blogImage

ජලභීතිකාව

📌 අද ලෝක ජලභීතිකා දිනය.

 

යුද්දෙට නැති කඩුව කොස් කොටන්ටද වගේ අද ජලභීතිකාව ගැන කතා කරේ නැත්නම් මොකක්ද ඇති ඵලේ. 😕

 

📌 ජලභීතිකාව කියන්නේ මොකක්ද? 🤔

 

සරලවම කිව්වොත් ජලභීතිකාව කියන්නේ මාරාන්තික ලෙඩක්. 🥺

 

Rabies කියන වෛරසය නිසා හටගන්නා රෝගය වැළඳී ජීවත් වූ කෙනෙක් හොයාගන්නට නැතිම තරම්. 😕 ජලභීතිකාව හැඳුනොත් දෙන්න බෙහෙත් තවම හොයාගෙනත් නැත. 🙁

 

හැබැයි වැදගත්ම දේ තමයි හැදෙන්න කලින් නියමිත විදිහට ඉන්ජෙක්ෂන් විදලා අපිට මේ ලෙඩේ හැදෙන එක නවත්වගන්න පුළුවන් වීම 👍😀

 

📌 ජලභීතිකාව හැදෙන්නේ කොහොමද?

 

ගොඩාක් අය හිතාගෙන ඉන්නෙ බල්ලෝ, පූසෝ කෑවම තමයි ජලභීතිකාව හැදෙන්නෙ කියලා. නමුත් ඒක එහෙම නෙවෙයි. 😕

 

කිරි බී වැඩෙන ඕනෑම සතෙක් සපාකෑමෙන් ජලභීතිකාව හැදෙන්න පුළුවන්. ඒ කියන්නෙ බල්ලෝ, පූසෝ, එළුවෝ, හරක්, ඌරෝ, වඳුරෝ, රිලව් වගේ ඕනෑම කිරි බී වැඩෙන සතෙකුගේ සපා කෑමෙන් ජලභීතිකාව හැදෙන්න පුළුවන්. ☹️

 

📌 මීයෝ කෑවමත් හැදෙනවද? 🤔

 

ගෙවල් වල ඉන්න පුංචි කොස් ඇට මීයෝ කෑවට ජලභීතිකාව හැදෙන අවදානමක් නැහැ. නමුත් ඌරු මීයො හැපුවොත් ජලභීතිකාව හැදෙන්න පුළුවන්. 😕

 

📌 මිනිස්සු හැපුවොත්? 🤔

 

ලෙඩේ තියෙන මිනිහෙක් තව මනුස්සයෙක් හැපුවොත් ජලභීතිකාව හැදෙනවා කියලා තවම වාර්තා වෙලා නැහැ. මේක සතුන්ගේ සපා කෑම් වලින් තමයි හැදෙන්නෙ. 😕

 

📌 වැරදිලාවත් සතෙක් හැපුවොත් මොකද කරන්නේ? 🤔

 

සතෙක් හැපුවොත් අනිවාර්යෙන් සබන් යොදා ගලායන ජලයෙන් විනාඩි 5ක් සෝදන්න. 🙂

මේක ඉතාම වැදගත්.

එහෙම සේදුවම වෛරස් එකෙන් 75% කින් විතර අයින් කරගන්න පුළුවන්. 🙂

 

♦️ඊට පස්සේ අනිවාරයෙන්ම ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න.

 

ඒ ඇයි ඩොක්ටර්ට පෙන්වන්න ඕනි? 🤔

 

ඔබේ තුවාලයේ ස්වභාවය අනුව ජලභීතිකාවට එරෙහිව එන්නත් ලබා දිය යුතුද?, එහෙනම් මොන එන්නතද ලබා දිය යුත්තේ කියන එක තීරණය කරන්න ඕනි නිසා. 😊

 

අනෙක් විශේෂම දේ තමයි පිටගැස්ම සඳහා එන්නත් ලබා ගැනීම.හරියට පිටගැස්ම සඳහා ප්‍රතිශක්තියක් නොමැති සියලු දෙනාම එන්නත් ලබා ගත යුතුමයි.

