blogImage

කුඩා දරුවන්ට ඇති වෙන මූත්‍රා ආසාදන

📌 කුඩා දරුවන්ට ඇති වෙන මූත්‍රා ආසාදන 

 

අපේ මූත්‍රා පද්ධතිය වකුගඩුව, මූත්‍රා නාල සහ මූත්‍රාශය යන අවයවයන්ගෙන් යුක්තයි. මූත්‍රා බහුශ්‍රාවීය මාධ්‍යයක් වුනත් එහි විෂබීජ නැහැ. නමුත් බාහිරව මූත්‍රා මාර්ගයට එකතු වෙන විවිධ බැක්ටීරියා නිසා මූත්‍රා ආසාදන ඇති වෙන්න පුළුවන්. 😕 ගුද මාර්ගය සහ මූත්‍රාශය ඉතා සමීපව පිහිටා තිබෙන අවයව නිසා ගුද මාර්ගයේ තිබෙන බැක්ටීරියා මූත්‍රා මාර්ගයට ඇතුලු වෙන්න පුළුවන්. 🙁 

 

📌 මූත්‍රා ආසාදන නිසා වකුගඩු හානි වෙන්න පුළුවනිද? 🤔 

 

ඔව්. දරුවන්ගේ වකුගඩු අවුරුදු පහක් පමණ වෙන තුරු වර්ධනය වෙනවා. ඒ නිසාම වයස අවුරුදු පහට වඩා අඩු දරුවෙකුට මූත්‍රා ආසාදනයක් ඇති වුනොත් වකුගඩුවේ කැලැල් ඇති වීම නිසා දීර්ඝකාලීන වකුගඩු රෝග තත්වයන්‍ටද බලපෑමක් ඇති වෙන්න පුළුවන්. 🙁 

 

ඒ වුනත් හැම දරුවෙකුටම මූත්‍රා ආසාදන ඇති වෙන්නෙත් නැහැ. 🙂 

 

ඒකත් සත්‍යයක්. ඒ සඳහා විවිධ හේතු බලපාන්න පුළුවන්. 

 

මූත්‍රා ආසාදන ඇති වීමට පුද්ගලික සනීපාරක්ෂක කටයුතු විශාල වශයෙන් බලපානවා. ළදරුවන් මූත්‍රා පිට කිරීමෙන් පසුව හෝ මලපහ කිරීමෙන් පසුව පැම්පස් එක මාරු නොකොට වැඩි වේලාවක් තැබීම වගේම මූත්‍රාශය ආශ්‍රිත ප්‍රදේශය නිසි පරිදි පිරිසිදු නොකිරීම නිසා බාහිර විෂබීජ මූත්‍රා මාර්ගයට ඇතුළු වෙන්න පුළුවනි. 🙁 

 

සමහර දරුවන්ගේ මූත්‍රා මාර්ගයේ උපතේ සිට පවතින ආබාධ නිසාත් මූත්‍රා ආසාදන ඇතිවීමට වැඩි අවදානමක් තිබෙනවා. සාමාන්‍යයෙන් මූත්‍රා ඉහළ සිට පහළට ගමන් කලත් සමහර එවැනි ආබාධ නිසා මූත්‍රා ප්‍රතිවහනය හෙවත් මූත්‍රා පහළ සිට ඉහළට මූත්‍රා මාර්ගය දිගේ ගැලීම නිසා විෂබීජ වලට නිරාවරණය වීමක් සිදුවෙනවා. 🙁. 

 

නිසි පරිදි වතුර පානය නොකිරීම. 🙂 

 

මූත්‍රා පිටකිරීමට අවශ්‍යතාවය තිබුනත් වැඩි වෙලාවක් මූත්‍රා පහ නොකොට සිටීම. විශේෂයෙන් පාසල් වයසේ දරුවන් වැසිකිළිවල ඇති අපිරිසිදු බව නිසා මූත්‍රා බර දරාගෙන සිටීම. 🙁 

 

මලබද්ධය ආදිය ඉන් කීපයක් පමණයි. 

