blogImage

ගැස්ට්‍රයිටිස්

ඔබගේ ආමාශය නිරන්තරයෙන්ම අධික ආමලික ස්වභාවයකින් යුක්ත වේ.  මෙම ආම්ලික භාවයෙන්, ආමාශය  සෑදී ඇති විශේෂිත පේශි වර්ගය ආරක්ෂා කරනු ලබන්නේ ආමාශයේ ඇතුළතින්ම පිහිටි විශේෂිත වූ පටලයක් මගිනි. විවිධ හේතූන් නිසා මෙම ආරක්ෂිත පටලයට හානි විය හැක.  එසේ හානි වූ විට, එම හානි වූ ස්ථාන වලින් ඇතිවන ප්‍රදාහය(inflammation) නිසාවෙන් ගැස්ට්‍රයිටිස් නම් තත්ත්වය ඇතිවේ. මෙම ප්‍රදාහය සඳහා ප්‍රධානම හේතුව වන්නේ Helicobacter pylori නම් වූ විශේෂිත බැක්ටීරියාවයි.

 

⭕️ ගැස්ට්‍රයිටිස් සහ අජීර්ණය අතර වෙනස්කම් මොනවාද ?

 

✅ ගැස්ට්‍රයිටිස් සහ අජීර්ණය අතර සමහරක් රෝග ලක්ෂණ සමාන බවකින් යුක්ත වේ. නමුත් අජීර්ණය සිදුවන්නේ අප ගන්නා ආහාර වල සිදුවන ජීර්ණ ක්‍රියාවලියේ අසමතුලිතතාවයක් නිසාවෙනි. එසේම ගැස්ට්‍රයිටිස් තත්ත්වයේදී සිදු  වන්නේ ආහාර ජීර්ණ ක්‍රියාවලියේ වෙනසක් නොව ආමාශයේ බිත්ති වලට සිදුවන හානියකි.

 

⭕️ ගැස්ට්‍රයිටිස්  වැළඳිය හැක්කේ කාහටද?

 

✅ වයස වැඩි වීමත් සමඟම gastritis  වැළඳීමට හැකි සම්භාවිතාව වැඩිවේ. එයට හේතුව වන්නේ, වැඩිහිටියන්ගේ ආමාශයේ ආස්තරනය කරන ආරක්ශිත පටලය වයසට යාමත් සමඟ සිහින් බවට පත් වීමත්, වැඩිහිටියන්ගේ පරිවෘත්තීය ක්‍රියා සිදුවන වේගය අඩු වීම හා හානි වූ පටලය නැවත යථා තත්වයට පත්වීමට යන කාලය වැඩි වීමයි.

 

⭕️ ගැස්ට්‍රයිටිස් සඳහා හේතු මොනවාද?

 

1. අධික ඇල්කොහොල් භාවිතය. : ඇල්කොහොල් මගින් ආමාශයේ ඇතුළු ආරක්ෂක පටලය විනාශ කරනු ලබයි.

2. ප්‍රතිශක්තිකරනය අවම වීම. : දිය වැඩියාව, විවිධ පිලිකා, ක්ෂය රෝගය නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරන මට්ටම අඩු වේ. එවිට හානි වූ පටලය නැවත යථා තත්වයට පත් වීම අවම වේ.

3. බැක්ටීරියා ආසාදන :  Helicobacter pylori වැනි බැක්ටීරියා මෙම හානි වූ ස්ථෙන වලට ආසාදනය විය හැක. එවිට එම ආසාදනය වූ ස්ථාන වල වේදනාකාරී සියුම් තුවාල ඇති වේ.

4. දියවැඩියාව : දිය වැඩියාව නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරනය අඩාල කරනු ලබන අතර, එවිට හානි වූ පටලය යථා තත්ත්වයට පත් වීමට කල් ගත වේ.

5. ඖෂධ වර්ග : වේදනා නාශක ලෙස භාවිතා කරන සමහර ඖෂධ(NSAIDs) වල හා පිළිකා සඳහා ලබාදෙන සමහර ඖෂධ වල අතුරු ප්‍රතිපලයක් ලෙස  ගැස්ට්‍රයිටිස් තත්තවය ඇති විය හැක.

