blogImage

🔺පිළිකා හැදෙන්නේ ඇයි?

🔺පිළිකා හැදෙන්නේ ඇයි?

 

පිළිකාවකදී ශරීරයේ යම් පටකයක/අවයවයක සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වීම සහ ගුණනය වීම සිදු වේ.

පිළිකාව, එය ඇතිවන අවයවයට, ඒ අවට ඇති පටක වලට මෙන්ම රුධිරය හරහා වෙනත් අවයව වලට ද හානි සිදු කරයි.

පිළිකාවක් ශරීරයේ ඇතිවන ස්ථානය, එම සෛල වල වර්ධනයේ හා ආක්‍රමණශීලීභාවයේ වෙනස්කම් මත විවිධ ස්වරූපයන් ගත හැක.

මූලිකවම පිළිකා ඇතිවීමට හේතු වන්නේ සෛල වර්ධනය හා ගුණනය පාලනය කරන ජාන වල ඇති වන විකෘතිතා වේ.

මෙම ජානමය විකෘතිතා ඇතිවීමට බලපාන හේතු උදාහරණ සහිතව පහත දක්වා ඇත.

 

🔸ප්‍රවේණිගත උරුමය

 

ඇතැම් පිළිකා ඇති වීමට අපට උපතින්ම දෙමව්පියන්ගෙන් ලැබෙන විකෘතිතා සහිත ජාන හේතු විය හැක. Childhood Retinoblastoma නැමැති ඇසේ ඇතිවන පිළිකාමය තත්වය මෙයට උදාහරණයක් ලෙස දැක්විය හැක.

තව ද Lynch Syndrome, Hereditary Breast and Ovarian Cancer Syndrome ප්‍රවේණිගත ජාන විකෘතිතා හේතුවෙන් ඇතිවන පිළිකාමය තත්ත්වය වේ.

මෙවැනි තත්ත්ව වලදී අඩු වයසින් පිළිකා ඇතිවිය හැකි අතර ශරීරයේ අවයව කිහිපයක පිළිකා ඇතිවීම සිදුවිය හැක.

 

🔸අහිතකර ආහාර රටාව

 

අධික සත්ත්ව මේද සහ අඩු තන්තු සහිත අහාර රටාවක් මහාන්ත්‍රයේ පිළිකා ඇතිවීමට හේතු වේ.

එමෙන්ම ආහාර කල් තබා ගැනීමට යොදාගන්නා රසායනික (Sodium Nitrate) ආමාශයේ පිළිකා ඇතිවීමට හේතු වේ.

 

🔸දුම් පානය

 

දුම් පානය කිරීමේදී විවිධ වූ අහිතකර රසායනික වලට නිරාවරණය වීම සිදු වේ. (Polycyclic Aromatic Hydrocarbons, Aromatic Amines, Aldehydes)

මෙය ප්‍රධාන වශයෙන් පෙනහළු පිළිකා ඇතිවීමට හේතු වන අතර මුඛයේ, ආමාශයේ, අග්න්‍යාසයේ, මුත්‍රාශයේ පිළිකා සහ ලේ පිළිකා ඇතිවීමට හේතු වේ.

 

🔸මත් පැන් පානය

 

මත්පැන් වල ඇති Ethanol හා එය බිඳ වැටීමෙන් ඇතිවන Acetaldehyde රසායන ද්‍රව්‍යය මඟින් ශරීරයේ සෛල හානි වීම සිදු වේ.

මෙමඟින් මුඛයේ, උගුරේ, අක්මාවේ සහ මහාන්ත්‍රයේ පිළිකා ඇතිවිය හැක.

 

🔸කර්මාන්ත ආශ්‍රිත රසායන ද්‍රව්‍ය වලට නිරාවරණය වීම

 

රබර් කර්මාන්තයේ භවිතා වන Beta-Naphthylamine රසායනික ද්‍රව්‍යයට නිරාවරණය වීම මුත්‍රාශයේ පිළිකා ඇතිවීමට හේතුවන බව සොයාගෙන ඇත.

 

🔸විකිරණ වලට නිරාවරණය වීම

 

හිරු එළියේ ඇති UV Radiation වලට අධිකව නිරාවරණය වීම සමේ Melanoma නම් පිළිකාමය තත්වයට හේතු වේ.

හිසේ හෝ ගෙලෙහි ඇති රෝග සඳහා සිදු කරන විකිරන ප්‍රතිකාර (Radiation Therapy) හේතුවෙන් ගෙලෙහි ඇති තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා ඇතිවිය හැක.

 

🔸ක්‍රියාශීලි බවින් අඩුවීම

 

අඩු ක්‍රියාශීලීත්වය සහ තරබාරු වීම පියයුරු පිළිකා මෙන්ම මහාන්ත්‍රයේ, ගර්භාෂයේ හා අක්මාවේ පිළිකා ඇතිවීමට හේතු වේ. මේද සෛල වලින් නිපදවෙන ඊස්ට්‍රජන් හෝමෝනය මෙම පිළිකා සෛල වර්ධනයට බලපෑම් ඇතිකළ හැක.

 

🔸ප්‍රතිශක්තිකරන පද්ධතියේ දුර්වලතා

 

ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් ශරීරයට ඇතුල් වන බැක්ටිරියා, වෛරස වලට මෙන්ම ශරීරය තුළ ඇතිවන අසාමාන්‍ය පිළිකා සෛල වලට එරෙහිව ක්‍රියා කර ඒවා විනාශ කිරීම සිදු කෙරේ.

එබැවින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ විට පිළිකා සෛල වලට බාධාවකින් තොරව වර්ධනය විය හැක.

 

🔸ඇතැම් වෛරස් ආසාදන

 

HPV (Human Papiloma Virus) ගැබ් ගෙල පිළිකා ඇතිවීමට හේතු වේ. මෙම පිළිකාව වැළැක්වීමට Anti-HPV Vaccine නැමැති එන්නත භාවිතා වේ.

Hepatitis B (HBV) සහ Hepatitis C (HCV) වෛරස අක්මාවේ පිළිකා ඇතිවීමට හේතු වේ.

 

පිළිකා ඇතිවීම නිසැකවම වලක්වාගත නොහැකි වුවත් සෞඛ්‍යමත් ආහාර පුරුදු සමඟ ක්‍රියාශීලී ජීවන රටාවක් අනුගමනය කිරීමෙන් අපට පිළිකා ඇතිවීම අවම කරගත හැක.

 

සටහන:

Dr.Warunie Kosgallana Warunie Kosgallana

Lecturer (Probationary),

Department of Anatomy,

Faculty of Medicine,

University of Peradeniy

blog_image
blog_image