 

📌 මූත්‍රා ආසාදනයක රෝග ලක්ෂණ 

 

උණ තිබුන පමණින්ම මූත්‍රා ආසාදනයක් යැයි සැක කරන්න බැහැ. විවිධ හේතු නිසා උණ රෝග තත්වය ඇති වෙනවා. උදාහරණ වශයෙන් සඳහන් කරනවා නම් ඩෙංගු වෛරස් වැනි හේතු නිසා උණ ඇතිවෙන්න ඉඩ තියෙනවා. 🙁 වෙව්ලා තදින් උණ ගැනීම සිදු වුනොත් එය මූත්‍රා ආසාදනයක රෝග ලක්ෂණයක් විදියට වැඩි සැකයක් ඇති වෙනවා. 🙂 

 

📌 මූත්‍රා පද්ධතියට සම්බන්ධ ‍රෝග ලක්ෂණත් මූත්‍රා ආසාදන සඳහා බලපානවා. එවැනි ‍රෝග තත්වයන් ගැන සඳහන් කළොත්..... 

 

• නිතර නිතර මූත්‍රා පිටවීම. 

• මූත්‍රා අඩස්සිය. 

• මූත්‍රා සමග ලේ පිටවීම. 

• යටි බඩ ප්‍රදේශයේ වේදනාව. 

• මූත්‍රා ආසාදනය වකුගඩු වලට බලපාන විට, පිට ප්‍රදේශයේ කැක්කුම සමග වෙව්ලා තද උණ ඇතිවීම. 🥺

• මූත්‍රා දැවිල්ල - ළදරුවෙකුට මූත්‍රා දැවිල්ල ගැන පැමිණිලි කරන්න බැහැ. නමුත් මූත්‍රා පිටකිරීමේදී තටමනවා නම් හෝ අඬනවා නම් යම් සැකයක් තිබෙනවා. 🙂 

• පිරිමි දරුවෙක් මූත්‍රා කිරීමේදී දුරට විදින ස්වභාවයක් තිබෙනවා. ඒ වුනාට දුරට විදින ස්වභාවයක් නැත්නම් මූත්‍රා පහ කිරීමට තටමනවා නම් මූත්‍රා ආසාදනයක් බව සැක කරනවා. 🙁 

 

📌 මූත්‍රා ආසාදනයක් බව තහවුරු කරගැනීම. 

 

ඉහත දැක්වෙන රෝග ලක්ෂණ ඔබේ දරුවා වෙතින් දකින්න ලැබෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් යොමු වීම අවශ්‍යයි. 🙂 මුලින් සඳහන් කල පරිදි වයස අවුරුදු 5 ට අඩු දරුවෙකුගේ නම් ප්‍රතිකාර ලබා ගැනීම ඉතාම වැදගත්. 🥺 ඊට වඩා වැඩි වයසක දරුවෙකුගේ වුනත් මූත්‍රා ආසාදන නොසලකා සිටියොත් වකුගඩු රෝග සඳහා බලපෑමක් කරන්න පුළුවනි. මෙහිදී වෛද්‍යවරයා විසින් ඊට අදාල වන පරීක්ෂණ වාර්තා ලබා ගන්නවා. 🙂 

 

📌 UFR හෙවත් Urine Full Report ( පූර්ණ මූත්‍රා පරීක්ෂණ වාර්තාව ) 

 

මෙම මූත්‍රා පරීක්ෂණ වාර්තාව මගින් විෂබීජ තිබෙනවාදැයි පරීක්ෂා කරන්න පුළුවනි. නමුත් ඒ වාර්තාව වුනත් 100% ක් තහවුරු කරන්න බැහැ. 🙁 නමුත් මූත්‍රාවල විෂබීජ ඒ වගේම මූත්‍රා සාම්පලය ලබා ගැනීමේදී නිසි එකතු කිරීමක් සිදු නොවුනහොත් වාර්තාව නිවැරදි නැහැ. සමහරවිට මූත්‍රා සාම්පලයට විෂබීජ ඇතුලු වුනොත් වාර්තාවේ දෝෂ ඇතිවෙනවා. රසායනාගාරයෙන් ජීවානුහරණය කරන ලද බෝතලයක් ලබා දෙනවා මුලින්ම මූත්‍රාශය ප්‍රදේශය හොඳින් සෝදන්න. මූත්‍රා සාම්පලය ලබා ගැනීමේදී මුලින්ම පිට වෙන මූත්‍රා නොව මූත්‍රා ප්‍රවාහයේ මැද කොටසෙන් මූත්‍රා සාම්පලය ලබා ගන්න. 🙂 

