blogImage

ගර්භනී සමයේ වැළඳෙන අධි රුධිර පීඩනය

අධි රුධිර පීඩනය යනු ඕනෑම වයසක, ඕනෑම කෙනෙකුට වැළඳිය හැකි රෝගී තත්වයකි. එහිදී රුධිර නාළිකා තුළ රුධිරය ගලා යාමේදී ඇති කරන පීඩනය සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වේ.

 

ගර්භනී සමයේදී ශරීරය තුළ සිදුවන සාමාන්‍ය භෞතික හා රසායනික වෙනස්කම් නිසා රුධිර පීඩනයේ යම්කිසි අඩු වීමක් සිදු වේ.

 

නමුත් ගර්භනී සමයේදී මව්වරු 10 දෙනෙකුගෙන් එක් අයෙකුට පමණක් එක් වරක් හෝ රුධිර පීඩනය වැඩි තත්වයක් ඇතිවිය හැක. පාලනය කර නොගන්නා ලද අධි රුධිර පීඩනය හේතුවෙන්, මවට හා කුස තුළ සිටින දරුවා යන දෙදෙනාටම විවිධ සංකූලතා ඇතිවිය හැකියි. ඒවා අතර මවට මාරාන්තික Eclampsia (මේ ගැන පසුව විස්තර කෙරේ) තත්ව ඇතිවීම, එම නිසා නොමේරූ දරු උපත් සිදුවීමේ හැකියාව ඉහළ යාම, අඩු බර දරුවෙකු ප්‍රසූත කිරීමේ හැකියාව හා හදිසි කළල මරණය ප්‍රධාන වේ.

 

ගර්භනී සමයේ ඇතිවන අධි රුධිර පීඩනය අවස්ථා කීපයක් ලෙස විස්තර කළ හැක.

 

1.දීර්ඝ කාලීනව පවතින අධි රුධිර පීඩනය

 

මෙය මව ගර්භනී වීමට පෙර සිට පැවති අධි රුධිර පීඩනය ගර්භනී සමය දක්වා දිගුවීමක් ලෙස හඳුනා ගත හැක. එම නිසා මෙම තත්වය කළලයට සති 20 සම්පූර්ණ වීමට පෙර හඳුනාගත හැකිය. දරු ප්‍රසූතියෙන් පසුවත් සුව වීමකින් තොරව දීර්ඝ කාලීනව පවතී.

 

2.ගර්භනීබාවය නිසා වැළඳෙන අධි රුධිර පීඩනය

 

ගර්භනී සමය තුළදී කළලය හා වැදෑමහ ආශ්‍රිතව ඇතිවන සංකීර්ණ ජීව විද්‍යාත්මක හා රසායනික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස මෙම තත්වය ඇතිවන බව දැනට හඳුනාගෙන තිබේ. මෙය ගර්භනීබාවයට සති 20ක් සම්පූර්ණ වීමෙන් පසුව හඳුනාගත හැකි වේ. මෙය ගර්භනී සමයට පමණක් අදාළ තත්වයක් නිසා සාමාන්‍යයෙන් ප්‍රසූතියෙන් දින 42ක් ගත වීමට ප්‍රථම සම්පූර්ණ සමනයට පත්වේ.

 

3.පූර්ව එක්ලැමීසියා (Pre Eclampsia) තත්වය

 

ගර්භනීබාවය නිසා වැළඳෙන අධි රුධිර පීඩනය සහ මුත්‍රා සමඟ ප්‍රෝටීන පිටවීම යන තත්ව දෙකම එකවර ඇතිවීම මෙහිදී සිදුවේ. මෙය ද ගර්භනී සමයේ සති 20 කාලයෙන් පසුව ඇතිවී පශ්චාත් ගර්භනී සමයේ දින 42ක් ගත වීමට පෙර සම්පූර්ණයෙන් සුව වේ.

 

ඕනෑම ගර්භනී මවකට ඉහත සඳහන් කළ තත්වයක් ඇතිවිය හැකි වුව ද, අධි රුධිර පීඩනය ඇතිවීම සඳහා වැඩි අවදානමක් පවතින කණ්ඩායම් කිහිපයක් හඳුනාගෙන තිබේ.

 

පහත සඳහන් තත්වයන් යම් ගර්භනී මවකට අදාල වේ නම්, අධි රුධිර පීඩනය (විශේෂයෙන් Eclampsia තත්වය සඳහා) අවධානම වැඩි මවක ලෙස හඳුනාගත හැකිය.

 

ප්‍රථම වරට ගර්භනී වූ මවක වීම

පෙර ගර්භනී අවස්ථා වල අධි රුධිර පීඩනය පැවතීම

වයස අවු.40 ට වැඩිවීම

BMI දර්ශකය 35ට වැඩිවීම

නිවුන් දරු ගැබක් වීම

ගර්භනී සමයට පෙර සිටම වකුගඩු රෝග, දියවැඩියාව වැනි රෝග පැවතීම

අවසාන දරු ප්‍රසූතියේ සිට අවුරුදු 10කට වඩා ගත වී තිබීම

පවුල තුළ පූර්ව Eclampsia තත්වයක් තිබීම (මවට හෝ සහෝදරියන්ට)

 

ගර්භනී සමය තුළ මෙම තත්වයන් හඳුනා ගැනීම සඳහා සෑම සායන වාරයකදීම රුධිර පීඩනය මැනීම අනිවාර්‍යයෙන් සිදු කෙරේ. එසේ හඳුනා ගන්නා රෝගී මව්වරු සඳහා අදාළ පරිදි විශේෂ රුධිර හා මුත්‍රා පරීක්ෂණ සිදු කෙරේ. ශ්‍රී ලංකාව තුළදී මෙම මව්වරුන් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කෙරේ. බොහෝ විට අධි රුධිර තත්වය පාලනය කිරීම සඳහා ඖෂධ ලබාදීම සිදු කෙරේ.

