blogImage

Cerebral DSA

මොලයේ ඇති කාල බෝම්බ කියලා ඇහුන ගමන්ම තරමක් බියට පත් වෙන්න ඇති.

කාල බෝම්බයක් කියන්නේ ඕනෑම මොහොතක පුපුරා යා හැකි අවදානමෙන් යුතු දෙයක්. 💥

අවාසනාවට සමහර පුද්ගලයන්ගේ මෙහෙම දේවල් මොළයේ පිහිටනවා. ඔබට මතක ඇති නම් මෑතකදී වයස අවුරුදු 30 දී අප අතරෙන් අභාග්‍ය සම්පන්න විදිහට වෙන්වී ගිය අන්තර්ජාතිකව මහත් ආන්දෝලනයට තුඩු දුන් Jo Linder නම් ජර්‍මානු ජාතික කායවර්ධන ශිල්පියාගේ මරණයට හේතුව වුනෙත් අපි මේ කතා කරන කාල බෝම්බයක් තමයි.

 

මේ ආකාරයට පවතින තත්ව දෙකක් ප්‍රධානව අපි කතා කරනවා.

 

👉1.Aneurysm (ඇනියුරිසම්)

 

රුධිර නාල වල පවතින අසාමාන්‍ය විශාල වීමක් තමයි Aneurysm (ඇනියුරිසම්) කියලා හඳුන්වන්නේ. මේක හරියට ටයර් එකක බම්ප් එක්ක මතුවීමෙන් වගේ විශාල වීමක්.

සමහර පුද්ගලයන්ගේ මොලයේ ධමනි පද්ධතිය ආශ්‍රිතවත් මේ aneurysm පවතින අවස්ථා තියෙනවා.🧠

 

👉2.AV Malformation (ඒ වී මැල්ෆෝමේෂන්)

 

අසාමාන්‍ය ආකාරයේ ධමනි ශිරා අතර පවතින සම්බන්ධතාවක් තමයි Arteriovenous Malformations කියන්නේ. සාමානයෙන් ධමනි බෙදීගොස් කේශනාලිකා වලින් ශිරා වලට සම්බන්ධ වුණත් මෙවැනි AV Malformation අවස්ථාවක දී එසේ නොවී කෙලින්ම අසාමාන්‍ය අයුරින් ධමනි හා ශිරා අතර සම්බන්ධයක් පවතිනවා.

 

📍මේ තත්ත්වලදී මොනාද වෙන්නෙ ?

 

මෙවැනි අසාමාන්‍ය තත්ත්වවලදී රුධිර නාල බිත්ති දුර්වල වීම නිසා හා රුධිර ගමනාගමනය අක්‍රමවත් වීම නිසා බිත්ති පුපුරා රුධිර ගැලීමක් හෝ රුධිර කැටි ඇතිවී රුධිර නාල අවහිර වෙනවා.

මේ මගින් මොලයේ රුධිර සැපයුම අඩාලවී අංශභාගය, කෝමා වගේම ජීවිත හානි පවා ඇති වෙන්න පුළුවන්.

 

🔴මෙවැනි අවදානම් තත්ත්ව හඳුනා ගැනීමට හා ඒවාට ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා Cerebral DSA එහෙම නැත්නම් Cerebral Digital Subtraction Angiogram ගැනයි මේ කතා කරන්නේ.

 

📌මොකක්ද මේ Cerebral DSA එකේදි කරන්නේ.

 

ඉකිලියේ රුධිර නාලයක් හරහා (Femoral Artery )ඇතුල් කරන ලද වෛද්‍ය උපාංගයක් (Sheath) තුළින් ශරීරයේ රුධිර නාල ඔස්සේ ඉහලට යවන ලද උපකරණ (Guidewire and Catheter) හරහා වර්ණකයක් මගින් මොලයේ රුධිර නාළ පද්ධති නිරීක්ෂණය කිරීම සිදු කරනවා.

ඇසූ පමණින් ඉතා සංකීර්ණ පරීක්ෂණයක් සේ දැනුණත් බොහෝ දෙනා අසා ඇති හෘදවස්තුවේ ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයට බොහෝ සෙයින් සමාන ක්‍රියාවලියක් තමයි සිදු වෙන්නේ.

 

📌මොන වගේ අවස්ථාවලදී ද මේ පරීක්ෂණය සිදු කරන්නේ.

