blogImage

වෘෂණ කෝෂ ඇඹරීම

වෘෂණ කෝෂ ඇඹරීම

පිරිමි දරුවෙකුගේ අනන්‍යතාවයේ ජීව විද්‍යාත්මක ලක්ෂණයක් ලෙසට දරුවාගේ වෘෂණ කෝෂ සැලකීමට පුළුවන්. එම වෘෂණ කෝෂ  සම්බන්ධව විවිධ රෝගාබාධ දක්නට ලැබෙනවා. ඒ අතුරින් වෘෂණ කෝෂ ඇඹරීම නම් තත්ත්වය පිළිබඳ මේ ලිපියෙන් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා.

■  වෘෂණ  කෝෂ ඇඹරී යෑමේ  තත්වයක් ඇති වුනොත් ඉක්මනින්ම ප්‍රතිකාර ලබා දිය යුතු වෙනවා. හදිසි ප්‍රතිකාර ලබා නොදුන්නොත් දරුවාට වෘෂණ කෝෂය අහිමි වීමේ තත්වයක් පවා ඇති වෙනවා.

 

වෛද්‍යතුමෙනි, වෘෂණ කෝෂයක් ඇඹරෙනවා යනුවෙන් හඳුන්වන රෝග තත්වය කුමක්ද..?

හොඳයි... අපි මෙහිදී මුලින්ම වෘෂණයක් ඇති වෙන අන්දම ගැන කථා කරමු. දරුවාගේ කළල අවධියේදි වෘෂණය මුලින්ම කොන්ද ආශ්‍රිතව ඇති වෙනවා. එතැනින් පසුව මෙම වෘෂණ ක්‍රමයෙන් වෘෂණ කෝෂ දක්වා රුධිර නාළ සමඟ පහළට පැමිණෙනවා.

 සමහර අවස්ථාවලදී එලෙස පැමිණෙන වෘෂණ කෝෂ තම අක්ෂය වටා කැරකීම නිසා වෘෂණ කෝෂය සමඟ පැමිණි රුධිර නාළ ඇඹරීමට ලක්වී වෘෂණ කෝෂයට ඇති රුධිර සැපයුම අඩාළ වෙනවා. මේ තත්වය සරල උදාහරණයකින් පැහැදිළි කරොත් හරියට  එල්ලෙන තැඹිලි  ගෙඩියක අපි නැට්ටෙන් කරකවා තැඹිලි ගෙඩියක් කඩා ගන්න අවස්ථාවන් සිහිපත් කරන්න පුළුවන්. මේ වගේ අවස්ථාවකදී වෘෂණයට රුධිරය රැගෙන යන රුධිරවාහිනීවල ලේ ගමනාගමනය අවහිර වීම නිසා වෘෂ්‍යයට රුධිරය සැපයුම මදි වීම සිදු වෙනවා. ඕනෑම අවයවයකට රුධිර සැපයුම නැති වුනාම ඒ අවයවයේ ක්‍රියාකාරීත්වය නැති වෙනවා. වෘෂණ කෝෂ සම්බන්ධයෙනුත් ඒ තත්වය ඒ විදිහටම සිදු වෙනවා. රුධිර සැපයුම නැති නිසා වෘෂණ කෝෂ මිය යන තත්වයක් ඇති වෙනවා. ඒ නිසා මෙවැනි අවස්ථාවකදී ඉක්මනින්ම ප්‍රතිකාර ලබා දීම වැදගත්.

 

වෛද්‍යතුමෙනි, වෘෂණකෝෂයක් ඇඹරී යන තත්වයක් ඇති වුනොත් එය බේරා ගැනීමට අපට හැකියාවක් තිබේද..?

වෘෂණකෝෂය ඇඹරීම ආරම්භ වී  පැය හතරක්, පහක්  ක් ඇතුලත ප්‍රතිකාර කිරීම සිදු වුනොත් වෘෂණ කෝෂය බේරා ගැනීමට 90% ක අවස්ථාවක් තිබෙනවා.ඒ වගේම පැය 12 ක් ප්‍රමාද වුනොත් මේ අවස්ථාව 50% ක් දක්වා අඩු වෙනවා. ඒ නිසා ඉක්මනින් ප්‍රතිකාර වෙත යොමු වීම ඉතාම වැදගත්.

