blogImage

ආතරයිටීස්

ලංකාවේ මිනිස්සුන්ට අනුව ඕනෑම හන්දි වේදනාවක් ආතරයිටීස් කියලා තමයි හිතන්නේ. ඒ ඕනෑම හන්දි අමාරුවක් ක්ෂණිකව සුව කරන මහා බලගතු තෙල් වර්ග, පාන වර්ග ඕනි තරම් වෙළඳපොලේ තියෙනවා. මේවට අහුවෙන්න ලංකාවේ තරම් සමත් කවුරුත් මේ ලෝකේ නැහැ 😑

 

මම මේ කියන්නෙ මේ හැම නිෂ්පාදනයක්ම වැඩක් නැහැ කියලා නෙවෙයි. නමුත් හැම ආතරයිටීස් වර්ගයම එක වගේ නැහැ කියන එකයි.

 

හන්දි වලට විතරක් නොවෙයි හරියට ප්‍රතිකාර කරේ නැත්නම් මුළු සර්වාංගයම ලෙඩ කරවන රුමටොයිඩ් ආතරයිටීස් නම් සන්ධි රෝගය ගැනයි මේ දැනුවත් කිරීම. 🙂

 

📌 මොකක්ද ‍රුමටොයිඩ් ආතරයිටීස් කියලා කියන්නේ ? 🤔

 

දිගුකාලීන වශයෙන් අපේ ශරීරයට බලපාන ප්‍රදාහයික රෝගී තත්වයක් තමයි මෙහෙම හඳුන්වන්නේ. මෙහි ප්‍රධාන ලක්ෂණ තමයි, දිගින් දිගටම පවතින අත් හා පාද ආශ්‍රිත සන්ධි ‍රෝගී තත්වය. 😕

 

📌 අනෙක් ආතරයිටීස් වලයි මේ ආතරයිටීස් වලයි වෙනස මොකක්ද ? 🤔

 

අපි ගොඩාක් දෙනා ආතරයිටීස් කියලා හඳුන්වන ඔස්ටියෝ ආතරයිටීස් කියන රෝගය බොහෝ විට සන්ධි ආශ්‍රිතව පමණක් ඇති වෙනවා. නමුත් මේ රුමටොයිඩ් ආතරයිටීස් කියන ලෙඩේ ප්‍රධාන වශයෙන් සන්ධි වලට බලපෑවට එතනින් නවතින්නෙ නැතුව මුළු ශරීරය පුරාවටම බලපෑම් ඇති කරනවා 🙁 ඒ කියන්නේ සම, හෘද වස්තුව, පෙනහලු, වකුගඩු, ඇස් වගේ සිරුරේ ඉන්ද්‍රිය හා අවයව විශාල ප්‍රමාණයක් මේ රෝගය නිසා ලෙඩ වෙනවා. 😕

 

📌 කොහොමද මේ ලෙඩේ හැදෙන්නේ ? 🤔

 

අපේ ඇඟ ඇතුලේම අපේ ඇඟට විරුද්ධව ප්‍රතිදේහ නිෂ්පාදනය කරනවා. මේවට අපි කියනවා ඔටෝ ඇන්ටිබොඩි කියලා. Anti - CCP සහ RF කියන නම් වලින් මේවා හඳුන්වනවා. මේ ඔටෝ ඇන්ටිබොඩි ගිහින් සන්ධි ආශ්‍රිතව ප්‍රතිශක්තිකරණ ප්‍රතික්‍රියා රාශියක් ඇති කරලා සන්ධි වලට ආබාධ ඇති කරනවා. 😟

 

මේ ඔටෝ ඇන්ටිබොඩි තියෙන්නේ අපේ ලේ වල. ඉතිං කාලයක් යද්දි හන්දි වලට විතරක් නෙවෙයි ශරීරය අභ්‍යන්තරයේ අනෙක් අවයව වලටත් මේකෙන් බලපෑමක් ඇති වෙනවා. ☹️

 

මේ ක්‍රියාවලිය සංකීර්ණ වගේම තවමත් සම්පූර්ණ වශයෙන් අවබෝධ කරගත් ක්‍රියාවලියක් නෙවෙයි. මේක කියවන ඔබට තේරුම් ගැනීමේ පහසුවට මේ විදියට ලිව්වේ. 😊

 

📌 කාටද මේ ලෙඩේ හැදෙන්නේ ? 🤔

 

සාමාන්‍යයේ ජනගහනයෙන් ( ලෝක මට්ටමේදී ) 1 % පමණ ප්‍රමාණයකට මෙම රෝගය පවතින බවට සලකනවා.

 

කාන්තාවන් අතර මේ රෝගය ඇතිවීමට පිරිමින්ට වඩා 3 - 4 ගුණයක අවදානමක් පවතිනවා 😕

 

වයස අවුරුදු 35 දී හා 50 දී මේ රෝගීන් හමුවීමේ වැඩි ඉඩකඩක් පවතිනවා කියලා හඳුනාගෙන තියෙනවා.