 

📍රෝග නිර්ණය සඳහා පරීක්ෂණයක් ලෙසට

 

▶️ දිගුකාලින හිසරදය, හදිසියේ ඇතිවන හැසිරීමේ වෙනස්වීම්, සිහිකල්පනාව වෙනස්වීම් සඳහා හේතුව සොයා ගැනීමට මේ පරීක්ෂණය භාවිතා වෙනවා. මේ රෝග ලක්ෂණ සඳහා ඇතැම්විට මේ ලිපියේ මුලින් සඳහන් කළ ඇනියුරිසම් සහ AV Malformation යන තත්ත්ව පදනම් වී ඇතිදැයි මේ පරීක්ෂණ මගින් තහවුරු කරගන්නවා.

 

▶️ විටින් විට දිගුකාලීනව නාසයෙන් ලේ ගැලීමට හේතුව සොයා ගැනීම සඳහා එම පරීක්ෂණය භාවිතා කරනවා.

 

▶️ Vasculitis(වැස්කියුලයිටිස් )තත්ත්ව නොමැති බවට තහවුරු කර ගැනීම

 

හිසරදය, අපස්මාර තත්ත්ව, සුළු අංශභාග තත්ව ඇති රෝගීන් හට රුධිර නාල ආශ්‍රිත Vasculitis නම් තත්ත්වය ඇත්දැයි දැන ගැනීමට මේ පරීක්ෂණය භාවිතා කරනවා.

 

📍 ප්‍රතිකාර ක්‍රමයක් ලෙසට

 

📌 AV malformation තත්වයේදී ඊට අඳාළ ධමනිය අවහිර කිරීම

 

මෙහිදී රුධිර ධමනිය අවහිර වීම නිසා රුධිර ගැලීමේ අවදානමෙන් රෝගියා මුදා ගැනීම සිදුකරනවා.

 

📌මොළයේ පිළිකා හා ගෙඩි සඳහා ශල්‍යකර්මයට පෙර රුධිර නාල අවහිර කිරීම

• Meningioma නම් මොලයේ ඇතිවන ගෙඩි වලට රුධිර සපයන රුධිර නාළය ශල්‍යකර්මයට පෙර අවහිර කිරීම ඇතැම් අවස්ථාවලදී සිදු කරනවා.

 

📍ඒ පරීක්ෂණයට පෙර

 

⭕️මූලික රුධිර පරීක්ෂණ කිහිපයක් සිදු කර ඔබේ යෝග්‍යතාවය පරීක්ෂණ කරනවා. (FBC, INR, S.CR)

 

♦️මෙහිදී ඇතුලු කරන වර්ණකය වකුගඩු තුළින් පෙරී ශරීරයෙන් බැහැර කිරීම සිදු කරන නිසා එහි ක්‍රියාකාරීත්වය Creatinine මගින් පරීක්ෂා කරනවා.එය ප්‍රශෂ්ත අගයක තිබිය යුතුමයි.

 

♦️ රුධිර කැටි ගැසීමේ ගැටළු පිළිබඳව INR මගින් සොයා බලනවා.

 

⭕️අසාත්මිකතා ඇති නම් ඒවා නිවැරදිව හඳුනාගෙන ඒවාට අදාළ වන සේ රෝගියා සූදානම් කිරීම සිදු කරනවා.

 

⭕️රෝගියාගේ සිහි නැති කිරීමත් අවශ්‍ය නොවන අතර අදාළ ස්ථානය පමණක් හිරිවට්ටා පරීක්ෂණය කළ හැකියි.

 

📍පරීක්ෂණයට පසු

 

🔴 අවම පැය 06ක් වත් ඉකිළිය ප්‍රදේශය නොසෙල්වා තබා ගෙන රුධිර ගැලීම නවත්වා ගත යුතුයි.

 

🔴 රෝගියා හොඳින් ජලය පානය කළ යුතුයි.

 

♦️පරීක්ෂණ අවසන් වී සංකූලතා නොමැති නම් පසුදා රෝගියාට නිවස බලා යා හැකියි.

 

අවසාන වශයෙන් මේ පරීක්ෂණය රෝගී ජීවිත දහස් ගණනක් බේරා ගන්නා ඉතා වටිනා පරීක්ෂණයක් වුවත් මෙය සිදු කිරීමට හැකි වෛද්‍යවරුන් හා පහසුකම් ඇත්තේ ඉතා සීමිතවයි. ඉතින් ඒ මානව සම්පත යම් හෙයකින් රටට අහිමි වුවහොත් එමඟින් සිදුවන පාඩුව කියා නිම කළ නොහැකි වනු ඇත.

 

✍️සටහන

 

Dr.Samitha Muniweera

Medical Officer

Interventional Radiology Unit

TH Badulla

blog_image
blog_image