6. ශාරීරික සහ මානසික ආතතිය. : ශරීරයේ ඇතිවන විවිධ රෝග, මානසික ආතතිය නිසාද ගැස්ට්‍රයිටිස් තත්තවය ඇති විය හැක. (stress ulcers)

 

⭕️ ගැස්ට්‍රයිටිස් වල රෝග ලක්ෂණ මොනවාද?

 

✅ ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පෙළෙන වැඩිදෙනෙක් රෝග ලක්ෂණ වලින් යුක්ත නොවේ.  එහෙත් රෝගය උත්සන්න වූ විට රෝග ලක්ෂණ පෙන්විය හැක.

 

1. තාර වැනි මල පිටවීම.

2. බඩ පිපීම.

3. ඔක්කාරය.

4. කෑම ස්වල්පයක් ආහාරයට ගත් පසුවද බඩ පිරුන ස්වභාවයක් යුක්ත වීම.

5. කෑම අරුචිය.

6. බඩේ ඇතිවන දැවිල්ල.

7. පපුව මැදින් උගුර දෙසට ගලා එන වේදනාව.

8. නිතරම ඉක්කා වැටීම.

9. ආහාර ගැනීමට ප්‍රමාද වුන විට හා කෑම ගත් පසු බඩේ ඇතිවන අපහසුතාවය.

10. දීර්ඝ කාලීන බර අඩු වීම.

 

⭕️ ගැස්ට්‍රයිටිස් හඳුනා ගන්නේ කොහොමද?

 

✅ ප්‍රධාන වශයෙන්ම ඔබ ඉදිරිපත් කරනු ලබන රෝග ලක්ශණ අනුව වෛද්‍යවරයා විසින් ගැස්ට්‍රයිටිස් රෝගය සායනික මට්ටමෙන් හඳුනාගෙන ප්‍රතිකාර වලට යොමු කරනු ඇත. එසේම ගැස්ට්‍රයිටිස් රෝගය හඳුනා ගැනීමට වෛද්‍ය විද්‍යාව තුල පරීක්ෂනණ කිහිපයක් ඇති නමුත් ලංකාව තුල මෙම පරීකෂණ සියල්ල සඳහා පහසුකම් අවම වේ.

 

1. එන්ඩොස්කොපි පරීක්ෂණය. : මෙහිදී මුඛය හරහා ආහාර මාර්ගයට ඇතුලත් කරන කැමරාවක් සහිත බටයක් මගින් ආමාශයේ බිත්තිය නිරීක්ෂණය කළ හැක. ආමාශයේ ගැස්ට්‍රයිටිස් ආසාදන නිසා ඇති තුවාල තිබේ නම් මෙම තුවාල වල සාම්පල ලබා ගැනීමද මෙම පරීක්ෂණය මගින්ම සිදු කළ හැක.

 

2. බේරියම් X-Ray පරීක්ශාව : බේරියම් මූලද්‍රව්‍යය ආශ්‍රිත රසායනික ද්‍රව්‍යයක් ගිලීමට සලස්වා ඉන්පසු ආහාර මාර්ගයේ X-Ray ඡායාරූප ගැනීම මගින්ද ගැස්ට්‍රයිටිස් රෝගය හඳුනා ගනු ලබයි. මෙමගින්ද ආමාශය තුල ඇති තුවාල පැහැදිලිව හඳුනා ගත හැක.

 

3. Helicobacter pylori බැක්ටීරියාව සඳහා කරනු ලබන පරීක්ශන: රෝගියාගේ රුධිර සාම්පල හෝ මල සාම්පල රසායනික පරීක්ෂා වලට ලක් කිරීම මගින් ශරීරය තුල ගැස්ට්‍රයිටිස් ආසාදනය වී ඇත්දැයි හඳුනා ගත හැක.

 

⭕️ ගැස්ට්‍රයිටිස් රෝගය නිසා ඇති විය හැකි අතුරු ආබාධ මොනවද?

