blogImage

සරම්ප

📌සරම්ප ආපහු ? 😱

 

ශ්‍රී ලංකාව ප්‍රතිශක්තිකරණ ක්‍රියවලිය තුළ ලොව බොහෝ රටවලට වඩා ඉදිරියෙන් සිටින රටකි. එය මෙරට සෞඛ්‍ය සේවය මෙන් ම පොදු මහ ජනතාව ලද ජයග්‍රහණයකි. සරම්ප රෝගය සඳහා ද මෙම ක්‍රියවලිය තුළ ප්‍රතිශක්තිකරණය සපයනු ලබයි.

 

🔴 එනමුදු 2023 මැයි මස සිට සරම්ප රෝගීන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බව වස‍ංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.😬

 

♦️මෙම රෝගය වාතය හරහා 😳ප්‍රචරණය වන වෛරස් ආසාදනයකි (Measles virus).

රෝගියෙකුගේ කිවිසීම හා කැස්ස මගින් හෝ එම ස්‍රාවයන් හරහා ඉතා ශීඝ්‍රයෙන්

👉ශ්වසන මාර්ගය,

👉මුඛ මාර්ගය හෝ

👉ඇස හරහා මෙම රෝගය පැතිර යා හැකිය.

 

ප්‍රධාන ලෙස ම ශ්වසන පද්ධතියට බලපෑම් ඇති කරයි.☹️

 

📍වෛරසය ශරීර ගත වී දින 10කට පමණ පසු

1️⃣. තද උණ,

2️⃣. සමෙහි ඇතිවන රතු පැහැති ලප

3️⃣. සෙම්ප්‍රතිශ්‍යාව ,

4️⃣. කැස්ස සහ

5️⃣. ඇස් රතු පැහැති වීම

වැනි රෝග ලක්ෂණ ඇති වෙයි.

 

♦️උණ ඇති වී දින 4 ට පමණ පසු සමෙහි ඇතිවන රතු පැහැති ලප මුහුණ සහ ගෙල ප්‍රදේශයෙන් ආරම්භ වී පසුව ශරීරය පුරා පැතිර යයි.

♦️රෝග ලක්ෂණ පෙන්වන දින සිට, දින 10ක් පමණ යන තුරු රෝගියෙකුගෙන් තවත් 16 දෙනෙකුට පමණ රෝගය පැතිර යාමේ අවධානමක් පවතී.😥

 

ආසාදිත රෝගීන් කිසිඳු සංකූලතාවයකින් තොරව සුව වීමට මෙන් ම ඉතා බරපතල සංකූලතා සහිත වීමට ද අවස්ථාව පවති.😐

 

▶️නියුමෝනියාව,

▶️අජීර්ණය,

▶️අන්ධභාවය,

▶️බිහිරි වීම සහ

▶️එන්සෙෆලයිටිස් (encephalitis) හෙවත්

මොළයේ ආසදන තත්ත්වය

එම සංකූලතා වන අතර ඇතැම් විට මරණයට ලක් වීමට ද පුළුවන.😥

 

♦️මෙම රෝගයේ ඇති අනෙක් අවධානම නම්, සුවය ලබන රෝගීන් ද Sub acute Sclerosing Panencephalitis (SSPE) නම් මොළයේ ඇති වන ආසාදන තත්ත්වයට පත් වීමට ඉඩ ප්‍රස්ථා තිබීමයි.

මෙය ඉතා කලාතුරකින් ඇති වුව ද රෝගය සුව වී අවුරුදු 5 - 10 කට පසුව වුව ද ඇති විය හැකි මාරාන්තික තත්ත්වයකි. මේ සඳහා දැනට කිසිඳු ප්‍රතිකාරයක් නොමැති අතර 😓මොළයට වන හානිය නිසා පූර්ණ ලෙස දුබල වීමට හෝ මරණයට පත් වීමට පුළුවන😱.

 

♦️මෙවැනි සංකූලතා බහුලව දක්නට ලැබෙනුයේ

🔸වයස අවුරුදු 5 ට අඩු සහ

🔸වයස අවුරුදු 20 ට වැඩි පුද්ගලයන්,

🔸ප්‍රතිශක්ති ඌනතා සහිත රෝගීන්,

🔸උග්‍ර මන්දපෝෂිත රෝගීන් සහ

🔸විටමින් A ඌනතාවයෙන් පෙළෙන රෝගීන් අතර ය.

 

✅සරම්ප, වෛරස් ආසාදනයක් 🦠නිසාවෙන් කිසිඳු නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති අතර නිවැරැදි සහ පූර්ණ ලෙස ප්‍රතිශක්තිකරණය ලබා ගැනීම රෝගය ඇති වීම වළක්වා ගැනීමට ඇති එකම විසඳුම යි. 💉

 

⭕️ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ වයස මාස 9 දී සහ වයස අවුරුදු 3 දී ලබා දෙන MMR එන්නතෙහි මෙම රෝගයට එරෙහි ප්‍රතිශක්තිකරණය අඩංගු කර තිබෙයි. ලෝකයේ දැනට පවතින දත්ත අනුව මෙම එන්නත ඉතාමත් ආරක්ෂාකාරී වන අතර නිවැරැදි සහ පූර්ණ ලෙස එන්නත් මාත්‍රා 2ක් ලබා ගැනීම තුළින් ජීවිත කාලය සඳහා ම ප්‍රතිශක්තිකරණය සපයයි. 🤝

 

⭕️ලොව පුරා සරම්ප රෝගය පාලනය සඳහා MMR එන්නත ලබා දී ඇති දායකත්වය ඉතාමත් ප්‍රශංසනීය යි.

