blogImage

බබාට සුදුසු ආහාර මොනවාද?

පුංචි බබාලා සමගින් මා හමුවට පැමිණෙන ගොඩාක් දෙමාපියන්ගේ පැමිණිල්ලක් තමයි,

 

“අනේ ඩොක්ටර් බබා කන්නේ නෑනේ. “

“අනේ ඩොක්ටර් බබාගේ බර වැඩි වෙන්නෙ නෑනේ, කන්නෙත් අඩුවෙන්.”

 

ඉතිං, අම්මලාට තියෙන ලොකුම ගැටළුවට විසඳුමක් මේ ලිපියෙන් ලැබෙයි කියලා හිතනවා. 😊

 

📌 බබාට අමතර ආහාර ලබා දෙන්න ඕනි ඇයි? 🤔

 

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මුල් මාස 4 - 6 දී මව්කිරි පමණක් ලබා දී, ඉන් පසු ඝන ආහාර ලබා දීමට උපදෙස් ලබා දෙනවා. ☺️

 

මව්කිරි වල ඒකක පරිමාවක ඇති ශක්ති ප්‍රමාණය නියතයක්.

දරුවාගේ වර්ධනය සමග දරුවාගේ ශක්ති අවශ්‍යතාව වැඩි වීම නිසා එය සපුරාලීමට මව්කිරි පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. 🙂 ඒ නිසා ශක්තිය වැඩි ඝන ආහාර ලබාදීම කළ යුතු වෙනවා. ☺️

 

🔴ඝන ආහාර ලබාදීමේදී අම්මලා මේ ගැන හිතන්න. 🙂

 

♦️දරුවාට වෙන්වූ පිඟන්, කෝප්ප, හැඳි භාවිතා කරන්න.

 

♦️සෑම විටම ඒවාගේ පිරිසිදුභාවය ගැන සැලකිලිමත් වෙන්න.

 

♦️දරුවාට කෑම ලබාදීමට පෙර සබන් යොදා ඔබ අත් සෝදන්න.

 

⭕️විශේෂයෙන්ම,

 

දරුවාට කෑම ලබාදීමට විශේෂ ස්ථානයක් තිබේ නම් ඉතාම හොඳයි. එම ස්ථානයේ දරුවාගේ අවධානය වෙනස්වන රූපවාහිනී, රේඩියෝ වැනි දේවල් තබන්න එපා. 🙂

 

දරුවාට කෑම ලබාදීමේදී අම්මලා ඉවසිලිමත් වෙන්නට ඕනි.

දරුවාගේ බුද්ධි වර්ධනයට

 

👉 දරුවා සමග කතා කරමින්,

👉 දරුවා සමග සන්නිවේදනය කරමින්,

👉 දරුවාගේ අවධානය දිනා ගනිමින්

 

ආහාර ලබා දීම ඉතා වැදගත්. 😊

 

❌ අම්මලා නොකළ යුතු දේවල් 🙂

 

රූපවාහිනිය හෝ ජංගම දුරකථනයට දරුවාගේ අවධානය යොමු කොට දරුවාව රවටමින් කෑම දෙන්නට එපා. 🖥️📱❌

 

දරුවා වඩාගෙන ඇවිදිමින් කෑම ලබා දීමත් නුසුදුසුයි. 😕

 

📌 බබාට සුදුසු ආහාර මොනවාද? 🤔

 

මාස 6 දී, මත් ගා ගත් බත් ලබා දීම වඩා සුදුසුයි. කැමති සහල් වර්ගයකින් හොඳින් පිසූ බත් වලට මව්කිරි ස්වල්පයක් කලවම් කර තලපයක් වන තුරු හොඳින් මත් ගාගෙන කුඩා හැන්දකින් කටවල් කිහිපයක් මුලින් ලබා දෙන්න. ☺️

 

📌 දරුවාගේ වයස සමගින් අමතර ආහාර වැඩි කරන්නේ කෙසේද? 🤔

 

📍ඝන ආහාර සමග දරුවාට අවුරුද්දක් යනතුරු මව්කිරි ලබාදීම වැදගත්.

 

මුල්ම කලයේදී ඝන ආහාර එක වේලක් පමණක් දින කිහිපයක් ලබා දෙන්න.

 

දරුවා ඉතා හොඳින් එය ලබාගන්නේ නම්, වේල් දෙකක් දිනකට ලබා දෙන්න. 😊

 

දින 3 කට වරක් අලුත් ආහාර වර්ගයක් වරකට එක බැගින් අලුතින් බබාට හඳුන්වා දෙන්න.

 

අල, වට්ටක්කා, කැරට් වැනි පහසුවෙන් තලපයක් බවට පත් කළ හැකි ආහාර මුලින් හඳුන්වා දෙන්න.

 

සති 2 - 3 කට පසු අඹරා ගත් හාල්මැස්සන්, මාළු, ධාන්‍ය වර්ග ක්‍රමයෙන් දින 3 කට වරක්, වරකට එක බැගින් බබාට කවන්න. 😊

 

මාසයකට පසු වේල් ගාණත්, වේල් 3 දක්වා වැඩි කරගන්න.

දරුවාට මාස 7 - 8 දී බිත්තර ලබාදීම පටන් ගන්න. 🥚

 

බටර්, පොල්කිරි, පොල්තෙල්, කියන්නේ ගුණාත්මක හා ශක්තිජනක බවින් වැඩි ආහාර. මේවා ක්‍රමයෙන් දරුවාගේ ආහාරයට හඳුන්වා දීම මගින් දරුවාගේ වර්ධනය ප්‍රශස්ත අගයක පවත්වාගෙන යාමට හැකියි. 😊

 

ක්‍රමයෙන් දරුවාට එළවළු. පළතුරු, ධාන්‍ය වර්ග, මස්, බිත්තර වැනි දෑ ආහාර වේල් වලට එකතු කරන්න.