 

1.රක්තහීනතාවය: සරලවම රක්තහීනතාවය යනු ශරීරය තුල ඇති රතු රුධිරානු මට්ටමේ අඩු වීමයි. ගැස්ට්‍රයිටිස් වලදී ආමාශයේ බිත්තිය මත ඇති වන සියුම් තුවාල වලින් ක්‍රමයෙන් ලේ ගැලීම හා එම ලේ, මල ද්‍රව්‍යයත් සමඟ ශරීරයෙන් ඉවත් වීම නිසා ශරීරයේ රතු රුධිරානු මට්ටම ක්‍රමයෙන් අඩු විය හැක. මෙය තවත් අතුරු ආබාධ රාශියකට බලපානු ලබයි.

 

2. පෙරිටොනයිටිස් තත්ත්වය : ගැස්ට්‍රයිටිස් රෝගය උත්සන්න වීමත් සමඟ ආමාශයේ බිත්ති මත ඇති වන තුවාල ක්‍රමයෙන් විශාල වී ආමාශයේ බිත්තිය සිදුරු වීම් වලට භාජනය විය හැක. එසේ වීම මගින් බැක්ටීරියා ආසාදනය උදරය තුල ඇති අනෙකුත් අවයව (ආස්තරන පටල - peritonium) වලටද ගමන් කළ හැකි අතර ඉන් පසු ආසාදනය ලේ වලටද පැතිරිය හැක.

 

3. ආමාශ පිළිකා : ගැස්ට්‍රයිටිස් රෝගය නිසි ආකාරයෙන් පාලනය නොවූයේ නම් අවසානයේ එම තුවාල ආමාශ පිලිකා තත්ත්වය දක්වාම උත්සන්න විය හැක.

 

⭕️ ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා ඇති ප්‍රතිකාර?

 

1. ප්‍රති-අම්ලකාරක (antacids) : මෙම ඖෂධ මගින් ආමාශය තුල පවතින ආම්ලික ස්වභාවය අවම කරනු ලබයි.

2. histamine blockers : මෙමගින් ආමාශය තුල අම්ල නිපදවීම අවම කරනු ලබයි.

3. ප්‍රෝටෝන නිශේදක (Proton pump inhibitors) : මෙමගින්ද ආමාශය තුල අම්ල නිපදවීම පාලනය කරනු ලබන අතර ආමාශ බිත්තිය තුල ඇති තුවාල වලටද ප්‍රතිකාර කරනු ලබයි.

4. ප්‍රතිජීවක : ගැස්ට්‍රයිටිස් ආසාදන වලට හේතු වන Helicobacter pylori නම් බැක්ටීරියාව විනාශ කිරීම සඳහා මෙම ප්‍රතිජීවක භාවිතා කරනු ලබයි.

 

⭕️ ගැස්ට්‍රයිටිස් රෝගය වැලඳීම වලක්වා ගන්නේ කොහොමද?

 

✅ මෙම ලිපියේම ඉහලින් දක්වා ඇති, ගැස්ට්‍රයිටිස් සඳහා හේතු අවම කර ගැනීම මගින් ප්‍රදාන වශයෙන්ම ගැස්ට්‍රයිටිස් වැලඳීම පාලනය කර ගත හැක. එමෙන්ම, ආහාර රටාව හා ජීවන රටාව මගින්ද ගැස්ට්‍රයිටිස් විශාල වශයෙන් අවම කර ගත හැක.

 

1. අධික ලෙස තෙල්, මිරිස්, පිටි සහිත ආහාර පාලනය කිරීම.

2. කැෆේන් අඩංගු වන කෝපි වැනි බීම වර්ග අවම කිරීම.

3. විශාල ආහාර වේල් කීපයක් වෙනුවට කුඩා ආහර වේල් වැඩි ප්‍රමානයක් ලබා ගැනීම.

4. මානසික ආතතිය පාලනය කර ගනීම.

5. මත්ද්‍රව්‍යය භාවිතය අවම කිරීම.

6. ආහාර ගැනීමෙන් පසු වැඩි කාලයක් නිදාගන සිටීම පාලනය කිරීම.

7. ගැස්ට්‍රයිටිස් සඳහා හේතු විය හැකි NSAID වැනි වේදනා නාශක භාවිතය අවම කිරීම

blog_image
blog_image