 

📌 Urine Culture 

 

මෙම මූත්‍රා පරීක්ෂණයේදී ඒ සඳහා විශේෂ බෝතලයක් ලබා දෙනවා. සාම්පලය ලබා ගැනීමට පෙරාතුව බෝතලය විවෘත කරන්න එපා. මූත්‍රා විදලා යන ප්‍රවාහයෙන් බෝතලයට මූත්‍රා ලබා ගෙන පියන පවා අතින් ඇල්ලීම සුදුසු නැහැ. විෂබීජ ඇතුලු වුනොත් වාර්තාව නිවැරදි නැහැ. 😕 

 

රසායනාගරයට යම් දුරක් තිබෙනවා නම් හැකි ඉක්මනින් සාම්පලය බාර දීමත් අවශ්‍යයි. කාලයත් සමග මූත්‍රා සාම්පලයේ නිවැරදිතාවයට ගැටලු ඇතිවෙන නිසා සායනයකදී හෝ රසායනාගාරයකදී දරුවාගේ මූත්‍රා සාම්පලය ලබා ගන්නවා නම් වඩාත් සුදුසුයි. 🙂 රසායනාගාරයේදී මූත්‍රා රෝපණ මාධ්‍යයක වගා කිරීම සිදුවෙනවා. එතැනදී මූත්‍රා ආසාදනයට හේතු කාරක බැක්ටීරියා හඳුනා ගැනීමට පුළුවනි. 🙂 

 

මෙම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙන ABST ( Antibiotic Susceptibility test ) සටහන මගින් ආසාදනය ඇති කරන බැක්ටීරියා වර්ගය සහ එම බැක්ටීරියාව සංවේදී වෙන ප්‍රතිජීවක ගැනත් හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙනවා.  

 

FBC ( Full Blood Count ) සම්පූර්ණ රුධිර පරීක්ෂාව මගින් යම් රෝග විනිශ්චයක් සඳහා සහනයක් ලබා ගත හැක. 

 

📌 මූත්‍රා ආසාදන වෙනුවෙන් ප්‍රතිකාර ලබා දීම. 

 

මූත්‍රා ආසාදනය සමග තද උණ, වමනය ඇතිවිට රෝගී තත්වයෙන් පසුවෙනවා නම් මුඛ මාර්ගයෙන් ලබාදෙන ඖෂධ දරුවාට ලබා දීම අපහසුයි. එවැනි අවස්ථාවකදී ඖෂධ නික්ෂේපණය මගින් ප්‍රතිකාර ලබා දෙනවා. 🙂 

 

ආසාදනය එතරම් දරුණු නැත්නම් දරුවා තද උණ තත්වයකින් පසු නොවන්නේ නම් මුඛ මාර්ගයෙන් ඖෂධ ලබා දීමට පුළුවනි. 😊 

 

ප්‍රතිජීවක ඖෂධ ලබා දීමේදී අවම වශයෙන් දින 7 - 10 ක් ලබාදීම අත්‍යවශ්‍යයි. වෛද්‍යවරයා නිර්දේශ කරන පිළිවෙලට ලබා නොදුනහොත් රෝගය යම් දුරකට සුවයක් පෙන්වූවත් නැවතත් ඇති වෙන්න පුළුවනි. 🙁 

 

📌 නිතර නිතර මූත්‍රා ආසාදන ඇතිවෙනවා නම්, 

 

