blogImage

දිගටම earbuds පාවිච්චියෙන් පිළිකා හැදෙනවාද?

“අනේ ඩොක්ටර්, මේ ළමයා කොච්චර කිව්වත් අහන්නෙ නෑනේ දවස පුරාම මේ earphone දෙක කනේ ගහගෙන ඉන්නේ. එහෙම හොඳ නෑ නේද ඩොක්ටර් ? 🙁 “

 

තම පුතා සමඟ පැමිණි මව මෙසේ මා හට කියන විටදී වයස 16 යේ ඉලන්දාරියා ලැජ්ජාවෙන් රතු වී  සිනහවක් පෑවේය. 

 

ඇත්තටම මේ 

      👉Airpods, 

      👉earbuds, 

      👉earphones, 

     👉 headphones 

          වලින් අපට ඇති බලපෑම පිළිබඳව සොයා බැලීම වටින නිසා මේ පිළිබඳව සටහනක් තැබීමට සිතුවෙමි. 😊 

 

මේ පිළිබඳව තොරතුරු වෛද්‍ය පොතපතේ සොයා ගැනිමට තරමක් අසීරුයි. 😕 

 

අන්තර්ජාලයෙන් කරුණු සෙවීමේදී මතුවන ප්‍රධානතම ගැටළුව එහි මූලාශ්‍ර වල විශ්වාසනීයභාවයයි. 🙁 

 

මේ නිසා වෛද්‍ය විද්‍යාත්මක කරුණු දැක්වීමේදී විශ්වාසයක් තැබිය හැකි වෙබ් අඩවි හා පරීක්ෂණ වාර්තා මත පදනම්ව පමණක් මේ කරුණු ගොනු කළෙමි. 😊 

 

📌 දිගටම earbuds පාවිච්චියෙන් පිළිකා හැදෙනවාද? 🤔 

 

වසර 2019 මැද භාගයේදී බටහිර රටවල මහත් ආන්දෝලනයකට ලක් වූ පුවතක් වූයේ, 

දිගින් දිගටම earbuds භාවිතයෙන් මොළයේ පිළිකා මතුවන බවට මතයක් පැතිරී යාමයි. 🙂 

 

මීට පාදක වූයේ රටවල් 42 ක විද්‍යාඥයින් 247 දෙනෙකු විසින් මේ earbuds වල විකිරණශීලීභාවය සලකා බලන ලෙසට ඉල්ලා ලෝක සෞඛ්‍ය සංවිධානයට පෙත්සමක් ඉදිරිපත් කිරීමයි. 🙂 

 

ඇත්තෙන්ම මේ පෙත්සම ඉදිරිපත් කළේ 2015 වසරේය. නමුත් ඒ පිළිබඳව බටහිර රටවල කතාබහක් ඇතිවූයේ 2019 වසරේ සමාජමාධ්‍ය වල ඇතිවූ කතිකාවත් සමඟින්ය. කාලයට සාපේක්ෂව දැන් මේ Airpods, earbuds භාවිතය කොතරම් සුලභ ද? 🙂 

 

ඔවුන්ගේ මතය වූයේ බ්ලූටූත් තාක්ෂණය මගින් ක්‍රියාත්මක වන airpods, earbuds වැනි උපකරණ වලින් හිසේ පටක වලට ඉතා ඉහළ ප්‍රමාණයේ රේඩියෝ සංඛ්‍යාත විකිරණ ( radio frequency radiation ) මගින් බලපෑමක් එල්ල කරන බවයි. 😟 

 

දිගින් දිගටම විකිරණ වලට නිරාවරණය වීම පිළිකා අවධානම වැඩි කරන අතර වෙනත් දිගු කාලීන ආබාධ වලට ලක්වීමේ ප්‍රවණතාවයක්ද ඇති බව පෙන්වා දුන් එම විද්‍යාඥයන් මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයට පෙන්වා දුන්නේය.. 😕 

 

නමුත් මේ පිළිබඳව නිසි ලෙස සිදු කරන ලද පරීක්ෂණ හෝ සමීක්ෂණ පිළිබඳව නිශ්චිත සටහනක් හෝ වාර්තාවක් නොමැත. 🙁 

 

දීර්ඝකාලීනව මෙහි බලපෑමක් ඇත්ද යන්න සොයා බැලීමට සිදුකරන ලද පරීක්ෂණද අතර මග නවතා ඇත. 🙁 

 

කෙසේ නමුත් 2011 දී ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසූයේ, 

 

🔴දුරකථනය මගින් නිකුත්වන විකිරණ මගින් ඇති කරන විද්‍යුත් චුම්භක කේෂ්ත්‍රය නිසා පිළිකා ඇතිවීමේ අවදානමක් පවතින බවයි. Wireless දුරකථන භාවිතයේදී glioma නම් පිළිකා විශේෂය ඇතිවීමේ අවදානම වැඩිවන බවද තවදුරටත් කියා තිබේ. 🔴

 

එසේ නම් මෙහි ඇති අවදානම භාර ගැනීම ඔබට බාරයි. 🙂 

 

📌 කන් ඇසීමේ ආබාධ මතුවීම

 

සාමාන්‍යයෙන් මිනිස් කනට සුදුසු උපරිම ශබ්ද ප්‍රමාණය ඩෙසිබල් 80ක් පමණ වේ. 