 

අනෙක් කාරණය තමයි සපාකෑම් නිසා සිදුවිය හැකි බැක්ටීරියා ආසාදන වලට ප්‍රතිකාර ගැනත් තීරණය කරන්න ඕනි නිසා. ☺️

 

ඊළඟ දේ තමයි සපා කන ලද සතා ගැන යම් තොරතුරු ටිකක් අවශ්‍ය වෙනවා ප්‍රතිකාර කිරීමේදී. 🙂

 

01. සති 2ක් යන තුරු සතා නිරීක්ෂණය කළ හැකිද යන්න.

 

නිවසක සුරතලයට ඇති කරන සතෙක් නම් මෙය ගැටළුවක් වෙන්නේ නැහැ. නමුත් පාරේ නිදැල්ලේ ගැවසෙන සතෙක් හෝ කැලෑ සතෙක් නම් මේක ගැටළුවක්. හරකෙක්, එළුවෙක් සපා කෑ විට නම් මාසයක් නිරීක්ෂණය කළ යුතුයි. ☹️

 

02. එන්නත් වාර්තා ‍රැගෙන එන්න.

 

මෙය ඉතාම වැදගත්. සුරතලයට ඇති කරන සතුන්ගේ එන්නත් වාර්තා ‍රැගෙන ආ යුතුමයි. 🙂 හොස්පිටල් එකට ඇවිත් නිකම් කටින් කිව්වට බල්ලට බෙහෙත් විදලා තියෙනවා කිව්වට ඒක පිළිගන්න බැහැ. ලිඛිත වාර්තාව ‍රැගෙන ආ යුතුමයි. 🙂

 

මොකද බල්ලන්ට පූසන්ට විවිධ ඉන්ජෙක්ශන් ගහනවා. Parvo, Adeno කියලා නොයෙක් ඉන්ජෙක්ශන් ගහනවා. ලිඛිත වාර්තාවක් නැතුව කිසිම විදියකට ජලභීතිකා එන්නත විදලා තියෙනවා කියලා පොළොවෙ හැපි හැපී කිව්වත් වැඩක් නැහැ. 😊

 

ඔබේ වාර්තාද රැගෙන එන්න.

 

ඔයාට මීට කලින් සතෙක් සපාකෑම නිසා බෙහෙත් විදලා තියෙනවා නම් ඒ වාර්තාත් රැගෙන යන්න අමතක කරන්න එපා. 🙂

 

ඒ වාර්තා අනුව ඔයාට බෙහෙත් විදින එක හා විදින වර්ගය, ප්‍රමාණය තීරණය වෙනවා. 😊 මේකත් වාර්තා නැතුව කටින් මට කලින් බෙහෙත් විදල තියෙනවා, කාඩ් එක නම් නැහැ කිව්වට පිළිගන්න බැහැ. 🙂

 

03. සපා කන ලද අවස්ථාවේදී සතාගේ සෞඛ්‍ය තත්වය ගැන අවබෝධයක් තිබිය යුතුය.

 

සතා නීරෝගිව හිටියාද?, ලෙඩින්ද හිටියේ කියන එක වැදගත්. 🙂

 

📌 ඉන්ජෙක්ශන් ගහන එක හොඳයිද? තුවාලෙ වටේටම ඉන්ජෙක්ශන් ගොඩක් ගහනවාද? 🤔

 

ලංකාවේ ගොඩාක් දෙනා මේ ඉන්ජෙක්ශන් එක ගැන බොරු බිල්ලො මවලා තියෙන්නෙ. 😑

 

“අනේ පොඩි ලමයින්ට ගැහුවොත් වඳ වෙනවා නේද ? ඩොක්ටර්“

ඩොක්ටර් ඉන්ජෙක්ශන් තුවාලෙ වටේටම විදිනවා කියන්නෙ ඇත්තද? 😕

 

මෙන්න අපේ ඈයොන්ගෙ ප්‍රශ්න. මේවා ගොඩක් බොරු මත. 😑

 

ඇත්ත කතාව තමයි, විශාල මට්ටමේ සපාකෑමකදී සතාව නිරීක්ෂණය කරන්න බැරි නම් තුවාලය වටේම Immunoglobalin නම් ඖෂධය එන්නත් කරනවා. ඒකත් මේ 20 - 30 ගහන්නේ නැහැ. 🙂