 

ලුණු හා සීනී දරුවාගේ ආහාරයට එකතු කරන්න එපා. 🍭🍬🍰🧂❌

 

ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව ආහාර වේල් එකක් හෝ දෙකක් ලබා දීම වැදගත්. 😊

 

අමතර ආහාර වේල් මගින් අමතර ශක්ති ප්‍රමාණයක් දරුවාට ලැබෙනවා. ☺️

 

අමතර ආහාර වේල් විදියට,

 

👉බටර් තැවරූ අල 🥔

👉බිත්තරයක්. 🥚

👉කෙසෙල් ගෙඩියක් 🍌

‍👉යෝගට් එකක් 🥣

ලබාදෙන්න පුළුවන්. ☺️

 

📌 සීතල ආහාර දරුවාට අගුණද? 🤔

 

අපේ අම්මලා අතර මතයක් තිබෙනවා. කෙසෙල්, යෝගට්, අනෝදා,අලිපේර වැනි ආහාර සීතල ආහාර කියලා. එවැනි ආහාර දරුවාට ලබාදීම සුදුසුද ? 🤔

 

දරුවාගේ දෙමාපියන්ට හෝ පවුලේ ළඟම ඥාතියෙකුට පීනස හෝ කැස්ස ඇත්නම් මේ ආහාර ලබාදුන්න විට දරුවටත් එවැනි පීනස හෝ කැස්ස ඇතිවීමේ ඉඩක් තිබෙනවා. 🙁

 

එසේ දරුවාට කැස්ස හෝ පීනස ඇතිවෙනවා නම් ඒ ආහාර පාලනයකින් යුතුව ලබා දෙන්න. 🙂

 

නමුත් බොහෝ දරුවන්ට මේ ආහාර වලින් ගැටළුවක් නෑ. එම නිසා මේ ආහාර දරුවාට ලබා දීමට පසුබට නොවන්න. 🥑🥒🥭🥝✅

 

📌 දරුවා අසනීප වූ විට ආහාර ලබාදීම කළ යුත්තේ කෙසේද? 🤔

 

අසනීප වූ විට, ශරීරයෙන් ශක්තිය වැය වීම වැඩියි. නමුත් දරුවා ආහාර ගන්නේ අඩුවෙන් නම් බර අඩුවෙන්න පුළුවන්. 🙁

 

එම නිසා වෙනදාට වඩා දරුවාට ඝන ආහාර එක වේලක් වැඩිපුර ලබා දෙන්න.

 

📌 දරුවාට ආහාර ලබාදීම නිවැරදිව සිදු වෙනවාදැයි දැනගන්නේ කොහොමද? 🤔

 

පළමු අවුරුද්ද ඇතුළත දරුවාගේ බර මාසිකව කිරා බලන්න. බර සටහන් ප්‍රස්ථාරයේ එක් තීරුවක නිසි ආකාරව බර වැඩි වේ නම් ඔබගේ ආහාර ලබාදීම හා වර්ධනය සාධනීයයි. 🔖

 

නමුත් එක් වර්ණ තීරුවකින් පහළ ඇති වර්ණ තීරුවකට දරුවාගේ බර ප්‍රස්ථාරය පහළ ගියේ නම් ආහාර ගැන සැලකිලිමත් වෙන්න. 📉😟

 

📌 දරුවාට ආහාර ප්‍රියශීලී කරවන්නේ කොහොමද? 🤔

 

දරුවා ආසාවෙන් ආහාර නොගන්නේ නම් කලබල වෙන්න එපා. එය සාමාන්‍ය තත්වයක්. ඒ වගේ දරුවන් අපි Fussy eaters ලෙස හඳුන්වනවා. මේ දරුවන්ගේ වර්ධනය සාමාන්‍යයයි. 😊

 

දරුවාට ආහාර ප්‍රියභාවය වැඩි කිරීමට,

 

01. දරුවා විසින්ම ආහාර අනාගෙන කෑමට ඉඩ හරින්න.

දරුවා කෑම සමග සෙල්ලම් කළත් ආහාර ගැනීමට යම් උනන්දුවක් ඇති වෙනවා මෙහිදී. ☺️

 

02. විවිධ වර්ණ සහිත එළවළු හා පළතුරු යොදාගෙන ආහාර පිළියෙල කරන්න.

 

03. දරුවා කැමති ස්වභාව වලින් ( texture ) ආහාර ලබා දෙන්න.

 

04. දරුවාට ආහාර ලබාදීමේදී දරුවා සමග මනා සම්බන්ධතාවයක් ඇති කරගන්න.

 

දරුවාට කතන්දරයක් කීම, සින්දුවක් කීම, ක්‍රියාකාරකමක් සිදු කිරීම වැනි දේවල් මගින් දරුවාගේ අවධානය ආහාර වේලට යොමු කරගන්න. නමුත් කලින් කිව්වා වගේ TV, Phone මගින් ඒ දේ කරන්න යන්න එපා. 🙂

 

මේ පිළිබඳව විස්තරාත්මකව තව දුරටත් කරුණු දැන ගැනීමට පහත වීඩියෝව නරඹන්න

 

https://youtu.be/ZjxBEUgH-TI?si=32NYy8whpzahsyu-

 

Dr.Kavinda Dayasiri

(MBBS,MD,MPhill,MSc,FRCPCH)

North Colombo Teaching. Hospital

Ragama

blog_image
blog_image