දරුවන් සඳහා මේ අගය ඩෙසිබල් 75 ක් පමණ වේ.

 

Headphones හී earbuds වල ශබ්දය උපරිම ලෙස වැඩි කරමින් ඇසීමේදී ඩෙසිබල් 105 දක්වා ශබ්දයේ තීව්‍රතාවය වැඩි විය හැකිය. 😟

 

මේ පිළිබඳව 2022 දී ස්වීඩනයේ Lund විශ්වවිද්‍යාලය හා ලෝක සෞඛ්‍ය සංවිධානය හා  Medical university of South Carolina එක්ව අන්තර්ජාතික මට්ටමේ සමීක්ෂණයක් පැවැත්වූයේය. 🙂 

 

එහි නිගමන නම් තරමක් භයංකාරය. 🥺 

 

1. ඉතා ඉහළ ශබ්දවාහිනී පුද්ගලික උපකරණ ( loud personal listening derices ) භාවිතය නිසා මිලියන 430 කට වඩා ශ්‍රවණ ආබාධ වලට ගොදුරු වීමට ඉඩ ඇත. 😟  

 

2. නව යොවුන් වියේ දරුවන් හා තරුණයින් දිගින් දිගටම අධික ශබ්දයට නිරාවරණය වීම නිසා කන් ඇසීම අහිමිවී යාමේ අවධානමක සිටී. 🥺 

 

3. තරුණ ජනගහනයෙන් 24% පමණ අධික ශබ්දයකින් යුතුව සංගීතයට ඇහුම්කන් දීමේ රුචියක් පවතී. 

 

මේ තත්වය ඉතා භයානක නිසා ඔබ earbuds හෝ airpods භාවිතයේදී එහි උපරිම ශබ්දයෙන් 60% පමණ ශබ්ද තීව්‍රතාවයකින් යුතුව එය භාවිතා කරන්න. 🙂 

 

📌 කනේ ආසාදන ඇතිවීම. 

 

කන ස්වභාවිකවම පිරිසිදු වන ක්‍රියාවලියක් පවතී. කනේ බාහිර ශ්‍රවණ නාලයේ අඩංගු ග්‍රන්ථි මගින් නිකුත්වන ශ්‍රාවයක් මගින් කනට ඇතුළු වූ දූවිලි, බැක්ටීරියා, ස්වභාවිකව ඉවත් කිරීම සිදු වේ. 😊 

 

නමුත් දවසේ වැඩි කාලයක් Airpods, earbuds පැළඳගෙන සිටීමේදී බාහිර ශ්‍රවණ නාලයේ බැක්ටීරියා සහ දිලීර ක්‍රියාකාරීත්වය වැඩි වීමට සුදුසු පරිසරයක් නිර්මාණය වේ. 😟 

 

මේ නිසා කන ආශ්‍රිතව ආසාදන ඇතිවීමෙ වැඩි වේ. 🙁 

 

♦️විශේෂ අවධානයට 

 

තාක්ෂණයේ දියුණුවත් සමඟ අපට ලැබෙන දේවල් හිතකර වගේම අහිතකර වීමට පුළුවන්ය. 🙁 

 

ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනිම නෑ යන්න සර්ව කාලීන කියමනයකි. 

 

ඔබ මේ උපකරණ භාවිතයෙන් ඔබේ එදිනෙදා කටයුතු කර ගන්න නමුත් ඒවාට ඇබ්බැහි වීමෙන් සෞඛ්‍ය බලපෑම් ඇතිවන අන්දමේ චර්යාවක් ඇති නොකරගන්න. 🙁 

 

අවසාන වශයෙන්, 

 

✅අවශ්‍ය වූ විට පමණක් earbuds භාවිතා කරන්න. විලාසිතාවක් ලෙසට නිකරුණේ පැළඳ ගෙන සිටීම නොකරන්න.😊

 

✅Earbuds හෝ airpods භාවිතයේදී ශබ්දය උපරිම වැඩිකොට භාවිතා නොකරන්න. උපරිම ශබ්දයෙන් 60% ක් පමණ වන තුරු පමණක් භාවිතා කරන්න. 🙂 

 

✅එක දිගට පැයකට වඩා earbuds හෝ airpods පැළඳගෙන සිටීම අඩු කරන්න.

 

මා මේ ලිපියට පාදක කරගත් වාර්තා සහ තොරතුරු පහතින් දක්වා ඇත.

 

මූලාශ්‍ර

 

https://www.medscape.com/viewarticle/988988#?ecd=a2a

 

https://www.medscape.com/viewarticle/910453?ecd=a2a

 

✍️සටහන

 

Dr.Mahesh Indika

Medical Officer 

ENT unit

DGH Ampara

blog_image
blog_image