 

ගර්භනී සමයේ අධි රුධිර පීඩනයට අදාළ අතිශය අවදානම් හා වැදගත් සංකූලතාවය වන්නේ Eclampsia තත්වයයි. එහිදී රුධිර පීඩනය ඉතා ඉහළ මට්ටමකට වැඩිවීම සිදුවන අතර එය ශරීරයේ මොළය, වකුගඩු, අක්මාව වැනි බහුවිධ අවයව වලට සෘජුව හානිවීම දක්වා වර්ධනය වේ. අපස්මාර රෝගයේදී මෙන් සාමාන්‍ය ව්‍යවහාරයේදී "ෆිට්" එක සෑදීම ලෙස හැඳින්වෙන දරුණු සංකූලතාවය ඇතිවිය හැක. එය මවගේ මෙන්ම කළලයේද ජීවිතය නැති කිරීමට වුව ද ප්‍රමාණවත් විය හැකිය.

 

ගර්භනී මවක ලෙස අධි රුධිර පීඩනය සාර්ථකව පාලනය කිරීමට ඔබ විසින් පිළිපැදිය යුතු කරුණු කාරණා කිහිපයක් පවතී.

 

1.පූර්ව ගර්භනී සායන වලදී හා ගර්භනී සායන වලදී ඔබගේ සායන ඉතිහාසය නිවැරදිව වෛද්‍යවරයා හා පවුල් සෞඛ්‍ය සේවිකාව වෙත ලබාදීම. මෙය දීර්ඝකාලීන අධි රුධිර පීඩනය හා අවදානම් තත්ව හඳුනා ගැනීම සඳහා අතිශය වැදගත් වේ.

 

2.සායන වලට නියමිත දිනට සහභාගී වීම හා ලබාදෙන උපදෙස් නිසි පරිදි පිළිපැදීම. ඔබට අධි රුධිර පීඩනය පවතී නම් දිනපතා/දිනක් හැර දිනක් රුධිර පීඩනය මැන සටහන් කිරීමට උපදෙස් ලබා දේ. එය මවගේ රෝග පාලනය නිශ්චය කිරීමට හා ඖෂධ මාත්‍රාව තීරණය කිරීමට අතිශය වැදගත් වේ.

 

3.ලබා දෙන ඖෂධ නියමිත වෙලාවට නියමිත මාත්‍රාවෙන් ලබා ගැනීම. බොහෝ විට දරු ප්‍රසූතිය තෙක් රුධිර පීඩනය පාලනය කිරීමට ඖෂධ භාවිතය හැර වෙනත් විකල්ප නොමැත. එම නිසා මවට හා දරුවාට ඇතිවිය හැකි සංකූලතා අවම කිරීම සඳහා නියමිත පරිදි ඖෂධ ලබාගැනීම අනිවාර්‍ය වේ.

 

4.වෛද්‍ය විද්‍යාත්මකව ගත් කල ගර්භනී සමයට අදාළ අධි රුධිර පීඩන තත්වයට අවසාන පිළියම වන්නේ දරුවා ප්‍රසූත කිරීමයි. එම නිසා ඔබ Eclampsia තත්වයට අවධානමක් පවතින විටදී හෝ දරුවා කුස තුළ දැඩි අවධානමකට පත් වී ඇත්නම් දරුවා ඉක්මනින් ප්‍රසූත කිරීම අවශ්‍ය විය හැක. සමහර විට මෙය නිසි පරිණතභාවයට පත්වීමට පෙර සිදුවිය හැක. ඔබගේ විශේෂඥ වෛද්‍යවරයා හා කාර්‍ය මණ්ඩලය දරුවා ප්‍රසූත කිරීමට අවශ්‍ය බව ඔබට දැන්වූ විට ඒ සඳහා සහයෝගය ලබාදීම වඩාත් සුදුසු වේ. එහිදී පවතින අවධානම් තත්ව හා ඉදිරියේදී ඇතිවිය හැකි සංකූලතා පිළිබඳව වෛද්‍යවරයා විසින් ඔබට පැහැදිලි කර දෙනු ඇත. ඒ සම්බන්ධව පැහැදිලි අවබෝධයක් ලබා ඒ සඳහා සහයෝගය ලබාදීම අවශ්‍ය වේ.

 

සටහන:

 

ඩිල්ෂාන් විමලසේන

වෛද්‍ය නිළධාරි

මහාචාර්ය ප්‍රසව හා නාරිවේද ඒකකය

ශික්ෂණ රෝහල පේරාදෙණිය

 

 

blog_image
blog_image