ ඔහුගේ/ඇයගේ පවුල. මෙහිදී ආර්ථික, සමාජීය ලෙස විවිධ ආකාරයේ ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. මේ ආඝාතය සඳහා පවතින අවදානම් සාධක පාලනය තුළින් ආඝාතය වළක්වා ගන්න පුලුවන් වගේම ආඝාතය වැළඳී ඉතා ඉක්මණින් (පැය 4ක් ඇතුළත) රෝහල් ගතවීම මඟින් ආඝාතයෙන් ඇතිවන බලපෑම අවම කරගන්නට පුලුවන්. ඒ වගේම නිසි ප්‍රතිකාර ගැනීම මඟින් ආඝාතය වැළඳුනු පසුවත් ඇතිවන සංකූලතා වළක්වා ගන්න පුලුවන්.

 

සටහන:

රංජුල වාහලවත්ත Ranjula Wahalawatte

වෛද්‍ය නිලධාරී

හදිසි ප්‍රතිකාර ඒකකය

 

දිස්‌ත්‍රික්‌ මහ රෝහල, නුවරඑළිය

 

blog_image
blog_image