දරුවෙකුට නිතර නිතර මූත්‍රා ආසාදන ඇතිවෙනවා නම් ඒ පිළිබඳව වෛද්‍යවරුන්ගේ වැඩි අවධානයක් යොමු වෙනවා. බොහෝ විට මේ තත්වය ඇතිවීමට දරුවාගේ මූත්‍රා පද්ධතිය ආශ්‍රිත දුර්වලතාවයක් හේතු විය හැකියි. 🙁 ඒ නිසා වෛද්‍යවරුන් විසින් දරුවාගේ මූත්‍රා පද්ධතිය ආශ්‍රිතව Ultra Sound Scan පරීක්ෂණ වාර්තාවක් ලබා ගන්නවා. එයිනුත් සෑහීමට පත් වන්නේ නැහැ. තවත් විශේෂ ස්කෑන් වාර්තාවක් ලබා ගැනීමෙන් පසුව මූත්‍රා පද්ධතිය ආශ්‍රිතව ඇති ආබාධ තත්වය නිශ්චය කර ගැනීමෙන් පසුව ප්‍රතිකාර ලබා දීම සිදුවෙනවා. එවැනි ආබාධ ඇති විට දීර්ඝකාලීන ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. ☹️ 

 

රාත්‍රියට ලබා දීමට නිර්දේශ කරන මෙම ඖෂධ නිසි කාලයට නිසි මාත්‍රාවකින් ලබා දිම වගේම නියම කරන පරීක්ෂණ සිදු කිරීම සායනයට සහභාගී වීම ඉතා වැදගත්. 🙂මව්පියන් විසින් එම උපදෙස් නොසලකා කටයුතු කිරීමෙන් දරුවාගේ වකුගඩුවට පවා හානි වීමට තිබෙන අවදානම් තත්වය තව දුරටත් වැඩි වෙනවා. 🥺 

 

📌 මූත්‍රා ආසාදන වලක්වා ගැනීමට උපදෙස් 

 

මලබද්ධය වලක්වා ගැනීම සඳහා තන්තු සහිත පලා, එළවළු හා පළතුරු ආහාරයට ලබා දෙන්න. 😊 

 

හොඳින් ජලය පානය කරන්න. 

 

මූත්‍රා පහ කිරීමට අවශ්‍ය වූ විට එය දරාගෙන නොසිට එය පහ කිරීමේ වැදගත්කම කියා දෙන්න. 🙂 

 

සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය කරන්න. ( පැම්පස් මාරු කිරීම, මූත්‍රාශය අවට සෝදා පිරිසිදුව තබා ගන්න. ) 

 

පිරිමි දරුවන්ගේ මූත්‍රාශය අවට පිරිසිදු කිරීමේදී පෙර සම පිටුපසට ගෙන හොඳින් සෝදන්න. නැත්නම් විෂබීජ මූත්‍රා මාර්ගයට ඇතුළු වීමට පුළුවනි. ☹️ 

 

ගැහැණු දරුවන්ගේ මූත්‍රාශය විවර සහිතව පවතින නිසා ගුද මාර්ගයේ විෂබීජ මූත්‍රා මාර්ගය ඔස්සේ ඇතුලු වීමට වැඩි ඉඩක් තිබෙනවා. ඒ වගේම ගුද මාර්ගය පිරිසිදු කිරීමේදී ඉදිරිපස සිට පිටුපසට සෝදන්න. එසේ නොවුනහොත් ගුද මාර්ගයේ ඇති විෂබීජ මූත්‍රා මාර්ගයට ඇතුළු වීමට පුළුවනි. 🙁 

 

කිරි පණු වැනි රෝග තත්වයන්ට ප්‍රතිකාර ලබාගන්න. කිරි පණුවන් කැසීම නිසාත් මූත්‍රා මාර්ගයට විෂබීජ ඇතුළු වීමට පුළුවනි. ☹️ 

 

ඔබ මේ උපදෙස් නිසි පරිදි අනුගමනය කරන්න. වයස අවුරුදු පහට අඩු දරුවෙකු නිතර නිතර මූත්‍රා ආසාදනයන්ට ගොදුරු වීම නිසා අනාගතයේදී නිදන්ගත වකුගඩු රෝගී තත්වයට පත් වීමටත් වැඩි ඉඩක් තිබෙනවා. ඒ නිසා දරුවා කුඩා වුනත් ඔවුන්ට ඇති වෙන මූත්‍රා ආසාදනයන් ගැන සුළුවෙන් තක්සේරු නොකරන්න. 🙂 

 

✍️ මහාචාර්ය මනෝරී ගමගේ

       ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය 

       දකුණු කොළඹ ශික්ෂණ ‍රෝහල

blog_image
blog_image