වෘෂණයක් ඇඹරෙන බව දැන ගැනීමට හැකියාවක් තිබෙනවාද...?

■ කෙටි වේලාවකින් ආරම්භ වෙන වෘෂණයේ වේදනාව විනාඩි පහකට වඩා වැඩි කාලයක් පැවතීම 

■ වෘෂණය රතු වීම

■ ඉදිමීම

■ වෘෂණය අල්ලන විට වේදනාව දැනීම 

 

මේ රෝග ලක්ෂණ වෘෂණයේ ඇඹරීම නිසා ඇති  වීමට පුළුවන්.

 

 

වෛද්‍යතුමෙනි, දරුවෙකුට මේ වගේ තත්වයක් ඇති වුනොත් මව්පියන් විසින් ගත යුතු හොඳම තීරණය කුමක්ද..?

දෙවතාවක් නොසිතා දරුවා ආසන්නම රෝහල වෙත රැගෙන යෑම වැදගත්. මෙහිදී දරුවාට ආහාර පාන ලබා දීම සුදුසු නැහැ. ඊට හේතුව හදිසියේ දරුවාට ශල්‍ය කර්මයක් සිදු කිරීමට අවශ්‍ය වුවහොත් දරුවාට ආහාර පාන ලබා දී තිබීම නිර්වින්දනයේදී අවදානම් තත්වයක් අඅති කරන්න පුළුවන් නිසා.

 

වෛද්‍යතුමනි දරුවාගේ වෘෂණයේ වේදනාවක් ඇතිවිය හැක්කේ වෘෂණය ඇඹරීම නිසා විතරද ? එය හොද ප්‍රශ්නයක්.නැහැ , වෙනත් තත්ව නිසා වෘෂණයේ වේදනාවක් ඇතිවිය හැකියි.

වෘෂණයේ ආසාදන තත්වයක් ඇති වුනාමත් වෘෂණය වේදනා දෙනවා. එවැනි අවස්ථාවකදීත් වෘෂණයේ වේදනාව, රතු වීම සහ ඉදිමීම ඇති වෙනවා.

නමුත් වෘෂණය ආසාදනය වීම මම සඳහන් කළ වෘෂණයේ ඇඹරීම තරම් භයානක නැහැ. වෘෂණයේ ආසාදන තත්වයක් ඇති විට ප්‍රතිජීවක ලබා දෙන්න පුළුවනි.

 

වෛද්‍යතුමනි එහෙනම් වෘෂණයේ ඇඹරීමක්ද...එසේ නැත්නම් ආසාදනයක්ද කියලා නිශ්චය ලෙසින්ම දැන ගන්නේ කොහොමද..?

වේදනාව  සමග ඉදිමුම් තත්වයක් තිබෙනවා නම් එය වෘෂණයේ ඇඹරීම නිසාද, එහෙම නැත්නම් ආසාදන තත්ත්වයක්  නිසාදැයි තහවුරු කර ගැනීමට අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් සිදු කරනවා. එහිදී වෘෂණයට සැපයෙන රුධිර නාළවල රුධිර සැපයීම අල්ට්‍රා සවුන්ඩ් මහින් නිරීක්ෂණය කොට මෙම තත්ත්වය වෘෂණ ඇඹරීමක්ද , වෘෂණයේ ආසාදනය තත්ත්වයක් ද යන්න හදුනා ගැනීමට පුළුවන් . දරුවාට වෘෂණයේ ඇඹරීමක් ඇත්නම් ඉතා ඉක්මනින් ශල්‍යකර්මයක් සිදුකළ යුතුය . ප්‍රමාද වී රෝහලට පැමිණි අවස්ථා වලදී වෘෂණයේ ඇඹරීමක් සැක කරන්නේ නම් අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයක් සඳහා කාලය විඩංගු නොකරම එවැනි අවස්ථාවකදී දරුවා ශල්‍යකර්මයට භාජනය කිරීමට සිදු වන අවස්ථා පවතී.