 

තමන්ගේ පවුලේ සමීප ඥාතියන්ට මේ රෝගය ඇත්නම් එමගින් ලෙඩේ ඇතිවීමේ අවදානම 2 - 3 ගුණයකින් වැඩි වෙනවා. ☹️

 

📌 ඇයි මෙහෙම ලෙඩක් හැදෙන්නේ ? 🤔

 

මේකමයි හේතුව කියලා එක හේතුවක් නැහැ. හේතු රාශියක් එකතු වෙලා ලෙඩේට මුල් වෙන්න පුළුවන්. ඒ වගේම ඒ ඒ පුද්ගලයාට අදාළව හේතුව වෙනස් වෙනවා.

 

01. ජානමය සාධක

 

රුමටොයිඩ් ආතරයිටීස් රෝගය සෑදීමට 50 % කින් ජානමය සාධක මුල් වෙනවා කියලා හිතනවා. ජාන විද්‍යාව හා සම්බන්ධ වූ විශේෂ කරුණු රාශියක් මේ සම්බන්ධයෙන් දියුණු රටවල් හොයාගෙන තියෙනවා 🙂

 

02. ප්‍රතිශක්තිකරණ සාධක

 

මේ රෝගයට අදාළ වන ඔටෝ ඇන්ටිබොඩි නිෂ්පාදනය හා ඒවාගේ විකාශනය සම්බන්ධයෙත් ප්‍රතිශක්තිකරණ පද්ධතියට අදාළ වන හේතු සාධක රෝගයට මුල් වෙන්නට පුළුවන්. 🙁

 

මීට අමතරව,

• ඇතැම් ආසාදන තත්ව

• හෝර්මෝන වල බලපෑම

• රැකියාවේ හා ජීවන විලාශයේ සාධක

නිසාත් මේ රෝගය සෑදීමට හේතු කාරණා වෙන්න පුළුවන්. 🙁

 

📌 මේ ලෙඩේ කොහොමද අදුරගන්නේ? 🤔

 

01. සන්ධි වේදනාව හා ඉදිමීම

 

සෙමෙන් සෙමෙන් කාලයක් තිස්සේ මතුවන සන්ධි වේදනාව ප්‍රධාන වශයෙන් අතේ ඇඟිලි පුරුක් වල, පාදයේ ඇඟිලි වල වේදනාව හා ඉදිමීම දැනගන්න ලැබෙනවා. 😕

 

අත් දෙකේම හා කකුල් දෙකේම එකම ආකාරයෙන් මේ ලක්ෂණය තියෙනවා.

 

මීට අමතරව දණහිස් හන්දියේ, වැලමිට හන්දියේ වැනි ස්ථාන වේදනාව තිබෙනවා.

 

විශේෂත්වය තමයි වේදනාව හා ඉදිමීම එක හන්දියකට හෝ දෙකකට සීමා නොවී සන්ධි විදාල ප්‍රමාණයකට එකවර බලපෑම් කිරීම. 😟

 

වේදනාව හෝ ඉදිමීම ඇතිවන සන්ධිය හැමවිටම එකම ආකාරයෙන් හැම දෙනාටම බලපාන්නේ නැහැ. විවිධ රෝගීන්ට විවිධ ආකාරයෙන් බලපානවා.

 

02. උදෑසන සන්ධි ආශ්‍රිත තද ගතිය.

 

මේ ලක්ෂණය ඉතාම වැදගත්. සාමාන්‍යයෙන් ඔස්ටියෝ ආතරයිටීස් තත්ව වලදී අපි වැඩ කරලා ඉවර වෙලා හැන්දෑවට හෝ රෑ වෙනකොට තමයි වේදනාව අධිකව දැනෙන්නේ. නමුත් මේ ලෙඩේ උදේ පාන්දර ඇඳෙන් නැගිටිනකොට හන්දි තද ගතියක් දැනෙනවා. 🙁

 

මේ තත්වය අපි morning stiffness කියලා හඳුන්වනවා. මේ හේතුව නිසා එදිනෙදා ගෙදර දොරේ ඉවුම් පිහුම් කටයුතු, අතුපතු ගාන වැඩ ටික කරගන්න අමාරු වෙනවා. ඒ විතරක් නෙවෙයි ඇතැම් අවස්ථා වලදී දත් මැදීම, කොණ්ඩය පීරිම වගේ තමන්ගේ වැඩත් කරගන්න අපහසු වෙනවා. ☹️

 

මීට අමතරව,

• මහන්සි ගතිය.

• අප්‍රාණිකත්වය.

• බර අඩු වීම.

• ලාවට උන ගතියක් පැවතීම.

වැනි ලක්ෂණත් සමහර රෝගීන්ගේ දැනගන්න පුළුවන්.

