blogImage

ඔබත් අයිස්, හෙරොයින්, ගංජා වැනි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙක්ද?

ඔබත් අයිස්, හෙරොයින්, ගංජා වැනි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙක්ද?

 

අද වන විට ශ්‍රී ලංකාව තුළ අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතය ඉතා සුලබව දැකිය හැක. මෙය ඉතාම අහිතකර තත්වයක් වන අතර පසුගිය කාල වල සිදුකළ සමීක්ෂණ වාර්තා වලට අනුව ශ්‍රී ලංකාවේ නවයොවුන් වියේ පසුවන ළමයින්ගෙන් 16%ක් තම ජීවිතයේ කුමන හෝ අවස්ථාවක අන්තරායකර මත්ද්‍රව්‍යයක් භාවිතා කර ඇති බවට වාර්තා වේ. තරුණ පිරිස් මෙන්ම ඇතැම් වැඩිහිටි පිරිස් අතරේද මෙම මත්ද්‍රව්‍ය භාවිතය දැකගත හැක.

 

අයිස්, හෙරොයින්, ගංජා, කොකේන්, විවිධ වේදනා නාශක ඖෂධ වර්ග (උදා: Pregabalin/Tramadol), LSD, Ecstasy දුම්වැටි ආදී විවිධ මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබේ. මෙම මත්ද්‍රව්‍ය වලට ඉතා ඉක්මනින් ඇබ්බැහි වීමක් සිදුවනු ලැබේ. මෙසේ ඇබ්බැහි වූ බොහෝ තරුණ පිරිස් පවසනු ලබන්නේ දිනකට රුපියල් 5000ක් හෝ වැඩි ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය සඳහා වියදම් කිරීමට සිදුවන බවය. එසේ නොකළහොත් ඉවත් රෝග ලක්ෂණ (Withdrawal Symptoms) පැමිණ දරාගැනීමට අපහසු තත්වයක් උදාවන බවය. සමහර තරුණයින් රැකියාවක්ද නොමැතිව ඉහත මුදල් සොයා ගැනීමට විවිධ සමාජ ආරවුල් වලට මැදිහත් වීම ඉතා සෝචනීය තත්වයකි.

 

විවිධ කායික හා මානසික රෝගී තත්වයන් ඇතිකරන මෙම මත්ද්‍රව්‍ය අතරින් මත්ලෝලීන් විසින් සුලබව භාවිතා කරනු ලබන්නේ දුම්වැටි, අයිස්, හෙරොයින් හා ගංජාය.

 

අයිස් මත්ද්‍රව්‍ය (Crystal Meth) අධික ලෙස ගත්කළ හෘද ස්පන්දනය වැඩිවීම, අධි රුධිර පීඩනය, හුස්ම ගැනීමේ අපහසුතා, පපුවේ වේදනාව, අධික ශරීර උෂ්ණත්වය, හෘදයාබාධ, අංශභාග, අධික තරහා යාම හා සියදිවි හානි කරගැනීමට සිතුවිලි පහළ වීම ආදිය සිදුවේ. දීර්ඝ කාලීන භාවිතයෙන් සිතෙහි නිරන්තර චකිතය හා ව්‍යාකූලබව, නින්ද නොයාම, අධික තරහා යන ස්වභාවය, සිතෙහි අධික සැක බව, බර අඩුවීම, මුඛ රෝග හා චර්ම රෝග යනාදිය ඇතිවේ.

 

ඉවත් රෝග ලක්ෂණ (අයිස් මත්ද්‍රව්‍ය නැති අවස්ථාවල) වශයෙන්,

නින්ද නොයෑම, අධික මස්පිඩු වේදනා, අධික මහන්සි ගතිය, කෑම අරුචිය, හිසරදය, සිතෙහි අධික කලකිරීම ආදිය දක්නට ලැබේ.

 

හෙරොයින් අධිමාත්‍රා වශයෙන් ගැනීමේදී හුස්ම ගැනීම නතර වීම, හෘද ක්‍රියාකාරීත්වය අකර්මන්‍ය වීම, මායාවන් වැනි බියසුළු හඬවල් ඇසීම ආදිය සිදුවිය හැක. හෙරොයින් නැතිවිට බඩ එළිය යාම, හොටු දියර ගැලීම, කඳුළු ගැලීම, මාංශපේශි වල වේදනාව, වෙව්ලන හා කලබල ස්වභාවයක් දක්නට ලැබේ.

 

ගංජා භාවිතය තුළින් චින්තන හැකියාවන් අඩපණ වීම හා මානසික ව්‍යාකූලතාවයක් හටගනු ලබන අතර දීර්ඝකාලීන භාවිතයෙන් භින්නෝන්මාදය වැනි මානසික රෝගී තත්වයන්ද හටගනු ලැබේ. ගංජා නොමැති විට නින්ද නොයාම, අධික තරහා යාම, සිතෙහි ඇතිවන අධික චකිතය වැනි පීඩාකාරී තත්වයන් දැකගත හැකි වේ.

 

කොකේන් ඇතුළු අනෙකුත් මත්ද්‍රව්‍ය වර්ග ද ඉහත කී රෝග ලක්ෂණ වලට සමාන ගැටලු ගෙන දෙනු ලබයි.

 

එසේම සමහරුන් විසින් මෙම මත්ද්‍රව්‍ය සෘජුවම රුධිර නාලවලට විද ගැනීම සිදුකරනු ලබන අතර හෘදය වස්තුවට විෂබීජ යාම, හා හෙපටයිටිස් වැනි රෝග වැළඳීම එමඟින් සිදු වේ. ඉතා තරුණ වයස් වලදීම මෙම මත්ද්‍රව්‍ය නිසා හෘදයාබාද හා අංශභාග තත්වද ඇතිවන බව දක්නට ලැබේ. බොහෝ මත්ලෝලීන් විසින් පවසන අනෙක් කරුණ නම් ලිංගික අප්‍රාණවත් බවයි.

 

ඔබත් මතට ඇබ්බැහි වූවෙක් නම් නොපමාව උපකාර ලබාගන්න. රජයේ රෝහල්වල මානසික රෝගී අංශ වෙත පැමිණීමෙන් ප්‍රතිකාර ලබාගත හැක. ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය (NDDCB - Hotline 1929) මඟින් පුනරුත්තාපන මධ්‍යස්ථාන කීපයක්ද දීපව්‍යාප්තව පිහිටුවා ඇත.

උදා:

🔸තලංගම

🔸නවදිගන්තය - නිට්ටඹුව

🔸ගාල්ල

🔸මාම්පිටිය - මහනුවර

 

මතින් විනාශවන තරුණ ජීවිත රැකගනිමු!

මතින් තොර ශ්‍රී ලංකාවක් ගොඩනගමු!

 

සටහන:

වෛද්‍ය දිනේෂ් ජයවීර පටබැඳිගේ Dinesh Jayaweera Patabandige

මහචාර්‍ය මනෝ වෛද්‍ය ඒකකය

පේරාදෙණිය ශික්ෂණ රෝහල

blog_image
blog_image