 

වෛද්‍යතුමෙනි, පුංචි බාධාවක් කරන්නම්... අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයක ප්‍රමාදය පවා නොතකා ශල්‍ය කර්මයක් සඳහා යොමු කිරීම සිදු වෙන්නේ ඇයි..?

වෘෂණ ඇඹරී තියෙන විට රුධිර නොලැබී මිය යෑමට තිබෙන අවස්ථාව වැඩියි. ඒ නිසා දරුවාගේ වෘෂණ  බේරා ගැනීමට කාලය කියන කාරණය ඉතාම වැදගත්.අපට අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණ සඳහා ප්‍රමාද වීමක් සිදුවේ නම් එම කාලය ශල්‍ය කර්මය වෙනුවෙන් යොමු කිරීම තුළින් වෘෂණය බේරා ගැනීමට අවස්ථාවක් සලසා ගන්න පුළුවන්.

 

වෘෂණ ඇඹරීම වෙනුවෙන් සිදු කරන 

ශල්‍ය කර්මය ගැනත් දැණුවත් කලොත්..

 

මේ ශල්‍ය කර්මය සම්පූර්ණ නිර්වින්දන තත්වය යටතේ සිදු කරනවා. දරුවාට ආහාර පාන නොදී රැගෙන ඒමට උපදෙස් දෙන්නේ ඒ නිසයි..ශල්‍ය කර්මයේදී කැපුමක් දමා වෘෂණ කෝෂ එළියට අරගෙන ඇඹරීම නිවරැදි කරනවා. ඒ වගේම අනාගතයේදී එම වෘෂණයේ නැවත ඇඹරීමක්  සිදුවීම වැළකීම සදහා කුඩා සැත්කමක් සිදු කරයි. 

ඒ වගේම මෙවැනි රෝගීන්ගේ  අනෙක් පැත්තේ වෘෂණයත් අනාගතයේදී ඇඹරීමට අවදානමක් ඇති නිසා  එම වෘෂණයත් අනාගතයේ ඇඹරීමක් සිදුවීම වළක්වන්නට පුංචි ශල්‍යකර්මයක් සිද්ධ කරනවා.

 

නමුත් දරුවා රෝහල් ගත වීම ගොඩාක් ප්‍රමාද වුනොත්  වෘෂණයේ ඇඹරීම නිවැරදි කළත් වෘෂණ කෝෂය යථා තත්වයට පත් කිරීමට නොහැකි නම් එවැනි අවස්ථාවකදී සිදු කරන්නේ කුමක්ද?  වෛද්‍යතුමනි

 

එවැනි තත්වයක් ඇති වුනොත් මියගිය වෘෂණ කෝෂය ඉවත් කරන්න වෙනවා. 

 

වෛද්‍යතුමෙනි, වෘෂණයක් ඉවත් කිරීම සමග අපට අනාගතයේදී පිරිමි දරුවාගේ සරු බව ගැන යම් බියක් ඇති වෙනවා. එක වෘෂන්‍යක් තිබීම ප්‍රමාණවත්ද..?

කිසිම ගැටලුවක් නැහැ. එක වෘෂණයක් ඉවත් කළත් අනෙක් වෘෂණය වැඩ කරනවා. ඒ නිසා  පුරුෂ ශුක්‍රාණු  නිෂ්පාදනයට වගේම සිරුරට  අවශ්‍ය ටෙස්ටොස්ටොරන් හෝර්මෝනය නිෂ්පාදනයේ කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ.

 

ශල්‍ය වෛද්‍ය ( ලේඛකාධිකාරී ) යුගාන්ත අධිකාරී

ශික්ෂණ  රෝහල

කරාපිටිය

blog_image
blog_image