blogImage

අර්ශස්

මළ සමඟ ලේ පිටවීම බොහෝ රෝගීන්ට අත් විඳින්නට සිදුවන අපහසුතා පිරි අමිහිරි රෝගී තත්වයකි.

මේ සමඟින් වේදනාව පැවතීම හා නොතිබීම මත ඒ සඳහා බලපාන හේතුකාරක රෝගය වෙනස් වේ.

ශ්‍රී ලංකාවේ මෙයට බලපාන ප්‍රධානම රෝගී තත්වය නම් Hemorrhoids හෙවත් සාමාන්‍ය ව්‍යවහාරයේදී අර්ශස් නමින් හඳුන්වන රෝගය වේ.

 

අර්ශස් යනු පහළ ගුද මාර්ගයේ වාහිනී පටක, සිනිඳු මාංශ පේෂි හා ඒ ආශ්‍රිත සම්බන්ධක පටක යන කොටස්වල ඉදමීම නිසා ඇතිවන රෝගී තත්වයකි.

මෙහි අදියර හතරක් දක්නට ලැබේ.

 

අදියර 01 - මළ සමඟ ලේ පිටවීම සිදුවන අතර පිටතට නෙරා ආ ගැටිති දක්නට නැත.

අදියර 02 - තැටමීමේදී පිටතට ගැටිත්ත පැමිණෙන අතර එය නිරායාසයෙන් ඇතුළට යයි.

අදියර 03 - පිටතට නෙරා ආ ගැටිත්ත ඇඟිල්ලෙන් තද කිරීමෙන් ගුද මාර්ගයට ඇතුල් කළ යුතුයි.

අදියර 04 - නැවත ගුද මාර්ගයට ඇතුල් කළ නොහැකි අන්දමේ ගැටිත්ත සෑම විටම පිටතින් දැකිය හැක.

 

රෝග ලක්ෂණ

 

1. මළපහ සමඟ ලේ පිටවීම

මෙහිදී මළපහ කොටස් වල පිටතින් නැවුම් රුධිරය තැවරී ඇති බව දක්නට ලැබේ. සමහර අවස්ථා වලදී මළපහ කිරීමෙන් පසු වැසිකිළියට රුධිරය වහනය වීම නිරීක්ෂණය වේ.

2. ගුද මාර්ගය අවට කැසීම

3. ගුද මාර්ගය අවට වේදනාව

4. ගුද මාර්ගයේ කොටස් ගැටිත්තක් ලෙසට පිටතට නෙරා ඒම

මෙය ඔරලෝසු මුහුණතට අනුකූලව 3, 7,11 යන ස්ථාන වලට අනුරූපීව ගුද මාර්ගයෙන් පිටතට ගැටිති නෙරා එයි.

 

රෝගයේ සංකූලතා

 

පිටතට නෙරූ පටක කොටස්වල ලේ කැටි ගැසීම (Thrombosed external hemorrhoids)

මෙහිදී ඉතා කෙටි කාලයක් තුළදී තද වේදනාවක් සහිතව ගැටිත්තක් දක්නට ලැබෙන අතර එය තද රතු පැහැයෙන් පිටතින් දිස්වේ.

පැය 48-72 අතර වේදනාව ක්‍රමානුකූලව වර්ධනය වේ.

 

රෝග අවධානමට තුඩු දෙන හේතු

1.දිගු කාලීනව පවතින මළබද්ධය

2.දිගු කාලීනව පවතින කැස්ස

3.දුම්පානය

4.ආහාර රටාවේ ඇති වැරදි පුරුදු

 

රෝග පරීක්ෂාව හා පරීක්ෂණ

 

වෛද්‍යවරයෙකු සිදුකරන සායනික පරීක්ෂාවකින් පසු රෝග නිර්ණායකට එළඹෙන අතර මේ සඳහා proctoscopy පරීක්ෂාවන් භාවිතා කරයි.

අවශ්‍යතාවය අනුව Flexible sigmoidoscopy, colonoscopy පරීක්ෂණ සිදු කරයි.

සමහර අවස්ථාවලදී අර්ශස් රෝගය හා සමගාමීව වෙනත් රෝග මහා අන්ත්‍රය හා ගුදමාර්ගය තුළ පැවතිය හැකි නිසා මේ පරීක්ෂණ සිදුකිරීම ඉතා වැදගත්ය. වයස්ගත වැඩිහිටි පුද්ගලයන්ට මෙහිදී මහා අන්ත්‍ර පිළිකා තත්ව නිරීක්ෂණයට colonoscopy පරීක්ෂාවක් සිදු කිරීම අත්‍යවශ්‍ය වේ.

 

ප්‍රතිකාර ක්‍රම

මෙහිදී රෝගියාගේ රෝග ස්වභාවය හා සංකූලතා අනුව ප්‍රතිකාරය තීරණය කරනු ලැබේ.

අර්ශස් රෝගයේ අදියරෙන් අදියරට ප්‍රතිකාර ක්‍රම වෙනස් වේ.

 

අදියර 01 - මෙහිදී මළපහ පිටවීම පහසු කරන ලිහිසි ජෙල් සහ සිරප් වර්ග භාවිතා කරයි. ආහාර රටාවේ වෙනස් කිරීම සිදු කිරීමේදී මේද හා සැර බහුල ආහාර භාවිතය අඩු කිරීම හා තන්තු බහුල ආහාර වැඩිපුර භාවිතය. NSAIDS වේදනානාශක භාවිතය අඩු කිරීම.

 

අදියර 2 හා 3

Band Ligation - ගැටිත්තේ මුලට බෑන්ඩ් එකක් තද කිරීම මඟින් පාලනය කරයි.

Sclerotherapy - මෙය මූලික අවධියේදී සිදුකරන අතර ශරීරයට විෂ නොවන රසායනික ද්‍රව්‍ය ගැටිත්තට විදිනු ලැබේ.

 

අදියර 3 හා 4 - Hemorrhoidectomy නම් ශල්‍යකර්මය

blog_image
blog_image