 

📌 මේ ලෙඩේ දිගටම තිබ්බොත් මොකද වෙන්නේ? 🤔

 

නිසි ප්‍රතිකාරයක් නොමතිව දිගින් දිගටම රෝගය ශරීරය තුළ උත්සන්න වීමෙන් සන්ධි ආශ්‍රිත කොටස් වල වෙනස්කම් ඇතිවීමෙන් විශේෂයෙන් අත්වල හා පාදයේ ඇඟිලි වල ස්වභාවික ස්වරූපය වෙනස් වෙනවා. 🙁

 

හරි ආකාරයෙන් ප්‍රතිකාර නොලැබුනු විටදී කලින් කිව්ව විදියටම ශරීර අවයව වලට බලපෑම් ඇති වෙනවා.

 

සම, හෘදය, පෙනහලු, වකුගඩු, ආන්ත්‍රික පද්ධතිය, රුධිරය, රුධිර වාහිනී, ස්නායු, ඇස් ආදී බොහෝ ඉන්ද්‍රියන් වලට විශාල හානියක් සිදුවෙන්න හැකියාව පවතිනවා. 😟

 

මේ නිසා,

• රක්ත හීනතාවය.

• පෙනහලු ආබාධ.

• ඔස්ටියෝපොරෝසීස්.

• හෘදයාබාධ.

• වකුගඩු අකර්මණ්‍යතාවය.

• පිළිකා අවධානම් තත්ව.

ආදිය ඇතිවෙනවා. 😟

 

📌 ලෙඩේ හොයාගන්න පරීක්ෂණ මොනවත් නැද්ද? 🤔

 

වෛද්‍යවරයෙක් මේ රෝගය සැක කරාම මූලික රුධිර පරීක්ෂණ කිහිපයක් සිදු කරනවා.

 

ESR පරීක්ෂණය, CRP පරීක්ෂණය, FBC පරීක්ෂණය වගේ මූලික පරීක්ෂණ සමග රුමටොයිඩ් සාධකය සොයා ගැනීමට Rhemotoid Factor Assay, ANA assay වගේ පරීක්ෂණ සිදු කරනවා. 🙂

 

දිගු කාලීනව රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී විවිධ පරීක්ෂණ සිදු කරනවා.

 

📌 ලෙඩේට තියෙන බෙහෙත් මොනවාද ? 🤔

 

මේ ලෙඩේ නිට්ටාවටම සුව කිරීමට ඖෂධ ඇත්තේ නැහැ. රෝගය පාලනය කිරීම සඳහා තමයි ප්‍රතිකාර කරන්නේ. ලෙඩේ තවදුරටත් ශරීරය තුළ පැතිරීම අඩු කිරීමටත් මේ ලෙඩෙන් ශරීරයට වන හානිය අඩු කිරීමටත් මේ ප්‍රතිකාර වලින් බලාපොරොත්තු වෙනවා.

 

අපේ සමාජයේ තියෙන මතයක් තමයි මේ බෙහෙත් බිව්වම වකුගඩු සවුත්තු වෙනවා, අක්මාව දියවෙනවා වගේ මතිමතාන්තර.

 

මේ ඖෂධ වලින් ශරීරයට යම් බලපෑමක් ඇති වෙනවා. නමුත් ඒ බලපෑමට වඩා සිය දහස් ගුණයක බලපෑමක් මේ බෙහෙත් නොබී හිටියොත් ලෙඩේ නිසා සිද්ධ වෙනවා. 🙁

 

සායන වලදී විවිධ රුධිර පරීක්ෂා මගින් ඖෂධ වලින් සිදුවන බලපෑම නිරීක්ෂණය කරමින් ඒ මගින් ඔනේ ශරීරයට අහිතකර බලපෑමක් ඇතිවීමේ ඉඩකඩ නවත්වනවා. 😊

 

අවසාන වශයෙන්,

 

මම මේ ගැන කියන්න හේතු වුනේ තාමත් මැදිවියේ සිටින කාන්තාවක් මීට වසර ගණනාවකට පෙර මේ ලෙඩේ තියෙනවා කියලා හඳුනාගෙන ප්‍රතිකාර ගැනීම අතර මග නතර කරලා තෙල් සාත්තු අවුරුදු ගානක් කරලා ලෙඩේ හොඳටම වැඩිවෙලා හුස්ම ගැනීමේ අපහසුතාවය එක්ක ඇඩ්මිට් කරපු සිදුවීමක් එක්ක. 🙁

 

එන එන පිරමීඩ කාරයන්ට අහුවෙන ජනතාවක් ඉන්න සිරි ලංකාවේ මෙහෙම කිව්වා කියලා වැඩක් වෙන්නෙ නෑ කියලා දැන දැනත් මේ ගැන දැනුවත් කරන්නේ වෛද්‍යවරයෙක් විදියට මගේ හෘදසාක්ෂියට එකඟව යුතුකම ඉටු කළ යුතු නිසා. 😊

 

✍️

Dr SubhashLiyanage.

Medical officer

Medical ward

BH Welimada

blog_image
blog_image