 

ජලභීතිකා එන්නත පළවෙනි දවසේ ස්ථාන 4 කට විදිනවා. දවස් 3 කට පස්සෙ ස්ථාන දෙකකට, දවස් 7 කින් ස්ථාන දෙකකට, මාසෙකින් ස්ථාන දෙකකටයි ගහනවා.මෙහෙම විඳින්නෙ සම්පූර්ණ එන්නත් මාත්‍රාවට ගහනවා නම්. 😊

 

එහෙම නැතුව තුවාල වටේටයි, ඇඟේ හතර වටේටයි, බඩටයි ඉන්ජෙක්ශන් ගහලා ලෙඩා පෙනේරයක් කරන්නේ නැහෑ. 🙂

 

📌 ඉන්ජෙක්ශන් ඔක්කොම ගහගන්න ඕනිමද? 🤔

 

ඔව්, වෛද්‍යවරයෙක් ඔබට සම්පූර්ණ මාත්‍රාවට ඒ කියන්නේ පළමු දිනය, තුන්වන දිනය, සතිය, මාසය යන කාල වලදී එන්නත් ලබා දිය යුතුයි කියලා අනිවාර්යෙන් ඒ සියලුම මාත්‍රා ලබාගත යුතුමයි. 🙂

 

📌 ඉන්ජෙක්ශන් එකක් මිස් වුනොත් මොකද වෙන්නේ? 🤔

 

පළවෙනි දේ තමයි ඇයි මෙහෙම මිස් වෙන්නෙ? අපි හිතමුකො ඔයා ගෙදරින් පිට පළාතකදී සපා කෑමකට ලක් වුනා කියලා.

 

පළමු දවසේ ඔයා ඒ පළාතේ රෝහලෙන් එන්නත් කරගත්තා කියමුකෝ. ඊළඟ මාත්‍රා ටිකට පැමිණිය යුතු දින පිළිබඳව ලියපු කාඩ් එන්නත් ඔයාට ලැබෙනවා. මේ කාඩ් එක ලංකාවේ ඕනෑම රජයේ රෝහලකට ( මේ එන්නත් විදින කාමරයක් සහිත ) පෙන්නලා අදාළ දිනයට විදගන්න පුළුවන්. 😊

 

හරි, බැරිම උනා කියමුකෝ එදාට එන්න. දවසක් දෙකක් පරක්කු වුනත් ලොකු ගැටළුවක් නෑ. 🙂

 

උදාහරණයක් විදියට තුන්වෙනි දවසේ එන්නත පස්වෙනි දවස වෙනකම්ම විදින්න පුළුවන්. ඊට පස්සෙ බෑ. ☹️

 

අදාල කාලයට වඩා පරක්කු වුනොත් ආපහු මුල ඉඳලා එන්නත් විදින්න ඕනි. 🙂

 

📌 එහෙම ආයෙ මුල ඉඳලා විදින එක ප්‍රශ්නයක්ද? 🤔

 

ඔව්, මේ නිසා රෝගියාට නිසි ආකාරව ජලභීතිකාවට එරෙහිව ප්‍රතිශක්තියක් ගොඩ නැගෙන්නෙ නැති නිසා ජලභීතිකාව හැදෙන්න අවදානමක් තියෙනවා. 😕

 

අනිත් එක තමයි, මේ නිසා රජයට ලොකු වියදමක් දරන්න වෙනවා මේ දේට.

 

📌 බල්ලෙක් හැපුව හැම වෙලාවෙම ඉන්ජෙක්ශන් ගහන්න ඕනිද? 🤔

 

මේක තීරණය කරන්නේ වෛද්‍යවරයා ඔබේ තුවාලයේ ප්‍රමාණය, සතාට එන්නත් කර තිබීම වගේ කරුණු මත.

 

ලෙඩා හිතලා, අහළ පහළ අයගෙන් අහලා ගෙදරට වෙලා ඉන්න එපා. 🙂

 

🔴බල්ලෙක්ගෙ කෙළ ගෑවුනත් ඉන්ජෙක්ෂන් විදින්න ඕනිද ?