 

🛑මෑත කාලයේ සරම්ප රෝගීන් වැඩි වීම බහුල ලෙස ම දක්නට ලැබෙන්නේ MMR එන්නත ලබා නොගත් හෝ අර්ධ ලෙස ලබා ගත් පුද්ගලයන් අතර වීම කැපී පෙනෙන කරුණකි.

 

කෝවිඩ් වසංගතය සමඟ ඇති වූ සංචරණ සීමා මෙන් ම එන්නත්කරණය පිළිබඳ පොදු මහා ජනයා තුළ ඇති වූ අනිසි බිය මෙම තත්ත්වයට තුඩු දෙන්නට ඇත.

 

එබැවින් එන්නත් මාත්‍රා දෙක ම ලබා දීමට මව්පියන් උත්සුකව කටයුතු කළ යුතු ය. යම් රෝගී තත්ත්වයක් නිසා එන්නත ලබා දීම ඔබේ වෛද්‍යවරයා විසින් ප්‍රමාද කර ඇත් නම් එම තත්ත්වය සුව වූ වහාම වෛද්‍ය උපදෙස් මත එන්නත ලබා ගැනීමට කටයුතු කළ යුතු ය. ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්නත ලබා නොගත් අය නියමිත එන්නත් මාත්‍රා දෙක ලබා ගනීමට ද එක් මාත්‍රාවක් පමණක් ලබා ගත් අය දෙවන මාත්‍රාව ද ලබා ගැනීමට කටයුතු කිරීම නුවණට හුරුය.😐

 

❌රෝගය වැළඳුණු කෙනෙකුට සාමාන්‍යයෙන් එන්නත ලබා දීම සිදු නොවේ.

 

🔹ගර්භණී මව්වරුන්, ඒඩ්ස් රෝගීන්, පෙර එන්නත්වලට ආසාත්මිකතා (allergy) ඇති වූ අය සහ MMR පළමු එන්නත උග්‍ර ලෙස ආසාත්මික වූ (anaphylaxis) අය එන්නත ලබා ගැනීමෙන් වැළකිය යුතු ය.

🔹මාංශමය ආහාර සඳහා ආසාත්මිකතා ඇති පුද්ගලයන්ට රෝහල්ගත වී එන්නත ලබා ගත හැකි ය. 😐

🔹උණ රෝගයෙන් පෙළෙයි නම් රෝගය සුව වනතෙක් එන්නත්කරණය ප්‍රමාද කළ යුතු ය. 😥

🔹එන්නත ලබා ගෙන මසක් යන තුරු ගර්භණීවීම ප්‍රමාද කළ යුතු ය. 😓

🔹ඉහත සඳහන් සියලු අවස්ථාවල දී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

 

පළමු එන්නත ලබා ගැනීමෙන් පසුව සමහර කෙනෙකුට උණ, ඇඟපත වේදනාව සහ සමෙහි ලප ඇති වීම සාමාන්‍ය වන අතර ඇතැමෙකුගේ රුධිර පට්ටිකා අඩු වීම ඉතා කලාතුරකින් සිදු විය හැකි ය. 😬

 

🔴මෙම එන්නත නිස දරුවන්ගේ මොළයේ වර්ධනය බාල වේය යන්න මිථ්‍යා මතයක් වන අතර ජගත් පර්යේෂණ අනුව එවැන්නක් සිදු නොවන බවට තහවුරු කර ඇත.🤝

 

✅එබැවින් සමාජය තුළ පවතින දුර්මතවලට නොරැවටී නිසි ලෙස සහ පූර්ණ ලෙස ප්‍රතිශක්තිකරණය ලබා ගැනීමට කටයුතු කිරීම මෙම තත්ත්වය ඵලදායි ලෙස පාලනය කිරීමට ඉමහත් රුකුලක් වනු නොඅනුමාන ය. 🙏✍️

 

✍️වෛද්‍ය රසික කටුගහ

වෛද්‍ය නිලධාරි

මූලික රෝහල, මහියංගණය

 

♦️මූලාශ්‍ර - වස‍ංගත රෝග විද්‍යා අංශයේ නිල වෙබ් අඩවිය

♦️එන්නත් පිළිබඳ‍ මාර්ගෝපදේශ සහ තොරතුරු සංග්‍රහය, ශ්‍රී

ලංකා වෛද්‍ය සංගමය (2020)

 

✍️ විශේෂ ස්තුතිය - සෝදුපත් කියවීම වෙනුවෙන් ප්‍රියංගනී රන්දෙණිය මිය

blog_image
blog_image