 

මේක වැදගත්, අපි පහළින් කියලා තියෙන අවස්ථා ජලභීතිකාව හැදෙන්න අවදානම් සහිතයි කියලා හිතන්නෙ නෑ.

 

👉 සතෙකුගේ කෙළ ඔබේ නීරෝගී සමේ ස්ඵර්ෂ වීම (තුවාල නොමැති සමේ)

 

👉ජලභීතිකාව වැළඳි ඇතැයි සැක කරන සත්වෙයකු නෑවීම,සුරතල් කිරීම

 

👉අවදානම් සහිත සතෙක් ආහාරයට ගත් අහාරයක් වැරදීමකින් කෑමට ගැනීම

 

👉 සතෙකු වැටී මියගිය ළිදකින් ජලය පානය කිරීම

 

👉ජලභීතිකාව වැළඳුනු හෝ සැක කරන එළදෙනකගේ හෝ එළුවකුගේ කිරි පානය කිරීම

 

මේ අවස්ථා වලදී ඔබ ජලභීතිකා අවදානමක් ගැන බිය විය යුතු නැහැ.

 

📌 බෙහෙත් බොන්නත් ඕනිද? 🤔

 

තුවාලයේ ප්‍රමාණය හා ඔබේ රෝගී තත්ව මත ඔබට ප්‍රතිජීවක ඖෂධ නිර්දේශ කරනවා.

 

ඉතිං මේ ප්‍රතිජීවක ඖෂධ හා අනෙක් තුවාලය සඳහා සිදු කරන ප්‍රතිකාර හරියටම කරගන්න එකත් ඉතාම වැදගත්. සමහර වෙලාවට තුවාල ආසාදනය වීමෙන් ගැටළු මතුවෙන්න පුළුවන්. 🙁 විශේෂයෙන් දියවැඩියා රෝගීන් වගේ අයට.

 

📌 ජලභීතිකාවෙන් බේරෙන්නෙ කොහොමද? 🤔

 

පළවෙනි දේ තමයි සත්තු අතර මේක පැතිරෙන එක වළක්වා ගන්න සත්තුන්ට එන්නත් කිරීම ඉතාම වැදගත්. 😊

 

ඔබේ සුරතලා නියමිත කාලයේදී අනිවාර්යෙන් ජලභීතිකා සඳහා එන්නත් කිරීම කරගන්න. 😊

 

ඊළඟට වැදගත් දේ තමයි සපා කෑමක් සිදුවුන විටද හැකි ඉක්මනින් වෛද්‍යවරයෙක් හමු වී එන්නත් කිරීම අවශ්‍ය නම් එය සිදු කර ගැනීම. 🙂

 

කලින් කිව්වා වගේ හරක් හා එළුවන්ගෙනුත් මේ ජලභීතිකාව හැදෙන්න පුළුවන් නිසා එම සත්තු සමගින් නිරන්තරයෙන් ගැවසෙන අයට අපි විශේෂ එන්නත් කිරීමක් සිදු කරනවා. 😊 සත්තු එක්ක වැඩ කරන අයට Pre Exposure Prophylacxs එකකුත් දෙනව. Vet surgeon, Wild life අයට, Farm වල අයට, research lab වල අයට දෙනව. මේ පිළිබඳව ළඟම රෝහලේ වැඩි විස්තර දැන ගන්න පුළුවන්

 

වැදගත් දෙයක්

 

රජය මේ වසරේ ඉඳන් Intergrated bite case management කියලා වැඩක් කරනවා. එතනදී සපා කෑමට ලක්වුන පුද්ගලයාගේ විස්තර සපා කෑම සිදු කල සත්වයාගෙ විස්තර අරගෙන ඒවා PHI මාර්ගයේ අදාළ ප්‍රදේශයේ PHI ට යවලා පොඩි විමර්ශනයක් කරනවා. මේකෙන් සතුන් එන්නත් කිරීම වැඩි වෙනවා වගේම නිතර නිතර සපා කෑම් සිදුවන අවස්ථා ගැනත් සැලකිල්ලක් යොදවන්න පුළුවන්. 😊

 

✍️ Dr. Ranjula Wahalawatte.

Medical officer

PCU - DGH Nuwaraeliy

 

 

blog_image
blog_image